අනුරගේ දෙවෙනි මනාපෙත් සජිත්ට! අලි රතු අලි එකතු වුණත් පොහොට්ටුව දිනුම්!

August 27, 2019 at 3:35 pm | by emanisa.lk

ජනාධිපතිවරණයේ දී දෙවන තෙවන මනාප ලකුණු කිරීම අත්‍යවශ්‍ය යැයි එන්.ජී.ඕකාරයන් ප්‍රචාරයක් ගෙන යන්නේ ජනතා විමුක්ති පෙරමුණට වැටෙන ඡන්දවල දෙවන මනාපය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ලබා ගැනීමේ අරමුණින් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

“2010 සහ 2015 ජනාධිපතිවරණ වල දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට තමන්ගේ ඡන්ද කුට්ටිය පූජා කරපු ජනතා විමුක්ති පෙරමුණ මෙවර තනියම තරග කරනවා. ඒ නිසා එජාපයට ලැබීමට තිබුණු ලක්ෂ හතකට අධික දැවැන්ත ඡන්ද කුට්ටියක් අහිමි වෙලා. එයින් එජාපයට ඇති වුණු අවාසිය නැති කරන්න එජාපයට කඩේ යන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද දායකයන්ගේ දෙවන මනාපය එජාප අපේක්ෂකයාට ලබාදීමේ යටි අරමුණින්, මෙවර මැතිවරණයේ දී කිසිම පක්ෂයක් 50% ඉක්මවා යන්නේ නැති බවත් ඒ නිසා දෙවන මනාපය ප්‍රකාශ කිරීම වැදගත් බවත් ප්‍රකාශ කරනවා. මේක දෙයාකාරයකින් පට්ටපල් බොරුවක්.

ලංකා ඉතිහාසයේ බිහි වුණු වැඩ බැරිම ආණ්ඩුව මෙය බව කියන්නේ විපක්ෂයේ අපි විතරක් නොවේ. මේ ආණ්ඩුව විවේචනය කරමින් පා ච රණවක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, හරින් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ සහ අජිත් පෙරේරා වැනි ඇමතිවරු කර තිබෙන ප්‍රකාශ කියෙව්වාම ඒ බව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ජනාධිපති අපේක්ෂකයෙකු ලබන ඉහළම ප්‍රතිශතයකින් අනාගත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන බව ඉතාම පැහැදිලියි.

පොදුජන පෙරමුණ තවමත් සිටින්නේ 2018 පෙබරවාරි මාසයේ පුංචි ඡන්දයේ දී ගත් 42% යැයි අපි මොහොතකට හිතමු. පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වුණෙත් නෑ. ආරථිකය කඩා වැටුනෙත් නෑ. ආණ්ඩුවේ වංචා දූෂණ හෙලි වුණෙත් නෑ රට තවම එතැනමයි කියා අපි හිතමු. ඒ වගේම ශ්‍රිලනිප ඡන්ද කුට්ටිය අරගෙන ශ්‍රිලනිප මන්ත්‍රිවරු අපට එකතු වුණෙත් නෑ කියා හිතමුකො. එදා අපි 42% ගන්නා විට එජාපයට 29%යි. එජාපයට සහයට දෙන සුළු පක්ෂ ස්වාධීනව තරග කරලා ලබා ගත් 2%.ත් එකතු කළාම දැන් 31%යි. එතකොට ජයග්‍රහකයා වෙන්නේ 42%ක් ලබා ගෙන වැඩිම ඡන්ද ලබා ගත් අෙප්ක්ෂකයා. ඒක හරියටම තේරුම් ගන්න ජනාධිපතිවරණ මැතිවරණ නීතිය දිහා අපි හැරිලා බලමු.

ජනාධිපතිවරණ නීතිය අනුව නම් ජනතාව ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ තමන් කැමැති අපේක්ෂකයින් තිදෙනෙකුට තමන් කැමති පිළිවෙළට 1, 2 සහ 3 යනුවෙන් ලකුණු කිරීමෙන්. නමුත් 99%කටත් වඩා ඡන්දය දාන්නේ පුරුදු විධියට කතිරය ගැසීමෙන්. මම කිසිම ජනපතිවරණයක 1, 2, 3 ලකුණු කර ඡන්දය දීලා නෑ. කතිර තමයි ගැහුව්වේ. තමුන්නාන්සේලා සියලු දෙනාමත් කළේ එහෙමයි.

ජනාධිපතිවරණයේ දී අපේ අපේක්ෂකයා 42% ගන්නා විට එජාප අපේක්ෂකයා 31%ක් ගත්තා කියා සිතමු. දැන් අනෙකුත් අපේක්ෂකයින්ට ඡන්දය දුන් ඡන්දදායකයින්ගේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට ලබා දී ඇති දෙවන සහ තෙවන මනාප ගණන් කර ප්‍රධාන අපේක්ෂකයින්ගේ ඡන්ද ගණනට එකතු කරනවා. ඊට. පස්සේත් කිසිවෙක් 50% අරගෙන නැතිනම් වැඩිම ඡන්ද ලැබූ අපේක්ෂකයා ජයග්‍රහකයා ලෙස ප්‍රකාශයට පත් කරනවා. ඒ නිසා දෙවන තුන්වන මනාපය ලකුණු කිරීම අත්‍යාවශ්‍යයි කියා එන්ජිඕ කරන ප්‍රචාරය පදනම් විරහිතයි. එ්ක ජවිපෙ අපේක්ෂකයාගේ දෙවන මනාපය එජාප අපේක්ෂකයාට ලබා දීමට දරණ වෑයමක් විධියටයි අපි දකින්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස