පිළුණු වූ පාර්ලිමේන්තුව නැවත කැඳවීම ව්‍යවස්ථානුකූල නෑ! සුමන්දිරන්ලාට ඕන එජාප බහුතරයෙන් දේශද්‍රෝහි පනත් සම්මත කරගන්න! – ගම්මන්පිල

April 25, 2020 at 9:30 am | by emanisa.lk

ව්‍යවස්ථාව පිළිබඳ විපක්ෂය කියන්නේ බොරු බවත් පිළුණු පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.

සුමන්දිරන් මන්ත්‍රීතුමන් නීතිය විකෘති කිරීමට උත්සාහ දරන්නේ පෞද්ගලික යටි අරමුණක් සඳහා බවද ගම්මන්පිල කීය. හිටපු මන්ත්‍රීවරයා එම අදහස් ප්‍රකාශ කළේ පෙරේදා (23) පිටකෝට්ට පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිණි.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතුයි කියන විපක්ෂය මාර්තු 2 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් මැතිවරණය පැවැත්වෙන්නේ ජූනි 20 නම් මාස තුනක් ඇතුළත මැතිවරණය නොපැවැත්වෙන නිසා විසුරුවා හැරීම නීති විරෝධියි කියා අමුතු තර්කයක් ගේනවා. ඇත්තටම මොකද වුණේ?

මාර්තු 2දා ජනාධිපතිතුමා විසින් නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ප්‍රකාශනයේ අප්‍රේල් 25 දින මැතිවරණය පැවැත්වීමටත් මැයි 14 අලුත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවැත්වීමටත් දින නියම කළා. ඒක ව්‍යවස්ථා විරෝධියි නීති විරෝධියි කියලා කවුරුවත්ම කිව්වේ නෑ. පවතින වසංගත තත්ත්වය මත මැතිවරණය පැවැත්වීම කල් දාන්න මාර්තු 19දා මැතිවරණ කොමිසම තීරණය කරනවා. ඒකත් නීති විරෝධියි කියා කවුරුවත් කිව්වේ නෑ. අවසානයේ දී මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පැවැත්වීමට ජූනි 20 දින නියම කරනවා. ඔන්න එතකොට මැතිවරණය පවත්වන්නේ විසුරුවා හැර මාස තුනක් ඉකුත් වීමෙන් නිසා විසුරුවා හැරීම නීති විරෝධියි කියා විපක්ෂය කෑ ගහනවා.

මේක ඉතාම විහිළු සහගත තත්ත්වයක්. විසුරුවා හැරියේ ජනපතිතුමන්. ජූනි 20 කියලා මැතිවරණ දිනය නියම කලේ මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසම කරපු දෙයක් නිසා ජනාධිපතිගේ විසුරුවා හැරීම නීති විරෝධි වෙන්නේ කොහොමද? එක් අයෙකු කළ දෙයකින් වෙනත් අයකුගේ ක්‍රියාවක් නීති විරෝධි වන බව අත්තා මුත්තා කාලයේ දී වත් අහලා තිබෙනවා ද?

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීම පිළිබඳ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ස්ථාන දෙකකයි. ජනපති විසින් හදිසි නීතිය පනවනවා නම් එකී හදිසි නීතිය පැනවීමේ ප්‍රකාශනය විසුරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රකාශනයක් වන බව ව්‍යවස්ථාවේ 155(4) වගන්තියේ සඳහන් වෙනවා. නමුත් හදිසි නීතිය පැනවීමට තමන් බලාපොරොත්තු නොවන බවත් හදිසි නීතිය නොමැතිව කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීමට තමන්ට පුළුවන් බවත් ජනපතිතුමා පවසනවා. ඒ සම්බන්ධයෙන් එතුමා දැඩි තීන්දුවක සිටිනවා. එහෙම නම් හදිසි නීතිය පනවන්නේ නැතිනම් අනිවාර්යෙන් කැඳවීමේ වගන්තිය කිසිසේත්ම බලාත්මක වෙන්නේ නෑ. හදිසි නීතිය පනවන්නේ නැත්නම් ජනාධිපතිතුමන් විසින් විසුරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවීමට කිසිම නීතිමය බැඳියාවක් නොමැති බව අප ඉතාම අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. එහෙම තියනවයි කියල කියන අය ඉන්නව නම් අනේ ඕක කොතනද තියෙන්නේ කියලා නොදන්නා අපිටත් දැනගන්න පෙන්වා දෙන්න කියන ඉල්ලීමත් අප කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවීම අවශ්‍ය වන ස්වභාවයේ හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනපති සෑහීමකට පත් වන්නේ නම් පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලය තිබෙනවා. දැන් රටේ හදිසි තත්වයක් තිබෙනවා ද? උත්තරය ඔව්. කොවිඩ්19 වසංගත තත්ත්වය හදිසි තත්ත්වයක් තමයි. නමුත් පාර්ලිමේන්තුව යළි කැඳවීම අවශ්‍යතාවක් පැන නැගී ඇතැයි ජනාධිපතිතුමන් සෑහීමකට පත් වෙන්නත් ඕනෑ. එයට අධිකරණය සෑහීමකට පත් වෙලා මදි. විපක්ෂය ද සෑහීමකට පත් වෙලා මදි. මුළු ලංකාවම සෑහීමකට පත් වෙලා හිටියත් ජනාධිපතිතුමා සෑහීමකට පත් වන්නේ නැතිනම් එම වගන්තිය ක්‍රියාත්මක වන්නේ නැහැ. පාර්ලිමේන්තුව යළි කැඳවීමක් අවශ්‍ය වන්නේ මේ වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා අවශ්‍ය වන නීති රීතිවල යම් අඩුපාඩුවක් තියෙනවා නම්. මේ හදිසි තත්ත්වයට මුහුණ දීමට දැනට තිබෙන නීති හොඳටම ප්‍රමාණවත්. නිරෝධායන සහ වසංගත වැළැක්වීමේ ආඥා පනත, මහජන ආරක්ෂක පනත, අත්‍යාවශ්‍ය සේවා පනත සහ ආපදා කළමනාකරණ පනත වැනි නීතිවලින් මේ තත්ත්වයට හොඳින් මුහුණ දිය හැකියි. එහෙම නම් පාර්ලිමේන්තුව යළි කැඳවලා ජනාධිපතිට කර ගන්න දෙයක් නෑ.

එහෙම නම් පාර්ලිමේන්තුව යළි කැඳවා ගන්න විපක්ෂයට ඕනෑ ඇයි? පාර්ලිමේන්තුව ඕනෑද නැද්ද කියන එක තීරණය කිරීමට හිටපු කතානායකට බැහැ. අධිකරණට බැහැ. විපක්ෂයටත් බැහැ. එය කළ හැකි එකම බලධරයා ජනාධිපතිතුමන් පමණමයි. නමුත් ජනාධිපතිතුමන්ට පාර්ලිමේන්තුව යළි කැඳවීමට අවශ්‍ය නැතිනම් විපක්ෂය ඇයි මෙය කැඳවන්න කියලා බෙරිහන් දෙන්නෙ. එක දවසක් රැස් වුණොත් මන්ත්‍රිවරුන්ට මාසයකට වැටුප් සහ දීමනා දෙන්න ඕනෑ. කාර්ය මණ්ඩලවලට වැටුප් සහ දීමනා දෙන්න ඕනෑ. ඔන්න ඕකටයි පාර්ලිමේන්තුව යළි කැඳවන්න කියලා බෙරිහන් දෙන්නේ.

විපක්ෂය කැඳවන්න කියලා බල කරන පාර්ලිමේන්තුව මොකද්ද? 2018 දීත් 2019 දීත් අපේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ පිළුණු වුණු පාර්ලිමේන්තුවක්. අවසන් කළ ත්‍රස්තවාදයට යළි පණ දුන් දේශද්‍රෝහි පාර්ලිමේන්තුවක්. රටේ ආර්ථිකය ඇෆ්ගනිස්ථානයටත් වඩා පල්ලම් බස්සපු වැඩ බැරි පාර්ලිමේන්තුවක්. මහ බැංකුවත් හොරා කාපු චෞර පාර්ලිමේන්තුවක්. එහෙව් පාර්ලිමේන්තුවකට තමයි මේ පණ දෙන්න හදන්නේ.

මේ කැඳවීමට යන පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ වැඩ බැරි හොරු පිරි දේශද්‍රෝහි විපක්ෂයටයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුව යළි කැඳෙව්වොත් රට විකුණන රට පාවා දෙන දේශද්‍රෝහි පනත් බුරුතු පිටින් සම්මත වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා පිළුණු පාර්ලිමේන්තුව යළි නොකැඳවීමට ජනපතිතුමා ගත් තීරණයට අපි සිරස නමා ආචාර කරනවා. ඒ වගේම අධිකරණ නියෝගයකින් තොරව පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ නෑ කියා හිටපු කතානායකතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඇති ප්‍රශ්න නැති කරන්න කටයුතු නොකර නැති ප්‍රශ්න ඇති කරන්න කටයුතු කරන විපක්ෂයට උඩ ගෙඩි නොදී සිටින්න එතුමා ගත් තීරණයටත් අපි ප්‍රණාමය පුද කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) වගන්තිය අනුව නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම විසුරුවා හැරිය දින සිට මාස තුනක් ඇතුළත පැවැත්විය යුතුයි. ජනාධිපතිතුමා විසින් මාර්තු 2 දා විසුරුවා හැරීම කළ නිසා පළමු රැස්වීම ජූනි 2 ට පෙර පැවැත්විය යුතුයි. ඒ නිසා තමයි ජනපතිතුමාගේ ප්‍රකාශනයේ නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පවත්වන දිනය ලෙස මැයි 14 නියම කළේ. පවතින වාතාවරණය මත අප්‍රේල් 25 දින මැතිවරණය පවත්වන්න බෑ කියලා මැතිවරණ කොමිසම තීරණය කළා. ඒ සඳහා දැන් ජූනි 20 දින නියම කර තිබෙනවා. සාමාන්‍ය තත්ත්වය යටතේ නම් විසුරුවා හැර මාස තුනක් ඇතුලත පළමු රැස්වීම පැවැත්විය යුතුයි. නමුත් ඒක මහ පොළවේ කරන්න බැරි නම් මොනවා කරන්න ද? මේක සුවිශේෂි අවස්ථාවක්. ඒකට අර සාමාන්‍ය අවස්ථාවට අදාළ කාල සීමාව බල පවතින්නේ නෑ. නීතියේ තිබෙන Impossibility of Performance Doctrine අනුව මහ පොළවේ කළ නොහැකි දෙයක් කරන මෙන් නීතියට නියම කරන්න බෑ. ඒ නිසා පවතින සුවිශේෂි තත්ත්වය මත විසුරුවා හැර මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම නොපැවැත්වීම කිසිම ව්‍යවස්ථා අර්බූදයක් නිර්මාණය කරන්නේ නෑ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස