18 වන සංශෝධනය ඒකාධිපති නෑ! එමගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා!

June 24, 2019 at 9:55 pm | by emanisa.lk

කෙතරම් දක්ෂ ජනාධිපතිවරයකු වුවත් දෙවරකට පසු ගෙදර යා යුතු බවට ජනතාව ඔහුට කෙතරම් කැමති වුවත් තබාගත නොහැකි ව්‍යවස්ථා ප්‍රතිපාදන ව්‍යවසථාවෙන් ඉවත් කිරීමට 18 වෙනි සංශෝධනය ගෙන ආ බවත් එය අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සංශෝධනයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය. ඒ 24 වෙනිදා මාධ්‍ය හමුවක් අමතමිනි.

19 වන සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකම ඉවත් කළ යුතු බවට ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කළා. සක් පිඹලා හේවිසි ගහලා සුදු පාවඩ දාලා 19 වන සංශෝධනය ධාතු කරඬුවක් වගේ වඩම්මන විට මුළු රටම ඒකත් එක්ක හිට ගත්තා. නමුත් අපි 19 වන සංශෝධනයට එරෙහිව හුදකලා සටනක් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ 19 වන සංශෝධනය අභියෝගයට ලක් කරලා එය එයාකාරයෙන්ම සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා තීන්දුවක් ගන්නත් අපට පුළුවන් වුණා. නැති නම් 19 වන සංශෝධනය මීට වඩා විනාශයක් රටට කරනවා. වසර හතරකට පසු 19 සංශෝධනය ගෙනා ජනාධිපතිතුමාම අපේ ස්ථාවරය නිවැරදි බව පිළිගැනීම සතුටුයි.

ජනාධිපතිතුමා 18 වන සංශෝධනය ඒකාධිපති සංශෝධනයක් බවට කළ ප්‍රකාශයට නම් එකඟ වෙන්න බෑ. 18 වන සංශෝධනය අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදි සංශෝධනයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යම් පුද්ගලයෙකුට ජනාධිපති ධූරයට පත් විය හැකි වාර ගණන දෙකකට සීමා කරලා තිබුණා. ඒ නිසා කෙතරම් දක්ෂ ජනාධිපති කෙනෙකු වුණත් ජනතාවට එතුමාව තියා ගන්න කෙතරම් වුවමනා වුවත් ව්‍යවස්ථාවෙන් වාර දෙකකට පසු ජනාධිපති ගෙදර යවනවා. ඒ නිසා රට හදා ගන්න තිබෙන ස්ර්වණමය අවස්ථාව අහිමි වෙනවා.
සිංගප්පූරුව දියුණු වුණේ වසර 31ක් අඛණ්ඩව ලි ක්වාන් යූ අගමැති ධූරයේ තබා ගන්න සිංගප්පූරු ජනතාවට පුළුවන් වුණු නිසා.

මැලේසියාවේ උදාහරණය හරිම අපූරුයි. 1981 සිට 2003 දක්වා වසර 23ක් අඛණ්ඩව අගමැති ධූරයේ සිටියේ මහතීර් මොහොමඩ්. මුළු රටම අඬද්දි මට මහන්සියි කියලා මහතිර් මොහොමඩ් ගෙදර ගියා. ඊට පස්සේ මැලේසියාව වැටෙන්න ගත්තා. වැටෙන මැලේසියාව යලි නැගිටවීමට මහතිර් මොහොමඩ් යළි පැමිණිය යුතු බවට ජනතාව තීරණය කළා. ඒ අනුව අවුරුදු 91ක් වුණු මහතිර් 2018 දී යළි අගමැති වුණා. ලංකාවේ එහෙම කරන්න බැරිව තිබුණේ ජනාධිපති ධූරය වාර දෙකකට සීමා කරලා තිබුණු නිසා. ඒක ඉවත් කිරීම තමයි 18 වන සංශෝධනයෙන් සිදු වුණේ.

18 වන සංශෝධනයෙන් පස්සේ ජනාධිපති සිටිය යුතු ද නැද්ද කියා තීරණය කරන්නේ ජනතාව මිස ව්‍යවස්ථාව නොවේ. ජනාධිපති ගෙදර යැවීමේ බලය ජනතාවට ලබා දීම ඒකාධිපති වෙන්නේ කොහොමද? 18 වන සංශෝධනය නිසා මහින්ද මැතිතුමා මැරෙන තුරු ජනාධිපති පුටුවේ සිටීවි කියා සමහරු බොරු බියක් පල කළා. 18 වන සංශෝධනයෙන් පස්සේ මුහුණු දුන්නු පළමු මැතිවරණයෙන්ම බලයේ සිටින ජනාධිපති පරාජය කරලා මේක ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ බොරුවක් බව ජනතාව ඔප්පු කළා.

ප්‍රශ්නය
18 වන හා 19 වන සංශෝධන අහෝසි කිරීමෙන් තමයි මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ කියා ජනාධිපතිතුමන් ප්‍රකාශ කරනවා. නමුත් 19 වන සංශෝධනය ගෙනැවිත් වසර හතරක් යනතුරුත් එහි අහිතකර ඵල විපාක නොපෙනුනේ ඇයි ?

පිළිතුර
19 දුටුව ගමන්ම එය රටට අහිතකරයි කියන එක අපි දැක්කා. එය සම්මත කරන්නට කලින් අප ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එක එක්කෙනාට තේරුම් ගැනීමට ගතවන කාලය වෙනස්. පුංචි කාලේ සමහර බබාලට ගින්දර අල්ලන්න එපා බබෝ කිව්වම ඒ ගොල්ලෝ පැත්තකට වෙලා ඉන්නවා. තවත් සමහර බබාලා ගින්දර අල්ලන්න ගිහින් රස්නය දැනුනහම ගින්දරට පිච්චෙනවා කියන කතාව ඇත්ත වෙන්න ඇති කියලා හිතලා එතනින් අයින් වෙනවා. තවත් සමහර බබාලා ගින්දර අල්ලලා පුච්චා ගත්තට පස්සේ තමයි දන්නේ ගින්දර ඇල්ලුවාම පිච්චෙනවා තමයි කියලා. සමහර අයට අත්දැකීම ලබන්නට ඕන මේක කොච්චර රටට හානිකර ද කියල දැනගන්න. අපි මෙහි ආදීනව මුලින්ම දැකලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමෙන් තමයි 19 ඔය ගානට ගෙනල්ලා රට මේ ගානෙන් හරි බේර ගන්නට අපට හැකියාව ලැබුණේ.

ප්‍රශ්නය
අගමැති තුමා දකුණේ සංවර්ධනය සඳහා දැන් කටයුතු කරනවා. ඒ ගැන මොකද ඔබතුමා හිතන්නේ.

පිළිතුර
එතුමාට තේරිලා තියෙනවා එතුමා උතුර බලාගෙන ඉන්න අතරේ කොළ කොඩියක් ඔසවා ගන්න කෙනෙක් හොයා ගන්න බැරි තරමට දකුණ එජාපයෙන් ගිලිහී ගොස් ඇති බව. දැන් එතුමාට දකුණ මතක් වෙනකොට හොඳටම ප්‍රමාද වැඩියි. දැන් එතුමා ගම පෙරලන්න ගියාට හිත් පෙරළන්න නම් අමාරුයි. මොකද ජනතාව ආණ්ඩුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන්න හිත හදාගෙන ඉවරයි. අගමැතිතුමාට දැන් තිත්ත ඇත්ත තේරී ඇති මුත් එතුමා දැන් බොහොම ප්‍රමාදයි.

ප්‍රශ්නය
වෛද්‍ය සාෆි සිහාබ්දීන් ට එරෙහි පරීක්ෂණ ගැන ඔබතුමා මොකද හිතන්නේ

පිළිතුර
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයාගේ පක්ෂයේ කෙනෙක් තමයි එම වෛද්‍යවරයා. බදුර්දීන් මන්ත්‍රිවරයාගේ පක්ෂයේ මන්ත්‍රිවරුන්න් පස්දෙනා මතයි මෙම ආණ්ඩුව රැඳී තියෙන්නේ. ආණ්ඩුව පුටුවක් නම් එම පුටුවේ එක් කකුලක් තමයි රිශාඩ් බදූර්දීන් කියන්නෙ. ඒ නිසා මේ ආණ්ඩුව යටතේ නම් මේ වද සැත්කම් පිළිබඳව ඔප්පු කරගන්න හැකි වේවි යැයි අප සිතන්නේ නැහැ. මොකද තමුන්නාන්සේලාගේ රූපවාහිනී නාලිකා හෙලිකොප්ටර් වලින් පවා ගිහින් ඒවගේම චන්ද්‍රිකා ඡායාරූප පවා පෙන්වමින් අක්කර දස දහස් ගණනක් විශාල විල්පත්තුව කපන බව පෙන්නුවත්, එය ඔප්පු කරන්න බැරි වුණු මේ ආණ්ඩුව යටතේ. ඉතින් රටටම පෙනෙන විල්පත්තුව ගැන තත්වය එසේ නම් ශරීරය තුල තිබෙන පැලෝපීය නාලය සිරකර ඇති බව ඔප්පු කරගත හැකි වෙතැයි ඔබ සිතනවාද.

ප්‍රශ්නය
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ විවිධ අනාවැකි පළ කෙරෙනවා ඒ ගැන ඔබතුමා මොකද කියන්නේ

පිළිතුර
එක එක්කෙනා අනාවැකි පලකරනවා. අගෝස්තු එකොලොස් වැනිදා බලාගන්නට පුළුවන් කාගේ අනාවැකියද ඇත්ත වෙන්නෙ කියලා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස