19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න අවස්ථාව ලැබීම මහා භාග්‍යයක්, පුණ්‍ය කර්මයක්, පින්වන්ත දෙයක්! – ජනපති

June 30, 2019 at 7:05 pm | by emanisa.lk

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය අරඹමින් එදා වර්ෂ 2015 අප්‍රේල් 27 වැනිදා පෙරවරු 10.11 සිට පුරා විනාඩි 17ක කාලයක් ගනිමින්, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය වම්පස අසුනේ රැඳී සිටියදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පාර්ලිමේන්තුව හමුවේ පැවැත්වූ කතාවයි මේ….

– ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ( 2015 අප්‍රේල් 27 සඳුදා )

ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ රටේ දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව වූ පනත් කෙටුම්පතක් මේ ගරු සභාවට ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක ඒ පිළිබඳව ඉතාම කෙටියෙන් කරුණු කීපයක් පැහැදිලි කිරීමට අවස්ථාව ලැබීම ගැන මා මුලින්ම මගේ සතුට ප්‍රකාශ කරනවා.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අදත්, හෙටත් විවාදයට ගනිමින් හෙට මේ ඓතිහාසික සංශෝධනය සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. අපේ දේශපාලන ඉතිහාසය පිළිබඳව ගත වූ දශක කිහිපය දෙසට අවධානය යොමු කිරීමේදී, මේ රටේ පාලනය පිළිබඳව ඓතිහාසික කාර්යභාරයක් ඉටුකළ, ශ්‍රී ලංකාවේ පළමුවැනි අග්‍රාමාත්‍යවරයා වන ඩී.එස්. සේනානායක මැතිතුමාත්, මේ රටේ ඓතිහාසික මහා සමාජ පෙරළියක් කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාත් මේ අවස්ථාවේදී සිහිපත් කිරීම විශේෂයෙන් ඔවුන්ට කරන ගෞරවයක් ලෙස මම සලකනවා. අපට යහපත් දේශපාලන සංස්කෘතියක්, යහපත් සමාජයක් වාගේම ලෝකය පිළිගත් යහපත් පාලන ක්‍රමයක් ඇති කිරීමට රට තුළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එම නායකයන්ගෙන් ආරම්භ වුණු ගමන් මග අප විසින් ඉදිරියට ගෙන යා යුතුයි කියන එකයි අප සෑම කෙනකුම දැඩි ලෙස විශ්වාස කරන්නේ.

2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනතාව මා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගත්තා. ඒ තෝරා පත්කර ගැනීමේ ප්‍රතිඵලයක් විදියටයි අද දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට ඉඩ ලැබී තිබෙන්නේ. ඒ පිළිබඳව මා තෝරාගත් පොදු මහත් ජනතාවටත්, මට ඡන්දය පාවිච්චි කළ හෝ ඡන්දය පාවිච්චි නොකළ සෑම කෙනෙකුටමත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. එසේම මගේ පත්වීමෙන් පසුව මා වෙත ලබාදෙන්නා වූ සහයෝගය සම්බන්ධයෙන්ද මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.

විශේෂයෙන්ම දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව කතා කරන විට අප ඉතාම පැහැදිලිව දන්නා කාරණයක් තිබෙනවා. 1978 වර්ෂයේ විධායක ජනාධිපති ධුරයේ ආරම්භයත්, ඒ සමගම ආරම්භ වූ මනාප ඡන්ද ක්‍රමයත් යන මේ දෙකටම මේ ගරු සභාවේදී එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හත්දෙනා තමයි මුලින්ම විරුද්ධත්වය පළ කරනු ලැබුවේ. එදා සිටි අනුර බණ්ඩාරනායක, හලීම් ඉෂාක්, ආනන්ද දසනායක, මෛත්‍රීපාල සේනානායක, ආර්.පී. විජේසිරි කියන මන්ත්‍රීවරුන් මුලින්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පළ කළා. විධායක ජනාධිපති ධුරයේ තිබෙන අසීමිත බලතල පිළිබඳව ඒ ආරම්භ කළ විරෝධය පුළුල් ජාතික ව්‍යාපාරයක් බවට පත් වුණා.

මගේ මතකයේ හැටියට 1999 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික සමුළුවේදී විධායක ජනාධිපති ධුරයේ බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පළමුවැනි වරට යෝජනාවක් සම්මත කරනු ලැබුවා. මේ රටේ අනෙකුත් දේශපාලන පක්ෂ, රට පිළිබඳව ආදරයක්, ගෞරවයක් තිබෙන, රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වී සිටින ඒ සෑම කෙනෙකුම ඒ පිළිබඳව එක මතයකට ආවා. මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, සමාජය පිළිබඳව විවිධ විශ්ලේෂණයන්, විචාරයන් කරන සියලු අංශ දේශපාලන වේදිකාවේ පමණක් නොව ජනමාධ්‍ය, මාධ්‍යවේදීන් ඒ ආදී සියල්ලෝම විධායක ජනාධිපති ධුරයේ තිබෙන අසීමිත බලතල ඉවත් කිරීම හෝ එසේ නැත්නම් මේ ධුරය සම්පූර්ණයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එක ස්ථානයකට පැමිණියා. ඒ පොරොන්දුව පිට මා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුණා. ජනතාව මට ලබාදුන් ඒ වරමත් සමගම අද අප මේ ගරු සභාවට දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම සඳහා ඉදිරිපත් කිරීම තුළ අප මූලික වශයෙන් වැදගත් පියවරක් ඉදිරියට තබා තිබෙනවා.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අපි බලාපොරොත්තු වන කාර්යය මොකක්ද? මට මතකයි, 1994 වර්ෂයේදී පොදුජන එක්සත් පෙරමුණ යටතේ ජනාධිපතිවරණයට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ඉදිරිපත් වුණු වෙලාවේ එතුමියගේ මැතිවරණ ප්‍රකාශනයේ විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කිරීම පිළිබඳව ඉතා පැහැදිලිව සඳහන් කළා. ඒ වාගේම 1999 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය දෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදීත්, අද අපි ඉදිරිපත් කරන සංශෝධන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එතුමියගේ මැතිවරණ ප්‍රකාශනයේ කරුණු ඉදිරිපත් කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුණු 2005, 2010, 2015 මැතිවරණ ප්‍රකාශන තුනෙන්ම ඉතා පැහැදිලිව සඳහන් කළා විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා අපි සෑම කෙනෙක්ම අද එක් මතයකට පැමිණ සිටිනවා.

විධායක ජනාධිපති ධුරයේ තිබෙන අසීමිත බලතල සම්බන්ධයෙන් අද මේ රටේ පොදු මහජනතාවට ඉතා හොඳ දැනුමක් තිබෙනවා. පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ට මේ පිළිබඳව ඉතා හොඳ දැනුමක් තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභාවල වටිනාකම් සහ අගයන් පිළිබඳව පාසල් දරුවාගේ සිට සාමාන්‍ය පොදු මහජනතාවට පුළුල් අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මේ කාර්යය ඉටු කිරීමට සෑම කෙනෙක්ම දැඩි මිත්‍රත්වයකින්, සහෝදරත්වයකින් අපට සහයෝගය ලබාදිය යුතුයි. මේ ගරු සභාව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයක්ම බලාපොරොත්තු වන රටේ ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ ඉතාම උතුම් වූ කාර්යකටයි අපි කැප වී සිටින්නේ. ඒ වාගේම ගරු කථානායකතුමනි, මා මේ කාරණය ගැනත් සඳහන් කරන්නට ඕනෑ. පසුගිය මාස තුනකට ආසන්න කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීමේදී මේ ධුරයේ තිබෙන්නා වූ අසීමිත බලතල ක්‍රියාත්මක කිරීම සහ ඒ බලතල අතට ගැනීමක් මා අතින් සිදුවුණේ නැහැ.

මාගේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණා, මේ බලතල ඉවත් කිරීම සම්බන්ධව. බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ ගරු සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂත්, නීති ක්ෂේත්‍රයේ අයත්, ඒ සෑම අංශයක්ම කටයුතු කළා. ඒ කාර්යයට අදාළව ව්‍යවස්ථානුකූලව හා නීත්‍යනුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සිදු කර තිබෙනවා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි රජයේ නීතිපතිතුමා අප වෙනුවෙන් පැහැදිලි කළා මේ බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඒ වාගේම මාගේ ව්‍යවස්ථා උපදේශකවරයා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළා මේ බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන්.

ඕනෑම රටක බලයට පත් වූ රාජ්‍ය නායකයෙක් මේ වාගේ බලතල තිබෙන තනතුරක මම, මා ගැනම කතා කරනවා නොවෙයි. බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් මම තරම් නම්‍යශීලී වුණාය කියා මා හිතන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් මට කළ හැකි සෑම පරිත්‍යාගයක්ම මම කළා. බලතල ඉවත් කිරීමේ කාර්යය ව්‍යවස්ථානුකූලව, නීත්‍යනුකූලව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව, ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට එකඟව කිරීම සම්බන්ධයෙන් සියලු අංශවලට අවශ්‍ය සහයෝගය මා ලබා දුන්නා.

පසුගිය මාස තුනක කාලය තුළ කතා කළ සෑම උත්සවයකදීම, රැස්වීමකදීම, සෑම තැනකදීම මම කිව්වා ‘දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ වැදගත්කම’ සම්බන්ධව. මම ඒ තරම් නම්‍යශීලී වුණේ, මේ බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලිවම එකඟතාවක් ඇති කරගත්තේ මේ රටේ අනාගතයට ඇතිවන වැදගත්කම නිසයි.

ශීලාචාර සමාජයක් හදන්න, විනයගරුක සමාජයක් හදන්න, තනි බලයක් පාවිච්චි කර ගොඩනැගෙන දේශපාලනඥයන් ඇති නොවන්න, නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්න, පාර්ලිමේන්තුවට හිස නමන්න, තමන්ගේ ආණ්ඩු පක්ෂය කියන දේවලට ඇහුම්කන් දෙන්න, තමන්ගේ කැබිනට් මණ්ඩලයට සවන් දෙන්න, තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයේ මතයන්ට පොදු වන යෝජනාවන්ට එකඟ වන්න තමයි මේ සංශෝධන අපි ගෙනෙන්නේ. එවැනි දේශපාලන ක්‍රමයක තිබෙන වැදගත්කම අපි තමුන්නාන්සේලා දන්නවා. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වාගේම අලුත් ආණ්ඩුවක් විදියට අද අපට අන්තර්ජාතික වශයෙන් විශාල සහයෝගයක් ලැබිලා තිබෙනවා.

අපට ජාත්‍යන්තරය දිනා ගැනීමට හැකිවීම ඉතාම වැදගත් කොට අප සැලකිය යුතු වෙනවා. විශේෂයෙන්ම අද රාජ්‍ය පාලනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය, අනිකුත් ජාත්‍යන්තර සංවිධාන වාගේම ලෝකයේ සංවර්ධනය වූ රටවල්, ඒ සෑම කෙනෙකුම තවත් රටක් දෙස සහයෝගිතාවෙන් බලන්නේ ඒ රට කරවන නායකයින්ගේ කළු, සුදු නිසා නොවෙයි; වර්ණය, පාට නිසා නොවෙයි. ඒ රට පාලනය කරන නායකයින් ඒ රටේ ජනතාවට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන්නේ කොහොමද, ජනතාවගේ මානව හිමිකම් සහතික කරන්නේ කොහොමද, ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහතික කරන්නේ කොහොමද, දූෂණයෙන්, වංචාවෙන් තොරව යහපාලනයක් ඇති කරන්නේ කොහොමද කියන කරුණු කෙරෙහි ඔවුන් අවධානය යොමු කරනවා. රජයක්, රාජ්‍ය නායකයෙක් ඒ කාරණා සාධාරණව ඉටු කරනවා නම් ලෝකයේ සියලු රටවල් බෙදීමකින් තොරව ඒ රාජ්‍යයන් සඳහා සහයෝගය ලබාදෙනවා. අද අප ඒ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා අප අද අන්තර්ජාතික වශයෙන් පුළුල් සහයෝගිතාවක් ලබාගත්තා, කිසිම රටක් සමග අමනාපයක් ඇතිකර නොගත්, සතුරෙක් නැති රාජ්‍යයක් බවට පත්වෙලා තිබෙනවා. මුළු මහත් ජනතාව විදියට, රටේ සියලු දේශපාලන පක්ෂ විදියට, අප මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපේ රට ඉදිරියට ගෙන යෑම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම මම සඳහන් කරන්නට ඕනෑ, පසුගිය මැතිවරණ ප්‍රතිඵල ගත්තාම මහින්ද රාජපක්ෂ මහත්තයාට ලැබුණු ඡන්ද පනස්අට ලක්ෂයකට වැඩි සංඛ්‍යාවත්, මට ලැබුණු හැටදෙලක්ෂයකට වැඩි ඡන්ද සංඛ්‍යාවත් පිළිබඳව. අප දෙදෙනාගේම මැතිවරණ ප්‍රකාශන දෙකේම ඉතාම පැහැදිලිව තිබෙනවා, විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කිරීම පිළිබඳව. මහින්ද රාජපක්ෂ මහත්මයාට ලැබුණු ඡන්ද ලක්ෂ පනස් අටත්, මට ලැබුණු ඡන්ද ලක්ෂ හැට දෙකත්, ලක්ෂ එකසිය විස්සකට එහා ගණනකට ගියාම, වශයෙන් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට පාවිච්චි කළ සම්පූර්ණ ඡන්දවල මේ දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එකඟතාව තිබෙනවා. ඒ මැතිවරණ ප්‍රකාශන දෙකේම පැහැදිලිව සඳහන් කර තිබෙන නිසායි. ඒ නිසා මෙය රටේ පොදු මහජනතාවගේ ඉතාම විශිෂ්ට වූ ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. 1978දී විධායක ජනාධිපති ධුරය ආරම්භ වුණු දවසේ ඉඳලා මේ දක්වා කාලය ගත් විට වසර 37ක්, වසර 38ක් වාගේ කාලයක් ගතවෙලා තිබෙනවා. අවුරුදු 38ක කාලයක් මේ පිළිබඳව සංවාද වුණා; සාකච්ඡා වුණා; පාර්ලිමේන්තුවේ කතා කළා; මාධ්‍යය තුළ කතා කළා; දේශපාලන වේදිකාවේ කතා කළා; ජාත්‍යන්තරය තුළ කතා කළා. ඒ සියලු කාර්යයන් කරමින් වසර 38ක් තිස්සේ ගත් උත්සාහයේ, ඒ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් වශයෙන් අද මේ රටේ ජනතාවට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර දෙන ඉතාම උතුම් අවස්ථාවක් විදිහටයි අප මෙය දකින්නේ.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත් විට, අද අප දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටයි ඇවිල්ලා තිබෙන්නේ. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර සංශෝධන ගත්තොත් මගේ මතකයේ හැටියට දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දහහත් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැර අනෙක් සියලු සංශෝධනවලින් කරලා තිබෙන්නේ කොයි ආකාරයකින් හෝ ජනාධිපතිවරයාගේ බලතල වැඩිකර ගැනීමයි. දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දහහත් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි ජනාධිපතිවරයාගේ බලතල වැඩි කිරීමක් නොමැතිව යම් අවම, අඩු කිරීමකට බලපා තිබෙන්නේ. එයිනුත් අද ක්‍රියාත්මක වෙන්නේ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විතරයි. දහහත් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත් අවස්ථාවේදී ජනාධිපතිවරයාට අසීමිත බලතල දීම සම්බන්ධයෙන් තිබුණු තත්ත්වයට වඩා ඉතාම ප්‍රබල තත්ත්වයක් දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඇති කළා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහට මමත්, අප සියලු දෙනාමත් ඒ සඳහා අත උස්සනු ලැබුවා. අද අපට ලැබිලා තිබෙන්නේ ඉතාම වැදගත් අවස්ථාවක්. රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, යහපාලනය සම්බන්ධයෙන් මේ රටේ අද ජීවත්වන ජනතාවට සහ හෙට උපදින දරුවන් සඳහා ජාතික වශයෙන් වැදගත් වන්නා වූ දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි මේ ඓතිහාසික අවස්ථාවේදී සම්මත කරනු ලබන්නේ. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම තුළින් එහි ඓතිහාසික ගෞරවය මේ ගරු සභාව අද නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාටම ලැබෙන බව මා විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, එක්සත් ජාතික පක්ෂයද, එහෙම නැත්නම් අපේ අනික් සහෝදර මිත්‍රශීලී දේශපාලන පක්ෂද වශයෙන් වෙන වෙනම මේ ගැන හිතන්නේ නැතිව අප කටයුතු කළ යුතුයි.

මේ වනවිට යම් එකඟත්වයන්ට ඇවිත් තිබෙනවා. ඒ පිළිබඳව මම බෙහෙවින්ම සතුටු වෙනවා. ඒ වාගේම විසඳාගත යුතු යම් යම් කරුණු දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වෙලා තිබෙනවා. අද විවාදය ආරම්භ කිරීමෙන් පසුව අපට අද සම්පූර්ණ දවසත්, හෙට දහවල් 12.00 දක්වාත් කාලය තිබෙනවා, මේ පිළිබඳව තිබෙන ගැටලු සහගත තත්ත්වයන් නිරාකරණය කරගන්නට. මෙතැන් සිට විවාදය ආරම්භ කරලා හෙට දහවල් 12.00ට කලින් මේ දෙපාර්ශ්වයට තිබෙන ගැටලු සහගත දේවල් නිරාකරණය කරගෙන, හෙට හවස් වරුවේදී මේ ගරු සභාවේදී දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරලා ඒ ඓතිහාසික මහා ගෞරවය ලබාගන්නා ලෙස මේ ගරු සභාවේ සිටින සියලු දේශපාලන පක්ෂවල ගරු මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා. ඒ වාගේම මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට මේ මහා උතුම් දායාදය වන නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳීමේ අවස්ථාව සලසන්නට, එය ප්‍රදානය කරන්නට අද මේ ගරු සභාව නියෝජනය කරන සියලු දෙනාට අවස්ථාව ලැබීම මහා භාග්‍යයක්, පුණ්‍ය කර්මයක්, පින්වන්ත දෙයක් කියලා මා විශ්වාස කරන බව සඳහන් කරමින් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මාගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.

(උපුටා ගැනීම : 2015 අප්‍රේල් 27 පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව)

– ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ( 2019 ජුනි 26 බදාදා )

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 හා 19 වැනි සංශෝධන අහෝසි කළ යුතු බව ජනාධිපතිවරයා මුලින්ම ප්‍රකාශ කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පසුගිය දිනෙක පැවැති උත්සවයක් අමතමිනි. පසුගිය බදාදා ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවේ එම ප්‍රකාශය තහවුරු කරමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ 19 වැනි සංශෝධනය රටට සාපයක් වී ඇති බවය.

19 වැනි සංශෝධනය රටට ශාපයක් එය රට විනාශ කළා

මේක හැදුවෙ මකබාස්ලද?

ජයම්පති වික්‍රමරත්න, සුමන්තිරන් පාක්‍යසෝති රට කන එන්.ජී.ඕ. කාරයෝ. ජනාධිපති කාර්යාලයේ එක ආණ්ඩුවක් අරලියගහ මන්දිරයේ තව ආණ්ඩුවක්. රට ඉදිරියට ගෙන යන්නට නම් 18, 19 සංශෝධන දෙකම අහෝසි කළ යුතුයි. පාර්ලිමේන්තුවේ 225න් 215ක් මේකට සහාය දුන්නා. තුනෙන් දෙකක් අරන් දෙන්න මමත් සෑහෙන කැප කිරීමක් කළා.

19 සංශෝධනය කෙටුම්පත් කළ අයගෙ උත්සාහය වූයේ ජනාධිපති සතු බලතල සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුවට ගැනීමටයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් ඒ උත්සාහය වැළකුණා. 19න් ස්වාධීන කොමිෂන් සභා හැදුවට එම බලාපොරොත්තු වුණ තැනට ගිහින් නැහැ. මානව හිමිකම් කොමිසම රටට නොදී පිටරටට වාර්තා දුන්නේ ඒ නිසා. 19 සංශෝධනය නිසා නායකයන් දෙදෙනෙක් රට අස්ථාවරයි

හැට දෙලක්ෂයක් ලයිසන් දුන්නේ එක ඩ්‍රැයිවර් කෙනෙකුට. 19 හරහා පාර්ලිමේන්තුවෙන් ලයිසන් ගත් තවත් ඩ්‍රැයිවර් කෙනෙක් වාහනය එළවන්නට යෑමෙන් රට අස්ථාවර වුණා. ජනාධිපතිවරණයට පෙර 19 සංශෝධනය අහෝසි කළ යුතුයි. ඒක රටට සාපයක්. 19 සංශෝධනය එන්.ජී.ඕ. අවශ්‍යතාවක් ව්‍යවස්ථා සම්පාදනය ගැන කිසිම දැනුමක් නැති බක පණ්ඩිත පිරිසකගේ වැඩක්.

2020 සුබවාදී රටක් ගොඩනගන්න 19 අහෝසි කිරීමට තීන්දුවක් ගන්නා ලෙස අගමැති, විපක්ෂ නායක, සම්බන්ධන් හා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය මාස තුනක කාලය තුළ කතා කළ සෑම උත්සවයකදීම, රැස්වීමකදීම, සෑම තැනකදීම මම කිව්වා ‘දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ වැදගත්කම’ සම්බන්ධව. මම ඒ තරම් නම්‍යශීලී වුණේ, මේ බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලිවම එකඟතාවක් ඇති කරගත්තේ මේ රටේ අනාගතයට ඇතිවන වැදගත්කම නිසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස