20ට එරෙහි භික්ෂූන් වහන්සේලාගෙන් ජනපතිට ලිපියක්! සංශෝධන කිහිපයක් ඉල්ලයි!

October 16, 2020 at 11:16 pm | by emanisa.lk

ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ බලතල යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හීනවන බව භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.

එම උන්වහන්සේ අවධාරණය කර ඇත්තේ, 20න් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිවීමට බොහෝ ඉඩකඩ ඇති බවය.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, මහාචර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිගේ අත්සනින් මේ ලිපිය ජනාධිපතිවරයාට යවා තිබේ.

එහි සඳහන් වන්නේ අත්තනෝමතික ලෙස විධායකය මෙහෙයවිය හැකි, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් බලයක් සහිත ජනාධිපතිවරයකු හා දුබල අමාත්‍ය මණ්ඩලයක් විසිවෙනි සංශෝධනය හරහා බිහිවන බවයි.

ජනාධිපති ධූරය දරන්නා විසින් කරන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අධිකරණය හමුවේ අභියෝග කිරීමේ අයිතිය ද ඒ මගින් ජනතාවට අහිමි කර ඇති බව එම ලිපියේ සඳහන් වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකසා තිබෙන්නේ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පසුපස සිටි ජාතික බලවේග හා ජනතා අපේක්ෂා සම්පූර්ණයෙන්ම නොසලකා හැර බවත් ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමට අවම දැනුමක්වත් නැත්තෙකුගේ කර්තෘත්වයක් පෙන්වන මෙම කෙටුම්පත දැනටමත් ජනතාවගේ අප්‍රසාදයට ලක්වී තිබෙන බවත් එහි සඳහන්ය.

මේ නිසා අප සැකකරන්නේ මෙය ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ කූට අරමුණින් යුතුව හෝ රටත් ජාතියත් පාවාදීමට ක්‍රියා කරන කුමන්ත්‍රණකරුවන්ගේ අදිසි හස්තයක් මෙම ක්‍රියාදාමය පිටුපස ඇති බවට සැකයක් තිබේ.

හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්‍රතිපාදනය, අමාත්‍ය මණ්ඩලය නියෝජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් නොවන ඇමතිවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් දේශය තුළ වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබාදිය යුතු ප්‍රතිඥාව ඉවත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධක ඉවත් කිරීම යන කරුණු ඉවත්විය මෙම සංශෝධනයෙන් ඉවත් කළ යුතුය.

බලවත් විදේශ රටවලට පක්ෂපාතීවන හා විදේශ රටවල දරු පවුල් පුරවැසිභාවය ලබා රැඳී සිටින තැනැත්තන් අපගේ නීති සම්පාදකයින් කිරීම භයානකය. එවැනන් අප රටට හිතවත්ව හා පක්ෂපාතීව කටයුතු කරතැයි සහතික විය නො හැකිය. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පමණක් නොව ඕනෑම උසස් තනතුරක් දැරීම ද්විත්ව පුරවැසියන්ට තහනම් කළ යුතුව තිබේ.

විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය හා රජය විසින් 50% කොටස් දරන සමාගම් ඉවත් කිරීම, මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව ද මේ සංශෝධනයෙන් ඉවත් කළ යුතුයි.

පූජ්‍ය බෙංගමුවේ නායක හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ යැවූ ලිපියේ අවධාරණය කර ඇත්තේ ආණ්ඩුව පත්වීමේ දී ජනතාවට දුන් පොරොන්දුව අලුත් ව්‍යවස්ථාවක් බවයි.

එම නිසා මේ වන විට රට තුළ ආන්දෝලනයට ලක්ව තිබෙන විසි වන සංශෝධනය ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් සම්මත කර ගැනීම පිළිබඳව නැවත සිතා බලන ලෙස උන්වහන්සේලා ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස