පාළුගෙයි වළං බිඳින සජිත් සජීවි රූපවාහිනි සංවාදයකට යන්නේ කවදාද?

October 14, 2019 at 8:15 am | by emanisa.lk

රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එකතු වී සංවිධානය කළ ජනාධිපති අපේක්ෂකයන් එකම වේදිකාවට ගෙන ඒමේ වැඩසටහනට ගෝඨාභය රාජපක්ෂ නොපැමිණියේ යැයි චෝදනා නඟමින් එජාප සහ ජවිපෙ කණ්ඩායම් ජනතාව අතර වැරදි මතයක් ඇති කිරීමට උත්සාහ ගන්නා ආකාරය දැකිය හැකිය.

පළමුවෙන්ම කිව යුත්තේ මෙය සංවිධානය කර තිබුණේ NGO කප්පිත්තන්ට උවමනා ආකාරයට එජාප සහ ජවිපෙ අපේක්ෂකයන් උඩදැමීම සඳහා බවය. එහි පේක්ෂක පිරිස ද ඔවුන්ගේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ මතවාදය සමග අනුගත කණ්ඩායමකි. මෙම NGO වේදිකාවට ගෝඨාභය රාජපක්ෂ නොයෑම පිළිබඳ ජාතියේ ප්‍රණාමය ඔහුට හිමි විය යුතුය. රට ඉල්ලා සිටින්නේ NGO වේදිකාවල ළගින නිවටයකු නොව ජාතියට මග පෙන්වන ජාතික නායකයෙකි.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස මහා වීරයකු ලෙස එහි ගොස් පාළුගෙයි වළං බිඳිනු දැකිය හැකි විය. ජවිපෙ අනුර දිසානායක හෝ පේක්ෂකාගාරය ඔහු අපහසුතාවට පත් නොකරන බවත් හැකි ඉහළම තලයට ඔසවා තබන බවත් ඔහු දැන සිටියේය. එසේ නොවුණේ නම් සිය දේශපාලන ජීවිතයේ කිසිම දවසක පෞද්ගිලක රූපවාහිනී නාළිකාවක හෝ රාජ්‍ය නාළිකාවක හෝ සජීවී දේශපාලන සාකච්ඡාවකට සහභාගී වී නොමැති සජිත් ප්‍රේමදාස මේ NGO වේදිකාවට පැත්ත පලාතේ යන්නේ නැත.

සජිත් ප්‍රේමදාස හිරු, දෙරණ, ස්වර්ණවාහිනී තබා ජාතික රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියේ කිසිම සංවාදාත්මක දේශපාලන වැඩසටහනක අප දැක නැත. කොටින්ම සිය දේශපාලන ස්වාමියා වන කිලි මහාරාජාගේ සිරස නාළිකාවේ පවා කිසිම සංවාදාත්මක වැඩසටහනකට ඔහු සහභාගී වී නොමැත. ඔහුට මාධ්‍ය නාළිකා ආරාධනා කළ සෑම අවස්ථාවකම සිදුකළේ ඒවා ප්‍රතික්ෂේප කිරීමය. රට හමුවේ ගැටලුවක් මතු වූ විට සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී හෝ සිය මතය ප්‍රකාශ කරනු අප දැක නැත.

රට හමුවේ ඇති ප්‍රශ්නවලට සිය විසඳුම් රටට නොකියන සජිත් කරන්නේ ඒදණ්ඩේ යාම, ඉනිමගේ පැලට යෑම, බස් පැදවීම, ක්‍රිකට් ගැසීම, පාපන්දු ගැසීම, අලි මන්තර කීම, ගිටාර් සහ ඩ්‍රම්ස් ගැසීම, කැඩුණු බාටා දැමීම සහ තමන්ගේ සහ පියාණන්ගේ පම්පෝරිය ගැසීමය. තමන්ගේ නින්ද නොයෑෙමේ රෝගයද හැකියාවක් ලෙස පවසමින් විහිළු සැපයීමය.

දශක දෙකක පමණ සිය දේශපාලන ජීවිතය තුළ කිසිදු රූපවාහිනී නාළිකාවය කිසිදු දේශපාලන සංවාදයකට සහභාගී නොවූ එකම දේශපාලකයා ලෙස ගිනස් වාර්තාව තබා ඇත්තේ සජිත් ප්‍රේමදාසය. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු මෙරට දේශපාලකයන් පවා එවැනි වැඩසටහන්වල අප දැක තිබේ. එහෙත් සජිත් ප්‍රේමදාස එවැනි වැඩසටහනක අප දැක නැත. කිසිවකු දුටුවේ නම් එය වහාම අටපට්ටමට කියන්න ඕනෑය.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ස්වර්ණවාහිනිය, දෙරණ, හිරු, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය පමණක් නොව බීබීසි වැනි ජාත්‍යන්තර මාධ්‍ය සමග පවා සාකච්ඡා සංවාද කරනු අප 2005 වසරේ සිට දැක තිබේ.

එපමණක් නොව මෙරට උගත් බුද්ධිමත් පරපුරේ සාතිශය බහුතරය රොද බැඳගත් වියත්මග එළිය ආදී සංවිධානවල සභාපතිවරයා ලෙස රටේ උගත් පරපුර සමග සාකච්ඡා සංවාද කරනු ඔවුන් විමසන ප්‍රශ්නවලට ඉතා පැහැදිලි පිිළිතුරු ලබා දෙනු අප දැක ඇත. උතුරු නැඟෙනහිර සිට මෙන්ම රට නං දෙසින් තමා වෙත පැමිණි ජන කණ්ඩායම් විමසන ගැටලුවලට ඉතාම පරිණත නායකයකු ලෙස පිළිිතුරු දෙනු අප දැක තිබේ.

එවැනි නායකයකු රටට හතුරු NGO කල්ලි අටවන වේදිකාවලට ගොඩවිය යුතු නැත. එම විකල්ප වේදිකා ඇටවිය යුත්තේ සැබවින්ම මාධ්‍ය ඉදිරියට යාමට බිය ජාතික වශයෙන් වැදගත් කිසිම ප්‍රශ්නයක් පිළිබඳ කිසිදා කටෙන් කෙළ බිඳක් හෙළා නොමැති කිසිම දැක්මක් නැති සජිත් ප්‍රේමදාස වැනි පුද්ගලයෝය. එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසන ආකාරයටම සාමාන්‍ය පෙළවත් අසමත් වැඩබැරි ටාසන්ලාය.

මාධ්‍ය හමුවකට පැමිණි අවස්ථාවල පවා සජිත් ප්‍රේමදාස මාධ්‍ය ඉදිරියේ හැසිරෙන අහංකාර සහ උද්දච්ඡ ආකාරයෙන් ඔහු සජීවි දේශපාලන සංවාදයක් සඳහා පැමිණියහොත් සිදුවන දේ වටහාගත හැකිය. ඔහු එවැනි වැඩසටහනකට ගියේ නම් එය මිස්ටර් බීන්ගේ විහිළු පරයා ලංකාවේ ජනප්‍රිය වනවා නියතය.

එහෙයින් ගෝඨාභය රාජපක්ෂට ඇඟිල්ල දිගු කරන එජාප සහ ජවිපෙ කණ්ඩායම් කළ යුත්තේ අවශ්‍ය ප්‍රශ්න සහ පිළිතුරු ටික ලියා දී හෝ සජිත් ප්‍රේමදාස රූපවාහිනි සජීවි සංවාද වැඩසටහනකට කෙසේ හෝ දක්කා ගෙන ගොස් මේ නව නිංගිරාවෙන් බේරීමය. අනෙකුත් මාධ්‍ය වෙත යාමට බිය නම් සජිත් ප්‍රේමදාසගේ ස්වාමියා වන කිලිමහාරාජාගේ සිරස නාළිකාව හෝ කොටි ඩයස්පෝරාව මිල දී ගත් ස්වර්ණවාහිනිය හෝ මේ සඳහා යොදාගැනීම වරදක් නොවේ.

ඉඳුනිල් වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස