ඔබතුමා තනියම කොරෝනා පාලනය කරන එක වැරදියි! අපිත් සම්බන්ධ කරගන්න! – අතුරලියේ රතන හිමිගෙන් ජනපතිට ලිපියක්….

March 23, 2020 at 9:58 am | by emanisa.lk

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළ‍ිවෙළ සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ වෙත ලිපියක් ලිපියක් යොමුකර තිබේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

කොරෝනා මැඩලීමට පොදු ජාතික වැඩපිලිවෙළකට ප්‍රවේශ වෙමු!

අද වන විට අප රටේ කෝරෝනා වෛරසය පැතිරියාමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින බව දක්නට ඇත. ඔබතුමාගේ නායකත්වයෙන් ගෙන යන වැඩපිළිවෙළ ඉතාමත් ප්‍රශංසනීය වන අතර ඒ මගින් රෝග ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.

එනමුත් එම අත්‍යවශ්‍ය නිරෝධායන ක්‍රියාමාර්ග ගැනීමේදී බරපතළ ආර්ථික සහ සමාජිය ගැටළු ගණනාවකට සමස්ථ ශ්‍රි ලාංකීය පුරවැසියන්ම දිනෙන් දින මුහුණ දෙමින් සිටී. රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ ස්ථිර ආදායමක් නොමැති සහ තැම්පත් ධනයක්ද නොමැති බහුතර ජනතාවක් අප රටේ ජීවත් වන අතර අප රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව රජයට ද ඔවුන්ගේ මුලික අවශ්‍යතා වෙනුවෙන් ආර්ථික ශක්තියක් ලබා දීම එතරම් පහසු නොවනු ඇත.

එම තත්වය මධ්‍යස්ථව අවබෝධ කර ගනිමින් මෙම අවස්ථාවේ ජාති, ආගම් සහ දේශපාලන මති මතාන්තර ඇතුළු සියලුම වාද භේද පසකලා සමස්ථ ශ්‍රි ලාංකීය ජාතියේම ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් පොදු ජාතික වැඩපිළිවෙළකට අවතීර්ණ වීම කාලෝචිත වේ. ඒ සදහා ඔබතුමන්ට නායකත්වය ගෙන කටයුතු කිරිමට යෝජනා කරන අතර සියලුම දේශපාලන පක්ෂවලත්, ආගමික නායකයින්ගේ හා සමාජ ක්‍රියාකාරකයින්ගේ සහ පරිත්‍යාගශීලින්ගේ දායකත්වය ලබා ගෙන ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන පොදු ජාතික වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කිරීමට යෝජනා කරමි.

කොරෝනා වෛරසයේ ව්‍යාපතිය පිළිබඳ ගෝලීය තත්ත්වය සැලකීමේදී එවැනි පොදු වැඩපිළිවෙළකට නොගොස් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මේ මොහොතේ කැබිනට් මණ්ඩලය හා ඔබතුමන් පමණක් එක්ව මෙම වැඩසටහනට මූලිකත්වය ගැනීම එතරම් සුභදායි නොවන බව මාගේ හැඟිමයි.

මේ පිළිබඳ ඔබතුමන්ගේ කඩිනම් අවධානය යොමු වෙතැයි අපේක්ෂා කරමි.

තෙරුවන් සරණයි !
පූජ්‍ය අතුරලියේ රතන ස්ථවිර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස