අපේකමට සංස්කෘතියට ගරු කරන නායකයෙක් රටට අවශ්‍යයයි! නිසි ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරා ගෙන යා යුතුයි! ඒ සඳහා බැසිල් ජයග්‍රාහි පක්ෂයක් හදලා තියෙනවා!

February 25, 2019 at 7:24 am | by admin

(දිවුලපිටිය සෙනුරි උත්සව ශාලාවේ 23 වැනිදා පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් පැවැත් වූ දේශනයයි.) –

අපේ පාලනය කාලයේදී මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විශේෂයෙන් චීනය උදව් කළා. අපේ රට ලෝකය දෙස බැලීමේදී භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක තිබෙන රටක්. එවැනි තත්ත්වයක් තුළ චීනය අප සමඟ සම්බන්ධ වෙලා වැඩ කිරීම ගැන විවිධ බලවත් රටවල් කලබල වීම රහසක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒ ආධාර ලබා ගත්තේ හුදෙක්ම අපේ රටේ සංවර්ධනය උදෙසා සහ ආර්ථිකමය වශයෙන් පමණයි. අපේ රටේ ස්වෛරීභාවය, නිදහස ගැන හොඳ අවබෝධයකින් තමයි අපි සෑම විටම කටයුතු කළේ. අපට චෝදනා කරනවාට වඩා ඒ අයට පුළුවන්කම තිබෙනවා අපේ රටේ ආයෝජන කරන්න.

ඕනෑම තාක්‍ෂණික කර්මාන්තයකට පුහුණු කරන්න පුළුවන් තරුණ පරපුරක් අපේ රටේ සිටිනවා. 21 වැනි ශතවර්ෂය ලෝකයේ දැනුම මුල් කරගත් ශත වර්ෂයක්. එම කාලය තුළ අපේ රටෙත් දැනුම මුල් වූ කර්මාන්ත හරහා රට දියුණු කරන්නට පුළුවන් ශ‍්‍රම බළකායක් සිටිනවා. ඕනෑම විදේශ ආයෝජනයකට පමණක් නොව දේශීය ආයෝජකයන්ටත් ඒ සඳහා යම්කිසි ලක්‍ෂණ තිබිය යුතුයි. නමුත් එවැනි තත්ත්වයක් අපේ රටේ නැති බව ඔවුන්ගේ හැසිරීම් රටාවලින් පේනවා. රටක් ස්ථාවර විය යුතුයි. රටක් ස්ථාවර නැති නම් ආයෝජකයන් එම රටේ ආයෝජන කරන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ රජය තුළ ස්ථාවරත්වයක් තිබුණා. ඒ නිසයි අද කොළඹ මෙවැනි සංවර්ධනයක් සිදුවුණේ.

අපි අනාගතයේ ස්ථාවර රටක් බිහි කළ යුතුයි. මේ රටේ තිබෙන රාජ්‍ය ක‍්‍රමවේදය ස්ථාවර, මධ්‍යම විය යුතුයි. ස්ථාවර රාජ්‍යයක් නොතිබුණොත් රටේ ස්ථාවරත්වයක් ඇති කරන්න බැහැ. එවැනි පසුබිමක තමයි රටේ ආයෝජන බිහි කළ හැකි වන්නේ. ස්ථාවරත්වයක් තිබෙන මධ්‍යම රජයකට, බලය තිබෙන රජයකට ස්ථාවර ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අපි අද ඉතා වශාල වශයෙන් කතා කරනවා විදේශීය සෘජු ආයෝජන ගැන. නමුත් විදේශීය ආයෝජකයන් පමණක් නොව අපේ රටේ ව්‍යාපාරිකයන් වෙනත් රටවල ආයෝජන කරන්න පෙළඹී සිටිනවා. අපිට විශාල වශයෙන් විදේශීය විනිමය ගෙනෙන කර්මාන්ත වෙනත් රටවලට ක‍්‍රම ක‍්‍රමයෙන් යමින් පවතිනවා. මෙවැනි තත්ත්වයකට හේතුව තමයි රටේ ස්ථාවරත්වයක් නොමැතිකම. ප‍්‍රතිපත්තිවල ස්ථීරතාවයක් තිබිය යුතුයි. අද ඇමැතිවරයෙක් ප‍්‍රතිපත්තියක් ගෙනාවාම ඇමැතිවරයා මාරු වුණාම එම ප‍්‍රතිපත්ති වෙනස් වෙනවා. විදේශීය ආයෝජකයන් එවැනි ප‍්‍රතිපත්ති බලාපොරොත්තු වෙන්නේ නැහැ.

එදා මහින්ද රාජපක්‍ෂ රජය ප‍්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගත්තා යුද්ධය අවසන් කරන්න. යුද්ධය අවසාන වනතුරු එතුමා එම ප‍්‍රතිපත්තියේ හිටියා. පසුව එතුමා රටේ කෘෂිකර්මාන්තය ගැන ස්ථීර පිළිවෙතක හිටියා. අපේ රටේ කෘෂිකාර්මික පදනම ස්ථීරව තිබිය යුතුයි කියන මතයේ හිටියා. පොහොර සහනාධාර ලබා දෙමින් ගොවීන්ට ශක්තියක් වුණා. එනිසයි අපේ රට සහලින් ස්වයංපෝෂිත වුණේ. මහින්ද රාජපක්‍ෂ රජය රටේ යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි කියන කාරණයේදී කටුනායක, මධ්‍යම, දකුණු අධිවේගී මාර්ගය ඇති කළා. ගුවන් තොටුපළ , වරාය සියල්ලම රටකට සම්පතක්. මහින්ද රජය මේවා දියුණු කරන්නට ස්ථීර ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා. එදා ආයෝජනය කළ ව්‍යාපෘති වත්මන් රජය නතර කළා. ඒවා කුමන රටක ආයෝජන වුවත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඒවා අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමටයි. රජයක් මාරු වීම පමණින්ම දේශපාලනික හේතූන් මත ආයෝජන නතර වුවහොත් යළිත් ආයෝජන මේ රටට එන්නේ නැහැ. ඒ නිසයි නව ආයෝජන මේ රටට ගෙනෙන්නට තවම බැරිවෙලා තිබෙන්නේ. ස්ථිර ප‍්‍රතිපත්තියක් ඉදිරියට ගෙනයන රජයක් මේ රටට අවශ්‍යයි. වෘත්තිකයන් ඒ නිසයි මේ රටට ජාතික ප‍්‍රතිපත්ති සකස් කරමින් සිටින්නේ. ජාතික ප‍්‍රතිපත්තීන් රටකට තිබිය යුතුයි. කුමන රජයක්, ඇමැතිවරයෙක් පත්වුණත් එම ප‍්‍රතිපත්තීන් ඉදිරියට ගෙන යා යුතුයි. විනිවිදභාවයක් තිබිය යුතුයි. විනිවිදභාවයක් නොමැතිකම නිසයි දුෂණය ඇති වෙන්නේ. මෙම සියලු කාරණා මුල්කරගෙන තමයි ආයෝජකයන් අපේ රටට එන්නේ.

දුෂණයෙන් තොර රටක් ඉතා වැදගත්. ආරක්‍ෂක අංශවලට ආයුධ ගැනීමේදී නොයෙක් අක‍්‍රමිකතා සිදුවෙන්න පුළුවන්. නමුත් අපිට වසර හතරකට ආසන්න කාලයක් තුළ යුද්ධය අවසන් කරන්න පුළුවන්කම ලැබුණේ නිවැරදි ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන ගිය නිසයි. නොයෙක් අයට චෝදනා කරන්න පුළුවන්. නමුත් යුද්ධය පමණක් නොවෙයි ඕනෑම දෙයක් වැරදියට කළා නම් නිවැරදි ප‍්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හරි ප‍්‍රතිඵල ලැබුණේ අපි නිවැරදි ලෙස වැඩ කළ නිසයි. මිග් ගනුදෙනුවට නොයෙක් අය චෝදනා කළා. මිග් ගනුදෙනුව තමයි මෑත ඉතිහාසයේ නිවැරදිව සිදුකළ ගනුදෙනුව. එදා අපේ රටට ප‍්‍රහාරක යානා අවශ්‍යයි කියලා ගුවන් හමුදාවයි යෝජනා කළේ. අපේ ආණ්ඩුවට පමණක් නෙමෙයි, මීට පෙර තිබූ එජාප රජයටත් මේ අවශ්‍යතාව තිබුණා. නමුත් ඒ ගැන ක‍්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඔවුන් අසාර්ථක සාම සාකච්ඡුාවල නිරතව සිටි නිසා එම යෝජනාව සලකා බැලූවේ නැහැ. ගුවන් හමුදාව මහින්ද රජයටත් එම යෝජනාව කළා. ඒ නිසයි අවශ්‍යතාවට අනුව ප‍්‍රහාරක යානා මිලදී ගත්තේ. අවශ්‍ය ගුවන් යානා තෝරා ගත්තෙත් ගුවන් හමුදාවමයි. එම යානා තෝරා ගන්න විශේෂඥ මණ්ඩලයක් පත් කර තිබුණා.

ගුවන් යානාවල මිල තීරණය කළේ කැබිනට් මණ්ඩලය විසින් පත් කළ කමිටුවක්. මිල ලැබුණාට පසුව නැවතත් සාකච්ඡා කරන්න කමිටුවක් ද තිබුණා. එහි ප‍්‍රධානියා තමයි පසුව මේ රටේ විගණකාධිපති වුණේ. ඔහුම තමයි පසුව ජනාධිපති කොමිසමේ සාමාජිකයකු වෙලා හිටියේ. මෙවැනි ක‍්‍රියාදාමයකින්, ක‍්‍රමවේදයක් සහිතව, විනිවිදභාවයකින් ගුවන් යානා මිලදී ගත්තේ. මේ ආකාරයටම තමයි සෑම ආයුධයක්ම මිලදී ගත්තේ. එවැනි විනිවිදභාවයක් තමයි ඕනැම ආයෝජකයෙක් බලාපොරොත්තු වුණේ. නිවැරදි වෙලාවට නිසි තීරණ ගන්න පුළුවන් පුද්ගලයන් රටේ සිටිය යුතුයි. මෙවැනි කරුණු ඔස්සේ තමයි ආයෝජකයන්ට කියන්න පුළුවන්කම තිබෙන්නේ අපේ රටේ ආයෝජනය කරන්න කියලා.

අපේ රටේ උගත්, දක්‍ෂ, නිපුණතාවයකින් යුත් තරුණයන් ඉන්නවා. රජයේ වැරදි නිසා තමයි ආයෝජන නැත්තේ. විරැකියාවට හේතුවත් එයයි. එනිසා අපි ඉදිරියේදී නායකයෙක්, රජයක් තෝර ගැනීමේදී විශ්වාසය තිබෙන පුද්ගලයෙක් තෝරාගත යුතුයි. එවැනි නායකයෙක්, රජයක් තුළ තමයි රට නැවතත් ඉදිරියට ගෙන යා හැකි වන්නේ. අද ඇතැම් අය විවිධ සැලසුම් ගැන කතා කරනවා. කාලයක් තිස්සේ මේ අය මේවා ගැන කතා කරනවා. නමුත් කිසිම සැලසුමක් ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන්ට තීරණ ගන්න බලය දීලා නැහැ. අපේ රජය තීන්දු තීරණ ගන්න රාජ්‍ය නිලධාරීන්ට බලය දුන්නා. ඔවුන් තීරණ ගත්තා. ඔවුන් ආයෝජන ගේන්න කටයුතු කළා.

මහින්ද රාජපක්‍ෂ රජය පරාජයට වුණාට පසුව සැලසුම් සකස් කිරීමටයි වියත්මග බිහි කළේ. පසුගිය කාලය තුළ ප‍්‍රශ්න තෝරාගෙන අපි සැලසුම් සකස් කරගෙන යනවා. එම සැලසුම් ඉදිරි දේශපාලන නායකත්වයට ඉදිරිපත් කරනවා. වෙනස්කම් අව්‍යශ්‍ය නම් ඒවා නිවැරදි ලෙස සකස් කරලා නව නායකත්වයට ඉදිරිපත් කරනවා. වෘත්තිකයන් හරහා මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න ගැන දැනුවත් කරන්න එළිය සංවිධානය බිහි කළා.

එදා අපිට පක්‍ෂයක් නොමැති වෙලාවේ බැසිල් රාජපක්‍ෂ මහතා පක්‍ෂයක් බිහි කරමින් පළමු වතාවට ජයග‍්‍රහණය ලබා ගත්තා. අද අපිට ජයග‍්‍රාහී පක්‍ෂයක් තිබෙනවා. ජනතාවගේ මතය තමයි රටේ දේශපාලනය තීරණය කරන්නේ. ජනතාවට විශාල වගකීමක් තිබෙනවා දේශපාලන නව නායකත්වයක් බිහිකිරීමට. අපිට එදා අහිමි වූ ප‍්‍රතිපත්ති, නායකත්වයක් ඉදිරියට ගෙන යෑමට අවශ්‍යයි. අපි නිසි ප‍්‍රතිපත්තිය ජයග‍්‍රහණය කළ යුතුයි. අපේකමට, සංස්කෘතියට ගරු කරන නායකත්වයක අවශ්‍යතාව ඉදිරියේ තිබෙනවා.

චමින්ද කරුණාරත්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස