විදෙස් අතපෙවීම් නැති සුරක්ෂිත සෞභාග්‍යවත් දේශයක් ගොඩනඟනවා! – ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ගෝඨා කළ කතාව මෙන්න…

October 25, 2019 at 4:56 pm | by emanisa.lk

මෙතෙක් තමා වෙත පැවරුණු වගකීම් ඉටු කළ ආකාරයෙන්ම ජනාධිපතිවරයා ලෙස පැවරෙන වගකීම ද සාර්ථක ලෙස ඉටු කිරීමට තමා ඇප කැප වී කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඒ අද දින (25) සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උළෙලට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධීපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවය අවස්ථාවේ ඔහු කළ සම්පූර්ණ කතාව මෙසේය.

■ ලංකාව ඒකීය රටක්. එය බෙදා වෙන් කරන්නට අපි කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ.
■ ස්වෛරී රටක් වන ලංකාවට අනවශ්‍ය අතපෙවීම් කරන්නට කිසිදු විදේශ බලවේගයකට ඉඩ තබන්නේ නැහැ.
■ මව්බිම ත්‍රස්ථවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම් වලින්, සොර බියෙන්, කප්පම් කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය උවදුරින් හා හිංසනයෙන් මෙන්ම විදේශ තර්ජනයන්ගෙන්ද සුරක්ෂිත කරනවා.
■ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන්වත් ආරක්ෂා කරණවා.
■ ජීවන බර හා එදිනෙදා වියදම් අඩු කිරිම් සඳහා කඩිනම් ජනතා සහන පැකේජයක්
■ හෙද පාසැල්වල පාඨපාලා වසර 4ට දීර්ඝ කොට විදේශ රැකියා සඳහා පිලිගන්නා උපාධියක්
■ ගුරු විද්‍යාල උපාධි ප්‍රධානය කල හැකි මට්ටමට
■ ව්‍යාපාර කරගෙන යාමට හිරිහැරයක් වී ඇති කල් පැනගිය නීති රීති යාවත්කාලීන කෙරේ
■ ආර්ථික සේවා ගාස්තු හා රඳවා ගැනීමේ බදු අහෝසි කරනවා
■ වැට් බදු 8% දක්වා අඩුකරනවා
■ ආගමික ස්ථාන මත පනවා ඇති විවිධ බදු අහෝසි කරනවා
■ වාහන සම්බන්ධයෙන් පනවා ඇති විවිධ බදු වෙනුවට එක් සරල බදු ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා
■ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප මත පනවා ඇති උපයන විට බද්ද
( Paye Tax ) අහෝසි කරනවා
■ ඉදිරි වසර 5 තුල රැකියා අවස්ථා ලක්ෂ 10 කට වඩා උත්පාදනය කරන්නට
■ කෘෂි සම්පත් කිසිවක් අගය එකතු කිරීමකින් තොරව අපනයන කරන්නේ නැහැ
■ පොහොර සහනාධාරය නොමිලේ
■ කෘෂිකර්මාන්තය සඳහා ක්‍රමයෙන් කාබනික පොහොර භාවිතය දිරිමත් කෙරේ
■ රටට අවශ්‍ය පොහොර රට තුලම නිෂ්පාදනය කර, වසර කිහිපයක් තුළ මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරේ
■ කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය අපි සම්පූර්ණයෙන්ම තහනම්
■ ගොවි ණය කපා හැරේ.
■ වාරිමාර්ග හා ලොකු කුඩා වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරේ.
■ වතු කම්කරු ජනතාවට රුපියල් 1000 ක වැටුපක්
■ ධිවර කර්මාන්තය සඳහා තාක්ෂණය භාවිතය විධිමත් කොට එම ක්ෂේත්‍රය සංවර්ධනය
■ ගොවියාට, කිරි ගොවියාට මෙන්ම ධිවරයාටත් තම ක්ෂේත්‍ර තුල ව්‍යවසායකයන් බවට පත්වීමට අවශ්‍ය තාක්ෂණය හා පුහුනුව
■ බල ශක්තී ක්ෂේත්‍රය තුළ හා ප්‍රවාහණ ක්ෂේත්‍රය තුල හැකි තාක් දුරට පුනර්ජීව බල ශක්තී භාවිතය දිරිගැන්වීමට
■ විද්‍යාත්මක ලෙස කසල කලමනාකරණය
■ කුඩා දරුවන් සිටිනා කාන්තාවන්ට යම් කිසි කාලයක් නිවසේ සිට රැකියා වේ යෙදීමේ අවස්ථාව
■ මත්ද්‍රව්‍ය ජාවාරම කෙටි කලක් තුළ අවසන් කරන්නට අපි කටයුතු කරනවා
■ දූෂණය වැළැක්වීමට මෙන්ම දූෂිතයන්ට කඩිනමින් දඩුවම් දීමටත් නව යාන්ත්‍රනයන්
■ දූෂණයට කිසිම ඉඩක් නැහැ.

අද මේ රටේ ජනතාවගේ අපේක්ෂාව වී තිබෙන්නේ ධර්මානුකූල වූ රාජ්‍යයක්. සියලුම ආගමිකයන්ට, සියලුම ජාතිකයන්ට ක්ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයක්. එහි පදනම වන්නේ බුදු රජානන් වහන්සේගේ ධර්මයයි. දකුණේ සිංහල බෞද්ධ පවුලකින් පැවතගෙන එන මම අධ්‍යාපනය ලැබුවේත් ලංකාවේ ප්‍රධාන පෙලේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයේයි. ඒ නිසා බෞද්ධ දර්ශනය හැම විටම මගේ සිතුවිලිවලට හා ගතිපැවතුම්වලට එක් වී තිබෙනවා.

අද අප විසින් ජනගත කරන සෞභාග්‍යයේ දැක්ම නැමති ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමේදී රාජ්‍ය පාලනය පිළිබඳ ආගමික සංකල්පයන්ට විශේෂ අවධානයක් යොමු කල බව ආරමභයේදීම මම ඔබට කියන්නට කැමතියි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාව විසින්ම – ජනතාව උදෙසාම සකස් කරනා ලද ජනතා ප්‍රතිපත්ති මාලාවක්. මේ ප්‍රතිපත්ති මාලාව හරහා ඉදිරිපත් කොට තිබෙන්නේ රටේ ස්වෛරීත්වය සුරකින, දේශීයත්වයට ප්‍රමුඛත්වය දෙන, සියලු පුරවැසියන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වූ , තාරුණ්‍යය මත විශ්වාසය තබන වැඩපිළිවෙළක් ගෝලීය ප්‍රවණතාවන්ගෙන් උපරිම ඵල නෙලාගෙන, ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන, අභිමානවත් ස්වෛරී ජාතියක් ලෙස නැගී සිටින්නට අවශ්‍ය කරන මූලික සංකල්ප මෙහි අඩංගුව තිබෙනවා. ලංකාව ඒකීය රටක්. එය බෙදා වෙන් කරන්නට අපි කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ.

ස්වෛරී රටක් වන ලංකාවට අනවශ්‍ය අතපෙවීම් කරන්නට කිසිදු විදේශ බලවේගයකට අපි ඉඩ තබන්නේත් නැහැ. අපි ජාතික ආරක්ෂාව රජයේ මූලික වගකීමක් ලෙස දකිනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, සොර බියෙන්, කප්පම් කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය උවදුරින් හා හිංසනයෙන් මෙන්ම විදේශ තර්ජනයන්ගෙන්ද සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යලිත් ශක්තිමත්ව ගොඩනංවනවා.

මේ රටට ආරක්ෂාව සපයන, ඒ වගේම අතීතයේ ආරක්ෂාව සැපයූ, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන්වත් අපි ආරක්ෂා කරනවා. නොවිසඳි ඇති ගැටලුවලට විසඳුම් දී ඔවුන්ගේ අභිමානය රකිනවා. අපි සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ඒ නිසා සර්ව බල චන්දයට ගරු කරන , මහජන මතයට හිස නමන, නීතියේ ආධිපත්‍යය වචනයට සීමා නොවී සැබැවින්ම ක්‍රියාත්මක වන පාලන තන්ත්‍රයක් අපි ඇති කරනවා. එක රටක් තුල ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමනයි. ලොකු පොඩි බේදයකින් තොරව නීතිය හැමට සමානව ක්‍රියාත්මක කරන්නට අපි වග බලා ගන්නවා.

උසාවිවල ගොඩ ගැසී තිබෙන නඩු ඉක්මනින් විසදීම සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමටත්, විනිසුරුවන් ප්‍රමාණය වැඩිකිරීමටත්, එමෙන්ම වැඩි කාර්යක්ෂමතාවක් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට සහය වන ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීමටත් අප සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපේ මුළු රාජ්‍ය පාලන කාලයටම බලපානවා.

නමුත් අපිට කඩිනමින් විසඳිය යුතු ගැටලු කිහිපයක් තිබෙනවා. විශාල ජීවන බරකින් මිරිකී සිටින සාමාන්‍ය ජනතාවට කඩිනමින් සහන සැලසීමේ අවශ්‍යතාවක් අද මතුව තිබෙනවා. ඒ නිසා ජනතාවගේ ජීවන බර හා එදිනෙදා වියදම් අඩු කිරිම් සඳහා කඩිනම් ජනතා සහන පැකේජයක් අපි තව නොබෝ දිනකින් හඳුන්වාදෙනවා.

අප හඳුන්වාදෙන්නට බලා පොරොත්තු වන ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමය තුලින් මේ රටේ ජීවත් වන සෑම පුරවැසියෙකුටම ආර්ථික ස්ථාවරත්වයක් ලබා දීම අපේ අරමුණයි. අසරණ මිනිසුන්ගේ දුප්පත්කම දේශපාලන වාසියට යොදා ගැනීමට තිත තබා මේ රටේ දුප්පත්කම සහමුලින්ම නැතිකරන්නට අපි කටයුතු කරනවා. අපට අවශ්‍යයි අපේ අනාගත පරපුර කාටවත් අතනොපා ජීවත්වන ඵලදායී පුරවැසියන් බවට පත් කරන්නට.

21 වන සියවස හඳුන්වනු ලබන්නේ දැනුම කේන්ද්‍ර වූ ශතවර්ෂයක් ලෙසයි. වර්ථමානයේ ලෝක ආර්ථික කේන්ද්‍රය ආසියාව වෙත නැඹුරු වෙමින් තිබීම අනාගත සැලසුම් සඳහා අපට ඉතාමත් වැදගත් වෙනවා. ගෝලීය ආර්ථිකයේ නව ප්‍රවණතාවලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් අපි බිහි කල යුතුයි. හොඳ රැකියාවක් කිරීමට එසේත් නැත්නම් සාර්ථක ව්‍යවසායකයෙක් වීමට හැකියාව ඇති, පලදායී පුරවැසියෙක් බිහිකරන්නට අධ්‍යාපනය අතිශයින් වැදගත් වෙනවා.

දේශීය මෙන්ම ගෝලීය රැකියා වෙළඳපොල තුළ ඉහළ ඉල්ලුමක් අපේ තරුණ තරුණියන්ට ලැබෙන ආකාරයට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල අතරමං වන්නට ඉඩ නොදී උසස් පෙල සමත්වන සෑම සිසුවෙකුටම විශ්ව විද්‍යාල උපාධියක් දක්වා ඉගෙන ගන්නට අවස්ථාව සැලසීමට අවශ්‍ය කරන ආයොජන ප්‍රථම වසර තුලම කරනවා. දැනට වසර 3ක ඩිප්ලෝමාවක් පමණක් ලබාදෙන හෙද පාසැල් වල පාඨපාලා වසර 4ට දීර්ඝ කොට විදේශ රැකියා සඳහා පිලිගන්නා උපාධියක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා.

ඒ වගේම සියලූම ගුරු විද්‍යාල උපාධි ප්‍රධානය කල හැකි මට්ටමට උසස් කරනවා. විශය දැනුමට අමතරව සමස්ථයක් වශයෙන් අපේ දරුවන්ගේ නිර්මාණශීලිත්වය වැඩි කිරීම, ඉංග්‍රීසි හා ගනිත දැනුම වර්ධනය කිරීම මෙන්ම, නිපුනතා වර්ධනයත් ඉතා වැදගත් වෙනවා. කඩා වැටී තිබෙන මේ ආර්ථිකය යලි ගොඩ නැගීමේදී විශාලතම කාර්ය භාරයක් අපේක්ෂා කෙරෙන්නේ දේශීය ව්‍යාපාරික ප්‍රජාවගෙන්.

අපි මේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්නට පහසු පරිසරයක් නිර්මාණය කරනවා. ව්‍යාපාර කරගෙන යාමට හිරිහැරයක් වී ඇති කල් පැනගිය නීති රීති යාවත්කාලීන කරනවා. අද ජනතාව ඉන්නේ අධික බදු බරකින් මිරිකිලා. මෙය ව්‍යාපාරවලත් ජනතාවගේත් ඵලදායීතාවට බලපානවා. ඒ නිසා අප රටට නොගැලපෙන වර්ථමාන ආදායම් බදු පනත වෙනස් කොට ජනතාව මත බදු බර අඩු කරන්නට බලාපොරොත්තු වෙනවා. නිශ්පාදන කර්මාන්ත සදහා අය කරන ආදායම් බදු අඩු කරනවා.

ආර්ථික සේවා ගාස්තු හා රඳවා ගැනීමේ බදු අහෝසි කරනවා. වැට් බදු 8 % දක්වා අඩුකරනවා. ආගමික ස්ථාන මත පනවා ඇති විවිධ බදු අහෝසි කරනවා. වාහන සම්බන්ධයෙන් පනවා ඇති විවිධ බදු වෙනුවට එක් සරල බදු ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. මීට අමතරව රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප මත පනවා ඇති උපයන විට බද්ද (Paye Tax) අහෝසි කරනවා. මේ සමගම අපි ආදායම් බදු දෙපාර්තුමේන්තුව තුල, රේගුව තුල හා සුරාබදු දෙපාර්තුමේන්තුව තුල තාක්ෂණය භාවිතය විධිමත් කොට බදු අයකරගැනීමේ ඇති විශමතා වලට විසඳුම් සපයන්නට ක්‍රියාකරනවා. අපේ අනාගත සංවර්ධන සැලසුම් තුල සේවා ආර්ථිකයේ විශාල වර්ධනයක් අපි බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් උපයන කර්මාන්තයක් බවට පත්කිරිමේ සැලස්මක් අපි සකස් කොට තිබෙනවා. ඒ වගේම ප්‍රවාහණ සේවා, ගුදම් සේවා, වරාය හා ගුවන්තොටුපොල සේවා වැනි අපේ රටේ භූගෝලීය පිහිටීමෙන් ප්‍රයෝජන ගත හැකි ව්‍යාපාර රාශියක් අපට ජාත්‍යන්තර මට්ටමට දියුණු කරන්නට පුළුවන්.

මේ අනුව සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ඉදි කිරීම් කර්මාන්තය, ප්‍රවාහන ක්ෂේත්‍රය, ඇසුරුම් හා නිමැවුම් කර්මාන්ත, කෘෂි හා ධිවර කර්මාන්ත , සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ක්‍රීඩා ක්ෂේත්‍රය යන අංශ ගනනාවක ඇතිකරන දියුණුව හරහා ඉදිරි වසර 5 තුල රැකියා අවස්ථා ලක්ෂ 10 කට වඩා උත්පාදනය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාව දකුණු ආසියාවේ ව්‍යාපාර කේන්ද්‍රස්ථානය වනවා දකින්නටයි.

කර්මාන්ත ක්ෂේත්‍රය තුළ අපේ අවධානය මුලින්ම යොමු විය යුත්තේ අගය එකතු කිරීමටයි. ලංකාවේ සම්පත් කිසිවක් අගය එකතු කිරීමකින් තොරව අපනයන නොකල යුතුයි. ඒ වගේම නව නිර්මාණ වෙළඳපොලට හඳුන්වාදීම සඳහා අපේ ව්‍යාපාරිකයන් දිරිමත් කල යුතුයි. ආහාර සුරක්ෂිතතාව අද ලෝකයේ සෑම රටකටම වැදගත්. ලංකාව තුලත් ආහාර සුරක්ෂිතතාව ඇති කරගැනීම සඳහා අපි විධිමත් වැඩපිලිවෙලක් සැලසුම් කර තිබෙනවා. එහි අංගයක් ලෙස අපේ රජයක් යටතේ පොහොර සහනාධාරය නොමිලේ ලබා දෙන්න අපි තීරණය කොට තිබෙනවා.

ඒ සමඟම අපි බලාපොරොත්තු වෙනවා කෘෂිකර්මාන්තය සඳහා ක්‍රමයෙන් කාබනික පොහොර භාවිතය දිරිමත් කිරීමට. රටට අවශ්‍ය පොහොර රට තුලම නිශ්පාදනය කරන්නටත් වසර කිහිපයක් තුළ මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට ගොවියන් පුරුදු කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ අනාගත අරමුණ කාබනික පොහොර භාවිතයෙන් කෙරෙනා කෘෂි නිෂ්පාදන සඳහා ලෝකයේ නමක් දිනා ගැනීමටයි.

ලංකාවේ ගොවියන්ට විශාල ගැටලුවක්ව තිබෙන කෘෂි නිශ්පාදන ප්‍රති අපනයනය අපි සම්පූර්නයෙන්ම තහනම් කරනවා. අපේ කෘෂි නිශ්පාදන වලට වැඩි ඉල්ලුමක් හා වැඩි මිලක් ලබා ගත හැක්කේ එවිටයි. ආපදාවන්ට පත් ගොවි ජනතාවට සහනයක් ලෙස ඔවුන්ගේ ගොවි ණය කපා හැරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. වියලි කලාපයේ ගොවියන්ට අද විශාල ප්‍රශ්නයක් වී තිබෙන ජල හිඟයට පිලියමක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි වාරිමාර්ග හා ලොකු කුඩා වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් අපි සැලසුම් කොට තිබෙනවා.
ජලය නිසි ලෙස කලමණාකරනය කරමින්, භූමියෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, ගුණාත්මක බාවයෙන් ඉහල, වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීමේ ජාතික වැඩපිලිවෙලක් අපි ආරම්බ කරනවා. වැවිලි ක්ෂේත්‍රය තුල වැදගත් සේවයක් කරන වතු කම්කරු ජනතාවට රුපියල් 1000 ක වැටුප ලබා දීමට අපි දැනටමත් එකඟ වී තිබෙනවා.

ඒ වගේම මුහුදින් වටවී තිබෙනා මේ රටේ සාගර සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ධිවර කර්මාන්තය සඳහා තාක්ෂණය භාවිතය විධිමත් කොට එම ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

අපිට අවශ්‍යයි ගොවියාට, කිරි ගොවියාට මෙන්ම ධිවරයාටත් තම ක්ෂේත්‍ර තුල ව්‍යවසායකයන් බවට පත්වීමට අවශ්‍ය තාක්ෂණය හා පුහුනුව ලබා දෙන්නට. අපේ තරුණ පරපුර යලි කෘෂිකර්මාන්තයට හා ධිවර කර්මාන්තයන්ට ආකර්ෂණය කරගත හැක්කේ එවිටයි. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්. ඒ නිසා බල ශක්තී ක්ෂේත්‍රය තුල හා ප්‍රවාහණ ක්ෂේත්‍රය තුල හැකි තාක් දුරට පුනර්ජීව බල ශක්තී භාවිතය දිරිගැන්වීමට අපි කටයුතු කරනවා. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම මෙන්ම විද්‍යාත්මක ලෙස කසල කලමණාකරණය අපේ ප්‍රමුකතා වලට අයත් වෙනවා.

රැකියා වෙළඳපොළ තුළ පමණක් නෙමෙයි පුද්ගලික ව්‍යවසායකයන් වශයෙනුත් කාන්තාවන්ගේ දායකත්වය අපේ ආර්ථිකයට වැදගත්. කුඩා දරුවන් සිටිනා කාන්තාවන්ට යම් කිසි කාලයක් නිවසේ සිට රැකියා කිරීමට ඇති අවස්ථා වැඩි කිරීමට අපි රාජ්‍ය හා පෞද්ගලික අංශය දිරිමත් කරනවා.

කාන්තා ව්‍යවසායකයන්ට අවශ්‍ය ණය පහසුකම් හා පුහුණුව සපයා ඔවුන් බල ගැන්වීමට අනාගත රජය තුල විශාල අවධානයක් යොමුකරනවා. අද විශාල ජාතික උවදුරක් බවට පත් වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම කෙටි කලක් තුල අවසන් කරන්නට අපි කටයුතු කරනවා. ඔබේ දූ දරුවන් මත්ද්‍රව්‍ය වලට ගොදුරු වේ යැයි බියෙන් සිටිනා යුගය අවසන් කරන්නට අපි පොරොන්දු වෙනවා.

අනාගත රජයක් තුල දේශපාලනික මෙන්ම ආයතිනක දූෂණය වැලැක්වීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.දූෂණය වැලැක්වීමට මෙන්ම දූෂිතයන්ට කඩිනමින් දඩුවම් දීමටත් අවශ්‍ය යාන්ත්‍රනයන් අපි ශක්තිමත් කරනවා. මා නායකත්වය දෙන රජයක් තුල දූෂණයට කිසිම ඉඩක් නොතබන බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල ඇති කිසිදු අදහසක් දේශපාලන හිස් පොරොන්දුවක් නොවන බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා.

හැමදාමත් බාර දුන්න සෑම වගකීමක්ම ඉටු කල මම, මෙවර බාරදී ඇති වගකීමත් ඉතාමත්ම ඉහළින් ඉටුකරනවා. රට ගොඩනැගීමේ වගකීම ඉටුකිරීමේදී මම ඔබ සියලු දෙනාගේ සහාය හා සහභාගීත්වය අපේක්ෂා කරනවා. ඔබ මොන පක්ෂයේද, මොන වර්ගයේද, මොන ආගමේද යන්න අපට වැදගත් නැහැ. එකම කොන්දේසිය ඔබ සැබවින්ම රටට ආදරය කරන පුරවැසියෙක්. විය යුතුය යන්න පමනයි. අපි එක අධිෂ්ටානයකින් වැඩකලොත් ආර්ථික වශයෙන් දුර්වල පසුගාමී රටක් වෙනුවට ප්‍රබල ආර්ථිකයකට හිමිකම් කියන ලෝකයේ ගෞරවය දිනාගත හැකි රටක් බවට ලංකාව පත් කරන්නට අපට පුළුවන්. මිනිසුන් හැර යන රටක් වෙනුවට – ගිය අය ආපසු එන සෞභාග්‍යමත් දේශයක් ගොඩනගමු. නොවැම්බර් 16 වෙනිදාට අපි සියලු දෙනාම එක්වී ඒ සඳහා පලමු පියවර තබමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස