ගෝඨා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියන වියන්ගොඩ කවුද?

October 8, 2019 at 2:52 pm | by emanisa.lk

රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එකතු වී ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාට එකම වේදිකාවකට ආරාධනා කර රටේ ප්‍රශ්න සඳහා ඔවුන්ගේ විසඳුම් පැවසීම සඳහා පසුගිය 05 වෙනිදා වැඩසටහනක් සංවිධානය කර තිබිණි.

ඒ ඔවුන්ගේ රැහේ තවත් කුප්‍රකට NGOකාරයන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට යන පසුබිමකය.

ද්වේෂ සහගත දේශපාලන අරමුණක් පෙරදැරිව අවසාන මොහොතේ සිදුකළ මෙම නීච ක්‍රියාව නිසා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණට සිය සම්පූර්ණ අවධානය අදාළ අධිකරණ කටයුත්ත වෙත යොමු කිරීමට සිදුව තිබිණි.

දින කිහිපයක් නොකඩවා විමසූ අදාළ පෙත්සම විභාග නොකර ඉවත දැමීමට අභියාචනාධිකරණය තීන්දු කළේ 04 වෙනිදා සවසය.

සැබවින්ම මෙය කිසිසේත් NGO කල්ලිය බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොවේ. ඔවුන් අවසාන මොහොතේ අදාළ පෙත්සම ගොනු කළේ නාම යෝජනා භාරදීමට පෙර ගෝඨාට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගෙන සජිත්ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහාය.

ඊට පසුදින එනම් 05 වෙනිදා මෙම NGO කල්ලිය සජිත් අනුර එකම වේදිකාවට කැඳවා පාළුගෙයි වළං බිඳින්නට සූදානම් වූයේ පෙර කී ආකාරයට ගෝඨාභය රාජපක්ෂ තරඟයට පෙරම පිටියෙන් ඉවත් කර තබාය. එහෙත් සුපුරුදු ලෙස එම දුෂ්ට බලවේගය පරාජයට පත්විය.

අනතුරුව එජාප සහ ජවිපෙ එකගෙයි කන කණ්ඩායම ගෝඨාට විරුද්ධව මඩ අවලාද ව්‍යාපාරයක් දියත් කළේ පෙර කී ජනපති අපේක්ෂක වේදිකාව ගෝඨාභය හිතාමතාම මගහැරි බවට චෝදනා කරමිනි. ගෝඨාභයට එවැනි සභාවකට පැමිණ ජනතාව අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය නොහැකි බව සඳහන් කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇති පැහැදිලි නිරවුල් දැක්මක් ඇති තම හැකියාව භාවිතාවෙන්ම ඔප්පු කර ඇති උගතුන් බුද්ධිමතුන් දහස් ගණනක් පිරිවරා ගත් වියත්මග සහ එළිය වැනි සංවිධානවල සභාපතිත්වය දරන සුවිශේෂ නායකයකු බව රටට කිව යුතු නැත. ඔහු ජනාධිපති වේදිකාවේ සිට රට අමතා දැනටමත් සිය වැඩපිළිවෙළ එළිදක්වා අවසානය. ඒ සියලු කුමන්ත්‍රණවලට මුහුණ දෙමින් ඒවා හමුවේ නොසැලී ඒවා පරාජය කරන අතරය. වියන්ගොඩලාගේ බොරු නඩු පරාජය කරන අතරය.

ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය සහිත අයකු බවත් ඔහු ජනාධිපති වීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් පවසමින් අධිකරණයට ගිය එක NGOකාරයකු වන ගාමිණී වියන්ගොඩ ප්‍රංශ පුරවැසියකු බව බොහෝ දෙනෙකු දන්නේ නැත. එපමණක් නොව අවුරුදු දහයකට උතුරු නැඟෙනහිර ප්‍රභාකරන්ට භාරදිය යුතු යැයි පුවත්පතකට ලියූ ජාතිභ්‍රෂ්යකු බව බොහෝ දෙනෙකු දන්නේ නැත.

“අවුරුදු පහක දහයක සංක්‍රමණික කාලයක් සඳහා ප්‍රභාකරන්ට බලය පැවරීම අද පවතින විනාශකාරී යුද්ධය තරම් නරක නැත.

ඒකීය රාජ්‍ය වෙනුවට ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ බලය සැබෑ අරුතින්ම ප්‍රාදේශීයකරණය කරන එක්සත් ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයකට අප මාරු විය යුතුය. එම රාජ්‍ය සියලු ආග් සහමුලින්ම බැහැර කළ යුතුය. එනම් රාජ්‍ය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෞකික විය යුතුය.”
(ගාමිණි වියන්ගොඩ, ලක්බිම 1998/03/29)

කලක් ජවිපෙ සාමාජිකයකු වූ ගාමිණී වියන්ගොඩ අනතුරුව ප්‍රංශයට ගොස් ටැක්සි රියදුරෙකු සහ හොටෙල් අයකැමියකු ලෙස රැකියාව කළ අයෙකි. එතෙක් සිංහලයට නඟා නොතිබුණු ලතින් ඇමරිකානු නවකතා කසිකබල් හඩු සිංහල බසින් සිංහලයට නැඟූ වියන්ගොඩ මහා සාහිත්‍යවේදියකු බවට බෞතීස්ම ලැබුවේ ගස් නැති රටේ තුත්තිරි ගසත් ගසකි යන උපහැරණය සිහිපත් කරමිනි. ඒ වියන්ගොඩගේ කුසලතාවක් නිසා නොව ලතින් ඇමරිකානු නවකතා සම්ප්‍රදාය ශ්‍රී ලාංකික පාඨකයන්ට අලුත් අත්දැකීමක් වූ නිසාය.

උග්‍ර සිංහල බෞද්ධ විරෝධියකු සහ හීනමානකාරයකු වන වියන්ගොඩ ෆෙඩරල් අනාගමික රාජ්‍යයක් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියෙකි. කොටි ත්‍රස්තවාදීන් විමුක්ති හමුදාවකටත් ත්‍රස්තවාදය විමුක්ති සටනකටත් සම කළ වියන්ගොඩලා රටේ ආරක්ෂක හමුදා යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමට පසුබට වූයේ නැත.

2015 දී රටේ ජාතික ආරක්ෂාව ආර්ථිකය ජාතික සමගිය සංහිඳියාව ආදී සියල්ල විනාශ කරදැමීමේ පෙරගමන්කරුවන් ලෙස කටයුතු කළ වියන්ගොඩලා මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කටේ කෙළ බිඳක් නොසැලුව ද රණවිරුවන් සිරගත කිරීමට, බුද්ධි අංශ දඩයමට, ෆෙඩරල් ව්‍යවස්ථා සම්පාදනයට, රට අරාජික කළ 19 වෙනි සංශෝධනය ගෙන ඒමට, නැවත බෙදුම්වාදයට පණ පිඹීමට ප්‍රබල මැදිහත් වීමක් කළේය.

රාජ්‍ය නොවන සංවිධානවලින් ද අරලියගහ මැදුරින් ද වැටුප් ලබමින් වර්තමාන බෙදුම්වාදී ආණ්ඩුව රැකගැනීම සඳහා දිවා රෑ නොබලා කටයුතු කරන මේ කල්ලිය ගෝඨාභය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කිඹුල් කඳුලු හෙළන්නේ ගෝඨාගමනය සමග සිය ෆෙඩරල් අනාගමික රාජ්‍ය සිහිනය සුනුවිසුණු වන නිසා මිස අන් කිසිවක් නිසා නොවේ. ගෝඨාගමනය සමග මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැවත වරක් ශක්තිමත් වන නිසා මිස අනෙකක් නිසා නොවේ. ඒ සංස්කෘතිය සෙවණේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව නැවත සමගියෙන් ජීවත් වෙමින් රට සෞභාග්‍ය කරා ගෙන යන බව දන්නා නිසා මිස අනෙකක් නිසා නොවේ. එවැනි රටක මේ රටේ ජනතාව ජීවත් වීම සිය කාලකන්නි ජීවිත නඩත්තු කිරීමට බාධාවක් බව දන්නා නිසා මිස කිසිවක් නිසා නොවේ.

එහෙයින් එළඹෙන ජනාධිපතිවරණයේ දී මෙම NGO, දෙමළ සන්ධානය, අන්තවාදී මුස්ලිම් නායකයන් සහයෝගය ලබාදෙන කඳවුර පරාජයට පත්කර ඒකීය සිංහල බෞද්ධ රට ආරක්ෂා කර ගැනීමට දේශ මාමක වගබලා ගත යුතුය.

ඒ බෞද්ධ ගාථාවක ජර්මන් පරිවර්තනය බලා මෙම කුපක්‍රට NGO කාරයා 2015 පැවසූ ආකාරයට ගෙට ගිනි ගත් කල එළියට පනින අයකු ලෙස නොව සුරක්ෂිත දියුණු රටක් බවට අපේ මව්බිම නැවත ඔසවා තැබිය හැකි නියම පරිණත නායකයා කවුද යන්න තීරණය ද කරමිණි.

ඒ සඳහා අප හමුවේ ඇති එකම විකල්පය ගෝඨාභය රාජපක්ෂය. ගෝඨාභය රාජක්ෂ ජයග්‍රහණ්‍ය කිරීම යනු මේ සියලු කල්ලි කණ්ඩායම් එක මිටට පරාජය කිරීමකි. මාතූභූමියේ සුරක්ෂිතතාව නැවත තහවුරු කර සිංහල දෙමළ මුස්ලිම් සැමට බියෙන් සැකෙන් තොරව සතුටින් ජීවත් විය හැකි දේශයක් ගොඩනැඟීමකි. 2015 අපේ රට ඇද වැටුණු අවිච්ඡි මහ නරකාදියෙන් නැවත ගොඩගැනීමකි. අපේ දේශයේ දූ පුතුන්ගේ සිහින දලු ලා වැඩෙන පතිරූප දේශයක් ගොඩනැඟීමකි.

ඉඳුනිල් වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස