බුදු හාමුදුරුවෝ රතන සූත්‍රයෙන් තුන්බිය දුරු කළාට මෛත්‍රී බුදුන් ආවත් කොරෝනා හොඳ කරන්න බෑ! – පී. හැරිසන්

May 12, 2020 at 11:30 am | by emanisa.lk

එදා විශාලා මහනුවර ඇති වූ තුන් බිය රතන සූත්‍රය සජ්ඣායනා කර නැති කළද මෛත්‍රී බුදුන් වැඩම කර ධර්මය දේශනා කළත් මෙදා තත්ත්වය නැති කිරීමට නොහැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (11) දඹුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

‘‘අනිවාර්යයෙන් රට විවෘත කරන්න ඕනෑ. ඒකේ කතා දෙකක් නෑ. නමුත් රට විවෘත කළ ක්‍රමවේදය හරිද කියලා ප්‍රශ්නයක් එනවා. දැන් ආණ්ඩුවෙන් බස් දාලා තියෙනවා. විසි පස් දෙනකුට විතරයි යන්න පුළුවන්. අනිත් අය මග. එතකොට මෙහෙම කාර්යාලවලට යන්න පුළුවන්ද? කෝච්චියක එක පෙට්ටියක යන්න පුළුවන් පනස් දෙකයි. ඉතුරු අය කොහොමද ගෙනියන්නෙ. අනික කෝච්චියේ යන්න ලියාපදිංචි වෙන්නත් ඕනෑ.

ඒ වගේම තමා අයිඩෙන්ටියේ පහයි, අටයි තියෙන්නෙ ඕනෑ. දෙකයි, තුනයි තියෙන්නෙ ඕනෑ කියනවා. ඕවා බල බල මිනිස්සු ඉන්නේ නෑ. අවශ්‍යතාව වුණාම මිනිස්සු යනවා. කවුද මේවා බලන්නේ.

අද කෝච්චියේ යන අයට කොටුව ස්ටේෂන් එකෙන් පාස් පහක් දෙනවලු. රෝස පාටයි, කහ පාටයි, රතු පාටයි. මේ පාට තෝර තෝර මිනිස්සු ගියොත් මේ වැඩේ හරියන්නේ නෑනේ. හැබැයි රජයක් විදියට එක පාර රට විවෘත කරපු එක ගැන ප්‍රශ්නයක් තියෙනවා.

රජයට කළුතර, කොළඹ, ගම්පහ සහ පුත්තලම ඇරෙන්න අනෙක් දිස්ත්‍රික්ක ටික ක්‍රම ක්‍රමයෙන් අරින්න තිබ්බා. ඊට පස්සේ බලන්න තිබ්බා මොකක්ද වෙන්නේ කියලා. අඩු පාඩු වුණත් හදාගන්න තිබ්බා. ඒ වගේම අධි ආරක්ෂිත කියලා නම් කරලා තියෙන කළුතර, කොළඹ, ගම්පහ සහ පුත්තලම කියන දිස්ත්‍රික්කවලින් එකක් ඇරලා බලන්න තිබ්බා කො​හොමද මේකේ හැසිරීම කියලා. සෞඛ්‍ය තත්ත්වය, පරිපාලන තත්ත්වය සහ මිනිස්සුන්ගේ හැසිරීම් කොහොමද කියලා. ඒවා මොකුත් කළේ නෑ මුළු රටම එක පාර ඇරියා.

හැබැයි මේක ලේසි වැඩක් නෙවෙයි. කෝචිචියට යන එක්කෙනාගෙ, බස් එකේ යන එක්කෙනාගේ හැම තැනම උණ බලනවා. ඕක දවසක් කරයි. දෙකක් කරයි. එතනින් එහාට මනින්නෙ නෑ. රාජ්‍ය සේවකයන්ට කෝච්චියේ බස් එකේ යද්දි කියන්න බෑ අපිට විතරයි මේකේ යන්න පුළුවන්, ​ඕගොල්ලොන්ට එන්න බෑ කියලා. ඉස්පිරිතාලෙට යන එකත් ඕකේ යනවා. කඩේ බඩු ගන්න යන එකත් ඕකේ යනවා. ඒක නවත්තන්න බෑ.

එහෙනම් පොලිසියෙන් හෝ හමුදාවෙන් දාලා කෝච්චියේ පෙට්ටියෙන්, පෙට්ටියට මුර කරන්න ඕන. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රජය මේ වෙද්දි සම්පූර්ණ වැඩපිළිවෙළ අනාගෙන තියෙන්නේ. රජය නම් අනාගත්තට කමක් නැහැ. ඒත් දැන් අපේ ජනතාවට තුන් බියක් ඇති වෙලා තියෙනවා.

එකක් තමයි කොරෝනා බිය. දැන් හැමදාම ජාසිංහ මහත්තයයි, අර ඩී.අයි.ජී. මහත්තයයි, තවත් අපේ හමුදාවේ මහත්තුරුයි උදේට ටීවී එකේ හතර වටෙන් ඇවිල්ලා මුඛවාඩම් දාගන්න, කටවල් වහගන්න, අත් දෙක හෝදන්න කියලා බය කරනවා. ඒ ටී.වී. එකේ කියන විදියට අත් හෝදන්න ගියොත් අතේ රේඛා ඔක්කොම දිය වෙනකන් හෝදන්න වෙනවා.

දැන් මේ කොරෝනා බියෙන් බේරෙන්නේ කොහොමද කියලා හිත හිත ඉද්දි පෙරේදා කියනවා රාජ්‍ය ඇමැතිවරුන්ට සහ උප ඇමැතිවරුන්ට වාහන දෙන්න යනවා කියලා. දැන් මේක රටක වෙන දෙයක්ද? සාමාන්‍යයෙන් ආණ්ඩුව විසුරුවාට පස්සේ කැබිනට් ඇමැතිවරුන්ට එහෙම දෙනවනම් ඒක නීති විරෝධීයි. මේ සඳහා රජයට කොච්චර වියදමක් කරන්න වෙයිද කියන එක අනිත් බිය’’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස