19 මගින් ජනපතිගේ බලතල උදුරගෙන හැදූ ව්‍යවස්ථාදායක සභාව NGO ගුහාවක්! 20 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිට පූර්ණ බලය දෙනවා!- නිමල් සිරිපාල

August 28, 2020 at 11:51 pm | by emanisa.lk

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කර පත්කළ ව්‍යවස්ථාදායක සභාව රාජ්‍ය නොවන සංවිධාන හා විදේශ බලවේගවල අවශ්‍යතා ඉටු කරන සභාවක් බවට පත් වූ බව, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ සාධනීය ලක්ෂණ රැක ගනිමින්, එහි ඇති අඩුපාඩු හා දුර්වලකම් ඉවත්කර, ජනතා පරමාධිපත්‍ය රැක ගැනීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අපේ රජය නොවැම්බර් මාසයේදී අයවැය ලේඛණයක් ඉදිරිපත් කරනවා. ඊට පෙර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ, පාර්ලිමේන්තුව හා කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් පත්කර ඇති කමිටුවේ මම ද සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා.
19 වන ව්‍යවස්ථාව එවකට ජනාධිපතිවරයාගේ බලය ව්‍යවස්ථාදායක සභාවට ලබා දී, එම ව්‍යවස්ථාදායක සභාව රාජ්‍ය නොවන හා විදේශ සංවිධානවල හා බලවේගවල අවශ්‍යතා ක්‍රියාත්මක කරන රටට ඵලදායී නොවන සභාවක් බවට පත් වුණා. ඒ තත්ත්වය නැති කර ජනතා පරමාධිපත්‍ය නිසි පරිදි පිළිබිඹු වන ආකාරයට 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

එසේම ජනාධිපතිතුමාට පූර්ණ බලය සහිතව කටයුතු කිරීමට අවශ්‍ය බලය ලබාදීමට හැකි වන ආකාරයට බලය ලබා දීමට අපි කටයුතු කරනවා. මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජනවරමක් අපට ලබා දුන්නෙත් මහා සංඝරත්නය දිගින් දිගටම අපේක්ෂා කළෙත් මෙම ව්‍යාකූල තත්වයට පත්වී ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරිමයි. අපි ඒ කටයුත්තට ප්‍රමුඛත්වයක් දී ඉටු කිරීමට වගකීමෙන් බැදී සිටිනවා.

19 වන ව්‍යවස්ථාව යටතේ පත් කළ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු මැතිවරණ කොමිසමට එරෙහිව අධිකරණයට යෑම නිසා එම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණා. එවැනි කොමිෂන් සභා මඟින් ජනතාවට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ. ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයින් අත්තනෝමතික ලෙස කටයුතු කරද්දී ඊට එරෙහිව කටයුතු කරන්නට, ව්‍යවස්ථාදායක සභාවට බලයක් නොමැති විම ද විශාල අඩුවක්.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පමණක් අපි නතරවන්නේ නෑ. සමස්ථ ව්‍යවස්ථාවම සංශෝධනය විය යුතුයි. විශේෂයෙන් අපිට හොඳ මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. එකිනෙකා ඇනකොටා ගන්නා මනාප ක්‍රමය නැතිකර ආසනයට වග කියන මන්ත්‍රීවරයෙක් පත් කරන මැතිවරණ ක්‍රමයක් ගෙන ඒමට අපි පියවර ගන්නවා. වඩාත් ප්‍රබුද්ධ වූ මැතිවරණ ක්‍රමයක් අපි ජනතාවට හඳුන්වා දෙන්න ඕනි.

කොමිෂන් සභා විශාල සංඛ්‍යවක් තියෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් තීන්දුවක් දුනහොත් ඊට එරෙහිව කටයුතු කරන්නට අභියාචනාධිකරණ මණ්ඩලයක් තියෙනවා. අධිකරණ කොමිෂන් සභාව යම් තීන්දුවක් ලබා දුනහොත් ඊට එරෙහිව අභියාචනයක් කරන්න බෑ. එමනිසා අධිකරණ සේවා කොමිෂන් සභාවට එවැනි අභියාචනාධිරණ මණ්ඩයක් පිහිටුවීමට ව්‍යවස්ථා සංශෝධනයේ දී අපි අදහස් කරනවා. සමස්ථ ව්‍යවස්ථා සංශෝධනයේදී මේ වගේ ගැටළු රැසකට විසඳුම් ඇතුළත් කළ යුතුයි”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස