ආණ්ඩුව මැතිවරණ සිතියම කල්දමා ජන ජීවිත යථාවත් කළ යුතුයි! – ජවිපෙ

April 29, 2020 at 7:24 am | by emanisa.lk

ආණ්ඩුව දැන් කළ යුත්තේ මැතිවරණ සිතියම කල් දාලා කොරෝනා වසංගතය පාලනය කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඡන්ද න්‍යාය පත්‍රයට කොරෝන පරදන සටන අඩ පණ කිරීම වෙනුවට කොරෝනා පරදන න්‍යාය පත්‍රය උඩට අරගෙන ඒ සඳහා එකතු කරගත හැකි සියලු බලවේග එක්කර ගැනීම සිදු කළ යුතු බව ද සිල්වා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය.

ආණ්ඩුව දැන්වත් කළ යුත්තේ මැතිවරණ සිතියම කල්දාලා කොරෝනා පාලනය කර ජනතාවට සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ අවස්ථාව සලසා දීමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ මුළු බර යොදා කොරෝනා පරදන නයාය පත්‍රය ක්‍රියාත්මක කළ යුතුයි. ඡන්ද න්‍යාය පත්‍රයට කොරෝන පරදන සටන අඩපණ කරනවා වෙනුවට කොරෝනා පරදන න්‍යාය පත්‍රය උඩට අරගෙන ඒ සඳහා එකතු කරගත හැකි සියලු බලවේග එක්කර ගැනීමයි කළ යුත්තේ. මේ සඳහා මූලික කාර්ය භාරයන් දෙකක් ආණ්ඩුවට තිබෙනවා.

කොරෝනා පැරදීම වගේම සාමාන්‍ය ජන ජීවිතය බිඳ වැටුණු තත්ත්වයෙන් ඔසවා තැබීමේ සහන ලබා දීම මූලික කාර්ය භාරයන් දෙකයි. සහන ලබාදීම වෙනුවෙන් සුදුස්සන් තෝරා ගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ වෙනුවට 20 වැනිදා පවා ආණ්ඩුව ක්‍රියා කළේ රට පුරා තැබෑරුම් විවෘත කරන්නයි. දවසකට පස්සේ ආපහු තීරණය කරන්නේ වහාම තැබෑරුම් වහන්න. මේ තීරණ ගන්නේ මොන සාධක මත ද කියලා අපි කාටත් තේරෙන්නේ නැහැ. සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ වගේම රාජ්‍ය යාන්ත්‍රණයේ ග්‍රාම නිලධාරී මහත්වරුන් දක්වා ජීවිතවලට එල්ල වන අනතුර නොතකා ආණ්ඩුව කටයුතු කරනවා.

ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා මාස 3ක් ඇතුළත නැවත රැස් කළ යුතුයි. නමුත් ජූනි 20 වැනිදා ඡන්දය පැවැත්වීමේ තත්ත්වයක් තුළ ජූනි 02 වැනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවන්න බැහැ. මේ නිසා ව්‍යවස්ථා අර්බුදයක් තිබෙන බව සමහරු කියනවා. ව්‍යවස්ථා අර්බුදයක් නැහැ. ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලිව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.

ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ ව්‍යවස්ථාව රකිනවා කියලා. දැන් ජනාධිපතිවරයාට තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුව වැඩ කිරීමයි. හදිසි තත්ත්වයක් යටතේ නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. ඉන් පසු ඡන්දයක් පැවැත්වීමේ බලය පැවරී තිබෙනවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොකළ යුතුයි. ඔහුගේ උපදේශකයන්ට මේ බව තේරෙන්නේ නැත්නම් කළ යුතු හොඳම දේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ලබාගැනීමයි.

කෙසේ වුවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ මැතිවරණවලට දින නියම කිරීමේ මෙන්ම කල් දැමීමේ අයිතිය ද ඇත්තේ තමන්ට බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස