යහපාලන ආණ්ඩුව කාලිංග මාඝට වඩා භයානකයි! ඔවුන් අපේ ශිෂ්ටාචාරය අපට අහිමි කරමින් සිටිනවා! රටම ගෝඨාභය ඉල්ලන්නේ ඒ ශිෂ්ටාචාරය නැවත දිනාගන්නයි!

September 3, 2019 at 4:37 pm | by emanisa.lk

අප දකින විදිහට නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මැතිතුමාගේ දූරදර්ශීභාවයත්, නූතන මැලේසියාවේ නිර්මාතෘ මහතීර් මොහොමඩ් මැතිතුමාගේ කළමනාකරණ හැකියාවත්, නූතන කියුබාවේ නිර්මාතෘ පිදෙල් කැස්ත්‍ර‍ෙගේ දේශප්‍රේමීත්වයත්, රුසියානු ජනාධිපති ව්ලැජිමිර් පුටින්ගේ බටහිර ප්‍රජාව ඉදිරියේ පෙන්වන නිර්භීතකම සහ අධිෂ්ඨානශීලීත්වයත් ඒ වගේම ඉන්දියාවේ හිටපු අගමැති ජවහල්ලාල් නේරුගේ ආධ්‍යාත්මික ප්‍රවේශයත් කියන මේ ලක්ෂණ පහ එකට කැටි කළ විට බිහිවන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එක අපට ඉතාම නිර්භයව කියන්න පුළුවන් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

පැලවත්ත බුද්ධදාස ක්‍රීඩා පිටියේ පැවති පිවිතුරු හෙළ උරුමය විශේෂ සම්මේලනයේදී උදය ගම්මන්පිල සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය.

ගෝඨාභය මහින්ද සුසංයෝගය රටට අවශ්‍ය ඇයි?

ඉන්න හිතෙන රටක් ද? යන්ඩ හිතෙන රටක්?

අපට මතකයි පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනය දවසේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඉතා වැදගත් ප්‍රකාශයක් කළා. “මම අද මා තෝරාගත් අපේක්ෂකයකුගේ නම ප්‍රකාශ කරනවා නොවෙයි. රටේ ජනතාව තෝරා ගත් අපේක්ෂකයාගේ නම තමයි අද මා ප්‍රකාශ කරන්නේ.” කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමන් එදා ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, සමස්ථ ජාතියම එකම හඬින් ඔබතුමන් ඉල්ලා සිටියේ ඇයි? ඔබතුමන් ලවා මෙරටට විසඳාගන්න තියෙන විශාලම ප්‍රශ්නය මොකක්ද? ජනතාව ඔබ තුමන්ව ඉල්ලුවේ ඇයි? කියන ප්‍රශ්නයට විවිධ අය විවිධ පිළිතුරු බඳින්නට පුළුවන් වුවත් අප විසින් ඔබතුමන් ඉල්ලා සිටියේ ඇයි කියන එක රටටම කීම පිවිතුරු හෙළ උරුමයේ යුතුකමක් සහ වගකීමක් වෙනවා.

පිවිතුරු හෙළ උරුමය කියන දේශපාලන පක්ෂයේ දාර්ශනික පසුබිම ගොඩ නගලා තියෙන්නේ කුළුණු තුනක් මත. පළමු කුළුණ තමයි දේශප්‍රේමීත්වය. දෙවෙනි කුළුණ තමයි දැහැමි බව. තුන්වන කුළුණ තමයි පරිසර හිතකාමීත්වය. මෙන්න මේ හර පද්ධතියේ ඉඳන් රටේ වෙන දේවල් දිහා හැරිල බලද්දි වසර පහකට ආසන්න කාලයක් අපේ ආදරණීය මව්බිමේ, අපේ ශිෂ්ටාචාරය, අපේ සංස්කෘතිය වනසා දැමීමේ කුමන්ත්‍රණයක් ඉතාම සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙනවා කියන බව හැමෝටම පැහැදිලියි. අපේ ශිෂ්ටාචාරය අපිට අහිමි කරනවා, අපේ පුරා වස්තූන් විනාශ කරනවා, අපේ ඉතිහාසය විකෘති කරනවා, ඒ වගේම මහ සඟරුවනට වද හිංසා පමුණවා. අප රටේ අක්මුල් සිඳ දැමීමේ වෑයමක අද ආණ්ඩුව යෙදී සිටිනවා.

කාලිංග මාඝගේ මහා විනාශයනුත් බේරුණු අනුරාධපුර ශිෂ්ටාචාරයේ නටබුන් වත්මන් ආණ්ඩුවේ ඊනියා සංවර්ධනයේ නාමයෙන් විනාශවීම ම මේ ආණ්ඩුව විදේශීය ආක්‍රමණිකයාටත් වඩා මව්බිමට සතුරු බව පසක් කිරීමට තවත් කරුණු අනවශ්‍ය බව පෙන්වා දෙනවා. අප වසර හතළිස් දහස ඉක්මවා ගිය ශිෂ්ටාචාරයකට උරුමකම් කියවා. වසර 2600 ක සිය ඉතිහාසය ලියා තැබූ ලොව එකම ජාතිය දරාගෙන සිටින්නේ ලංකා මෑනියනුයි. මේ මහා වෘක්ෂය පෙරළා දැමිය හැක්කේ මුල් සිඳීමෙන් පමණයි.

කෙතරම් දැවැන්ත ලෙස වැඩුණු ගසක් වුවද, රූක්ෂ ගසක් වුවද, මුල් කපා දැමීමෙන් පසුව එම ගසට පැවැත්මක් නැහැ. ඒ ගස කඩාගෙන වැටෙනවා. වත්මන් ආණ්ඩුව ඒ නිසා තමයි අපේ පුරා වස්තූන් විනාශ කරන්නේ. ඒ නිසා තමයි අපේ ඉතිහාසය විකෘති කරන්නේ. ඒ නිසා තමයි මහා සඟරුවනට හිරිහැර කරන්නේ. එනිසා තමයි අපේ සොඳුරු පරිසරය ද විනාශ කරන්නේ. ඒ නිසා තමයි අපේ බුද්ධිමතුන්ට යන්ඩ හිතෙන රටක් බවට අපේ රට පරිවර්තනය කරමින් තිබෙන්නේ.

ප්‍රශ්නය සහ පිළිතුර

අද මේ රට මුහුණ පා සිටින සියලුම ප්‍රශ්නවලට විසඳුම ලෙසින් අප දකින්නේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ සුසංයෝග යයි. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරය දරන මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරය දරන දෑ හිතකාමී ප්‍රගතිශීලී ආණ්ඩුවකින් අපට මේ මහා විනාශය නතර කරගත හැකි යැයි අප විශ්වාස කරනවා. ඇයි මේ සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව අප තෝරාගත්තේ. ප්‍රශ්නය ජාතික ආරක්ෂාව නම් පිළිතුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ප්‍රශ්නය විනය පිරිහීම නම් පිළිතුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ප්‍රශ්නය පරිසර දූෂණය නම් පිළිතුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ප්‍රශ්නය නිර්මාණශීලිත්වයක් නොමැතිව රට එක තැන පල්වීම නම් පිළිතුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ප්‍රශ්නය රට අරාජික වීම නම් පිළිතුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි.

අප දකින විදිහට නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මැතිතුමාගේ දූරදර්ශීභාවයත්, නූතන මැලේසියාවේ නිර්මාතෘ මහතීර් මොහොමඩ් මැතිතුමාගේ කළමනාකරණ හැකියාවත්, නූතන කියුබාවේ නිර්මාතෘ පිදෙල් කැස්ත්‍ර‍ෙගේ දේශප්‍රේමීත්වයත්, රුසියානු ජනාධිපති ව්ලැජිමිර් පුටින්ගේ බටහිර ප්‍රජාව ඉදිරියේ පෙන්වන නිර්භීතකම සහ අධිෂ්ඨානශීලීත්වයත් ඒ වගේම ඉන්දියාවේ හිටපු අගමැති ජවහල්ලාල් නේරුගේ ආධ්‍යාත්මික ප්‍රවේශයත් කියන මේ ලක්ෂණ පහ එකට කැටි කළ විට බිහිවන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එක අපට ඉතාම නිර්භයව කියන්න පුළුවන්.

මහින්ද රාජපක්ෂ මැතිතුමන් අපේ ජාතියට ලබා දිය හැකි ලොකුම ත්‍යාගය ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙසින් නම් කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති සහ අගමැති අපේක්ෂකයන් දෙදෙනෙක් සිටියා. ඒ කාලේ වේදිකාවේ කියවුනේ රටේ සෑම ප්‍රශ්නයකටම පිලිතුර මෛත්‍රී රනිල් සුසංයෝගය යැයි කියලා. මාස හත අටක් යනකොට මෙය සුසංයෝගයෙන් නයි මුගටි ගැටුමක් බවට පරිවර්තනය වුණා. බටහිර පර්යේෂණ පත්‍රිකා මේ දිනවල නිරන්තරයෙන් උපුටා දක්වන කාරණයක් තමයි වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වයට ප්‍රධානතම හේතුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තියන ගැටුමයි. 19වන සංශෝධනයෙන් පස්සේ ජනාධිපති අගමැති සමගියෙන් එකිනෙකා ගැන ගැඹුරු අවබෝධයකින් තොරව මේ රට ඉදිරියට ගෙන යන්නට බැහැ. රටේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ජනාධිපති සහ අගමැති අතර තියන ගැටුමෙන් රට එකතැන පල්වීම නම් එයට පිළිතුර මහින්ද-ගෝඨා සුසංයෝගය බව අපි ප්‍රකාශ කරනවා.

මිත්‍රවරුනි මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව දන්නේ වසර හැත්තෑවකට වැඩි කාලයක සිටයි. වසර හැත්තෑවක් එකිනෙකාව ගැඹුරින් අඳුරන හැත්තෑ වසරක් සමගියෙන් ඉන්න හැකිබව කතාවෙන් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කරපු ජනාධිපති අගමැති සුසංයෝගයක් අප ඉදිරිපත් කරන්නේ. සමහරු නුසුදුසුකමක් ලෙස දක්වන අයියා මල්ලි වීම තමයි 19 වන සංශෝධනයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ජනපති සහ අගමැති තනතුරු වලට තියෙන ලොකුම සුදුසුකම කියලා අපි දක්වනවා.

අපිට මතකයි 2006 පිත්තල හන්දියේ දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මරාගෙන මැරෙන ප්‍රහාරයකට ගොදුරු වෙලා ලේ වැකුණු කමිසය පිටින් මුලින්ම ගියේ අරලියගහ මන්දිරයට. එවෙලේ අරලියගහ මන්දිරයේ සිටියේ ජනාධිපති මහින්ද අයියයි. ඒ වස්ථාවේ ඔහු ගෝඨාභය මල්ලිව බදාගන්න වීඩියෝ පටය ඡායාරූපය ඔබට මතක ඇති. බලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මුහුණ දෙස. බලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙනෙත් දෙස. එතන තිබුණේ සොයුරු ප්‍රේමයක් නොව දයාබර පිය සෙනෙහසක්. ජනපති සහ අගමැති අතර මෙතරම් ගැඹුරු සම්බන්ධයක් තිබෙන අනිකා ගැන ගැඹුරු අවබෝධයක් තිබෙන සමගියෙන් කටයුතු කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කළ ජනපති අගමැති අපේක්ෂක යුවලක් වෙනත් කිසිම පක්ෂයකට ඉදිරිපත් කරන්නට බෑ කියන අභියෝගය අප ඉදිරිපත් කරනවා.

2015 දී දුන් පොරොන්දුව

ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සල්ලි වපුරාවි. මැර බලය පතුරවාවි. ගිය පාර වගේම බොරු බේගල් ද පතුරවාවි. මේ රටේ අහිංසක ජනතාවගේ ආශිර්වාද ඔබතුමා සමග තිබෙනතාක් ඔබතුමා මේ රටේ සත්වන විධායක ජනාධිපති වීම කිසිවෙකුට නතර කරන්නට බෑ කියන එක අප ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. අපටත් යුතුකමක් තිබෙනවා. 2015 පෙබරවාරි මාසයේදී ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ සමග පිවිතුරු හෙළ උරුමය එකතුවෙලා මේ රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමා යළි මේ රටේ අගමැති කරන බවට.

2015 සිටම අප මේ රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් කැමති කරගෙන කොහොම හරි මේ රටේ නායකත්වයට ගෙන එන බවට. පොරොන්දුව විශ්වාස කළ මේ ජාතියේ ජනතාව ඉදිරියේ පිවිතුරු හෙළ උරුමයේ අපි අද ඔබට සපත කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි ඔබතුමා ජනාධිපති පුටුවේ වාඩි වන තුරු, මහින්ද රාජපක්ෂ මැතිතුමන් අගමැති පුටුවේ වාඩි වන තුරු මේ සටනට විරාමයක් නෑ. සටන ඉදිරියට ගෙන යනවා කියන දේ ඔබතුමන්ට පොරොන්දු වෙනවා. එම සටනින් පසුව එළඹෙන්නේ ජාත්‍යන්තරය සමඟ අප යුද වදින අවදිය නම් ඔබතුමන්ලා හුදකලා නොකර මව්බිමට අවසන් ජයග්‍රහණයත් ගෙනෙන තුරා ඔබතුමන්ලා සමග සටන් බිමේ අපද සිටිනවා කියා පොරොන්දුව අප ලබා දෙනවා.

අනාගත සත් වන විධායක ජනාධිපතිතුමනි ඔබතුමාට චිරන් ජයතු! ජයෙන් ජයම වේවා!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස