මධ්‍යම සංස්කෘතියේ කෝටි 120 වියදම් කළේ රුපියල බාල්දු වෙන නිසා! ඒ සල්ලි වියදම් නොකළා නම් තවම බැංකුවේ බාල්දු වෙනවා!- සජිත්

September 2, 2019 at 11:38 am | by emanisa.lk

රුපියල දිගින් දිගටම බාල්දු වන නිසා මධ්‍යම සංස්කෘතික අරමුදල ස්ථාවර තැන්පත් ලෙස ඉතිරිකර තිබූ රු. කෝටි 120ක මුදල් නැවත ගෙන ආගමික සංවර්ධනය සඳහා යෙද වූ බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

තමා එම මුදල් ගෙන විහාරස්ථානවල ගොඩනැඟිලි ඉදි කරමින් ඇසට පෙනෙන සංවර්ධනයක් නොකළේ නම් තවමත් එම මුදල් ස්ථාවර තැන්පතුවල බාල්දු වන බව ඇමතිවරයා පවසයි.

මේ අනුව 2019 මැයි 23 සිට අගෝස්තු 01 වන දින දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදල ලංකා බැංකු කොල්ලුපිටි ශාඛාවේ පවත්වා ගෙන ගිය ගිණුම් 11ක් වසා දමා රු. කෝටි 120කට අධික මුදලක් ලබා ගෙන තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලට මේ වන විට සභාපතිවරයකු හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කර නොතිබීමත් එම බලතල ඇමතිවරයාගේ ලේකම් වන බර්නාඩ් වසන්ත විසින් දැරීමත් විශේෂත්වයකි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය 2019 මාර්තු මාසයට පසු රැස්කර නැත.

මධ්‍යම සංස්කෘතික අරමුදල ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතනයකි. මෙම ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම හා සංරක්ෂණ කිරීම, පර්යේෂණ සිදු කිරීම, බිතු සිතුවම් සහ වෙනත් පුරාවස්තු සංරක්ෂණය කිරීම, පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධය කිරීම අපේක්ෂිතය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංචාරක ව්‍යාපාරය මෙහෙයවමින් ශ්‍රී ලංකාවේ ආර්ථීක සංවර්ධනය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල ක්‍රියාකරයි.

සජිත් ඇමතිවරයා කිසිදු මුදලක් සොරකම් නොකළ බවත් පාස්කු ප්‍රහාරයට පසු විනාශ වූ පල්ලි තැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යෙද වූ බවත් පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. එහෙත් දහම් පාසල් ගොඩනැඟිලි තැනීමට හෝ පල්ලි ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතය එහි අරමුණු සමග කෙතරම් ගැලපෙන්නේ ද යන්න විමසා බැලිය යුතුය.

මුහුදු මහා විහාරය වටා වැටක් ඉදිකිරීම සඳහා අරමුදල් ලබා නොදෙන මධ්‍යම සංස්කෘතික අරමුදල එම මුදල් යොදවා දහම් පාසල් ගොඩනැඟිලි තැනීම කෙතරම් සාධාරණ දැයි ජනතාව ප්‍රශ්න කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස