පරණ පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියන්නේ අරලියගහ මන්දිරේ හාමුදුරුවරු! – හෙළ උරුමේ කරූ …

May 6, 2020 at 9:10 pm | by emanisa.lk

මහා නායක ස්වාමීන් වහන්සේලා පවසන්නේ මේ අවස්ථාවේ පැරණි පාර්ලිමේන්තුව කැඳවන්න එපා යැයි නොව මැතිවරණ එපා බව යැයි ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ පරණවිතාන පවසයි. ආණ්ඩුවේ මතය දරන්නේ අරලියගහ මන්දිරෙන් පැමිණි හාමුදුරුවරු බව ද හෙතෙම පවසයි.

*පරාජය ගැන දැනගෙන සමගි ජන බලවේගය මැතිවරණයට විරුද්ධ වෙන බවයි කියන්නෙ. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ඔය ආණ්ඩුව එල්ල කරන දුෂ්ඨ චෝදනාවක්. මේ වෙලාවෙ ආණ්ඩුවෙ මාධ්‍යයි ආණ්ඩුවට හිතවත් මාධ්‍යයි එකතුවෙලා ඔය මතය සමාජගත කරනවා. ජනාධිපතිතුමයි එතුම වටේ ඉන්න කට්ටියයි කියන්නෙත් ජන්දයක් ඕන කියලයි. ඒත් රටේ බහුතර ජනමතය ඕක නෙවෙයි. සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය කියන්නෙ ඡන්දය තියන්න එපා කියල නෙවෙයි. මේ වසංගත තත්ත්වයෙන් පස්සෙ අපි ඕනම ඡන්දයකට ලෑස්තියි.

මේ වසංගතයක් අස්සෙ ආණ්ඩුවට ඡන්ද කලබලයක් මොකටද කියලයි අපි අහන්නෙ. ජනතාව බිල්ලට දීල රජයෙ සේවකයන්ගෙ ජීවිත අනතුරට දාල කරන ඡන්දයටයි අපි විරුද්ධ.මේ කොරෝනා අස්සෙ ලෝකයෙ එක රටයි ඡන්දය තිබ්බෙ. රටවල් තිහකට වැඩි ගණනක් ඡන්ද කල් දැම්මා. සමගි ජන බලවේගයෙ මතය නෙවෙයි, මැතිවරණ කොමසාරිස් කියන්නෙත් මැතිවරණ දිනය දුන්නත් ඒ දිනේට මැතිවරණය තියන එක ෂුවර් නැහැ කියලයි.මේ රටේ සාධාරණ ජනමතය වෙලා තියෙන්නෙත් මේ වෙලාවෙ ඡන්දයක් එපා කියලයි. මුඛවාඩම් දාගෙන, ජනතාව ගෙවල් ඇතුළෙ හිරකරල ප්‍රජාතන්ත්‍ර විරෝධී ඡන්දයකට යන්නයි මේ ආණ්ඩුව උත්සාහ කරන්නෙ ඒකට අපි විරුද්ධයි. පොදු මතය වෛද්‍ය මතය මේ වෙලාවෙ ඡන්දයක් එපා කියලයි ඒ මතය සමගි ජන බලවේගයෙ මතය වුණාම ඒකෙ වරදක් තියෙනවද?

*කොරෝනා පරද්දන්න රජයට සහාය දෙනව වෙනුවට රට ව්‍යවස්ථා අර්බුදයකට තල්ලු කරන්න සුමන්දිරන්ලත් එක්ක එකතුවෙලා සමගි ජන බලවේගය කටයුතු කරනව වගෙයි පේන්න තියෙන්නෙ.?

රට ව්‍යවස්ථා අර්බුදයකට තල්ලු කරමින් ඉන්නෙ ජනාධිපතිතුමයි. එදා රුවන්වැලිසෑය ළඟ ව්‍යවස්ථාවට අනුව වැඩකරනව කියල දිවුරුම් දීල ආපු ජනාධිපතිතුමා තමයි ව්‍යවස්ථාවට පිටින් දැන් වැඩකරන්නෙ. සමගි ජන බලවේගයවත් සුමන්දිරන් මහත්තයවත් ව්‍යවස්ථාව කඩකරල නැහැ. රටේ පවතින නීතිය, ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න කාටවත් බැහැ.

*මහනායක හිමිවරු ඇතුළු ත්‍රෛ නිකායික භික්ෂූන් වහන්සේල කියනව මේ වෙලාවෙ පැරණි පාර්ලිමේන්තුව නැවත කැදවන්න එපා කියල මේ ගැන ඔබ මොකද කියන්නෙ?

මහනායක හිමිපාණන් වහන්සේලගෙ මතය වෙලා තියෙන්නෙත් මේ වෙලාවෙ ඡන්දය තියන්න එපා කියන එක. අරලියගහ මන්දිරයට ආපු හාමුදුරුවරු ආණ්ඩුවෙ මතය ගෙනියන ස්වාමීන් වහන්සේල. ඒ අය මේ ආණ්ඩුවෙ වැරදි දකින්නෙ නැහැ. පොදුමතය එතන නැහැ. අනික හාමුදුරුවරු කියන හැමදේම මේ ආණ්ඩුව කරනවද?

*පැරණි පාර්ලිමේන්තුව මේ වෙලාවෙ රැස්කරවන්න විපක්ෂයට තියෙන තදියම ගැන සැකසංකා මතුවෙනවා. ඇත්තටම මේ අවශ්‍යතාව මොකක්ද?

අපි පාර්ලිමෙන්තුව රැස්කරවන්න කියන්නෙ ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන්නයි.අපි ආණ්ඩුව කරන්න නෙවෙයි. අපි කැදවන්න කියන්නෙ මහින්ද රාජපක්ෂගෙ අගමැතිකමෙන් තියෙන පාර්ලිමේන්තුව මිසක් රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව නෙවෙයි. හැමදාම රැස්වෙලා පාර්ලිමෙන්තුව තියන්න නෙවෙයි. රටේ වියදමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සම්මත කරගෙන පාර්ලිමේන්තුව ආයෙත් විසුරුවන්න පුළුවන්. දැන් මේ අය මේක මැතිවරණ කොමසාරිස්ගෙ ඇගේ ගහල. මැතිවරණ කොමසාරිස්ට මේ වැඩේ කරන්න බැහැ. නාමයෝජනා අහෝසි වුණාට ආයෙත් නාමයෝජනා කැදවන්න පුළුවන්.

*පාර්ලිමේන්තුව කැදවීමත් එක්ක නාමයෝජනා අහෝසිවෙනවා. ඒ හරහා බෙදී වෙන්වී ගිය එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි එකතුකර ගන්න නේද මේ හදන්නෙ.?

එහෙම දෙයක් අපට අවශ්‍ය නැහැ. ව්‍යවස්ථානුකූලව අපේ නාමයෝජනා අපි කොහොමත් ඉදිරිපත් කරනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි අපි ආරක්ෂා කරන්න ඕන.

*මේ බැරෑරුම් අවස්ථාවෙ ජනතාවට සහන දෙමින් ආණ්ඩුව විශාල කාර්යභාරයක් ඉටුකරමින් ඉන්නවා.වගකිවයුතු පක්ෂයක් හැටියට සමගි ජන බලවේගය මේ වෙලාවෙ කළ යුත්තෙ ඊට සහාය දෙමින් ජනතා සහන වැඩිකිරීමට කටයුතු කිරීම නේද?

ඒ වෙනුවෙන් තමයි අපි මේ පාර්ලිමේන්තුව කැදවන්න කියන්නෙත්. මේ දෙන සහන තව වැඩි කළ යුතුයි. ඒ සදහා මුදල් අනුමත කරන්න පාර්ලිමේන්තුවට පුළුවන්. ඒ සියල්ලට අපි අත් දෙකම උස්සලා සහාය දෙනවා. දැන් ආණ්ඩුව ජනතාවට බණින්න පටන් අරගෙන. දෙන සහන සියල්ල දේශපාලනීකරණය කරලා. ඡන්ද හිඟාකන්න පටන් අරන්. ආණ්ඩුවෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීගෙ ඉදන් පාර්ලිමේන්තු මැති ඇමතිවරු දක්වා මේ වැඩේ කරනවා. ජාතික අර්බුදයක් තියෙන වෙලාවක මේ වැඩ විළිලැජ්ජයි. අමානුෂිකයි.

*ගෝඨාභය පාලනය යටතේ රට ස්ථාවර වෙමින් තිබෙනවා. යහපාලනයෙන් අසාර්ථක වෙච්ච කණ්ඩායම්වලට ජනතාව නැවත බලයදෙයි කියල ඔබ හිතනවද?

ආණ්ඩු පරදින, දිනන එක සාමාන්‍යයි. අපි පරාද වුණා විතරයි. විශාල ලෙස ආර්ථිකය, ආරක්ෂාව බිදවැටුණු රටක් නැගිට්ටෙව්ව කියන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තය බලයට ඇවිල්ල තවම කෙටිකාලයයි. මේ ටිකට රට නැගෙට්ටෙව්ව කියන්නෙ බොරුවක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි වැදගත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී වට පිටාව අද බිද වැටෙමින් තියෙනවා. එය ආරක්ෂා කර ගන්න ජනතාව පෙරට ආ යුතුයි. මේ අර්බුදයත් එක්ක ලෝකයෙ විශාල පරිවර්තනයක් වෙමින් තිබෙනවා. අපේ රටටත් අලුත් එළඹුමක් අවශ්‍යයි. සමගි ජන බලවේගය අලුත් දේශපාලනයක් , අලුත් ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක්.

*සියලු දෙනා දැනුම්වත් වෙලා හිටපු පාස්කු ප්‍රහාරය වළක්ව ගන්නවත් එදා ආණ්ඩුවට බැරි වුණා නේද?

ආරක්ෂක මණ්ඩලයෙ ප්‍රධානිය හැටියට එදා හිටියෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තය. එතුමගෙන් තමයි ඔය ප්‍රශ්නය අහන්න ඕන.

දුමින්ද සම්පත්

දිනමිණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස