ආණ්ඩුවේ මඩවලට මඩ ගහන්න එපා! අපේ රට නඟන සැලසුම් රටට කියන්න! – ගෝඨා සිය මාධ්‍ය කණ්ඩායමට උපදෙස් දෙයි…

August 30, 2019 at 8:03 pm | by emanisa.lk

ආණ්ඩුව විසින් තමා ඉලක්ක කරගෙන එල්ල කරන මඩ අවලාද ව්‍යාපාරයට ප්‍රතිචාර දැක්වීමට නොයන ලෙසත් තමා මෙතෙක් රටට සිදුකළ සේවය සහ තම අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට අවධානය යොමු නොකරන ලෙසත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය මාධ්‍ය කණ්ඩායම කැඳවා අද (30) උපදෙස් ලබා දී තිබේ.

මේ වන විට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුගේ මෙහෙයවීම මත ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගෙන විශාල මඩ අවලාද ව්‍යාපාරයක් දියත් කර තිබේ. ඒ සඳහා වෙබ් අඩවි 11ක් සහ ෆේස්බුක් පිටු 1700ක් පමණ මිලට ගෙන ඇති අතර කටයුතු අධීක්ෂණයට 24 කණ්ඩායම (24 by 24 hours) නමින් පිරිසක් පත්කර තිබේ. රූපවාහිනි සංස්ථාවේ සහ ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළ දෙදෙනෙකු ද මේ කණ්ඩායමට අයත්ය. මේ 24 දෙනාගේ කණ්ඩායම පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර ඔවුන්ට ඉහළ වැටුප්, නිවාස, වාහන ආදී සියලු පහසුකම් ලබා දී තිබේ. මේ සඳහා උවමනා සියලු බරපැන ආණ්ඩුවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ප්‍රචාරණ වියදම් ගිණුමින් දරන බව ද වැඩි දුරටත් අනාවරණය වෙයි.

මෙම මඩ අවලාද ව්‍යාපාරය මූලික අරමුණු තුනක් පදනම් කරගෙන ක්‍රියාත්මක කරන බව එම කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගෙන ව්‍යාජ සමාජ භීතිකාවක් නිර්මාණය කිරීම සහ එමගින් තරුණ ඡන්ද කැඩීම එහි පළමු අරමුණය. දෙවැන්න රාජපක්ෂ පවුලේ සමගිය බිඳ දැමීම හා රාජපක්ෂවරු අතර ගැටුම් ඇති බව හුවා දැක්වීම ඔස්සේ ගෝඨාභය වටා ගොනු වී සිටින ජනතාව සහ බලවේග අතර ඉච්ඡාභංගත්වයක් ඇති කිරීමය. ඉදිරි ජනාධිපතිවරණයේ දී පාවෙන ඡන්ද භාවිතයෙහිලා ප්‍රබල බලපෑමක් කරන මහ බැංකු වංචාව ඇතුළු පසුගිය වසර 5කට ආසන්න කාලය තුළ රටට සිදු වූ සියලු විනාශයන් ජනතාවට අමතක කරවීම තෙවැනි අරමුණය.

මෙම මඩ අවලාද ව්‍යාපාරය මගින් මහ බැංකු මංකොල්ලය ඇතුළු ආර්ථික සංහාරය, වංචා දූෂණ හොරකම්, රාජ්‍ය දේපළ විකුණා දැමීම, රටට අහිතකර ද්‍රෝහී ගිවිසුම්, රණවිරු දඩයම, භික්ෂූන් වහන්සේලා සිරගත කිරීම, පුරාවස්තු සංහාරය, පාස්කු ප්‍රහාරය ඇතුළු රට ආර්ථික ආරක්ෂක සංස්කෘතික ඇතුළු සියලු අංශවලින් බිඳ දැමූ ආණ්ඩුවේ පැටිකිරිය ජනතාවට අමතක කරවිය හැකි බව ඔවුන්ගේ තක්සේරුව වී ඇත.

අනතුරුව එම මඩ ව්‍යාපාරය මැදින් පෙර කී සියලු විනාශයන් නොදුටු ඇසින් නෑසු කනින් රට පුරා ගෙවල් තැනූ ඇමති සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක ධුරයට ඔසවා තැබීම සහ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම මෙම මෙහෙයුමේ අපේක්ෂාව වී තිබේ. මේ සඳහා දැනටමත් මේ රටේ බදු ගෙවන ජනතාවගේ අතිවිශාල ධනස්කන්ධයක් යටකර හමාර බැව් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි.

සෑම දිනකම රාත්‍රියට ඇමතිවරයාගේ නිවසේ දී මෙම 24 කල්ලිය මුණ ගැසෙන අතර එහි පැවැත්වෙන මත්පැන් සාදයේ දී ඊළඟ දිනයේ දියත් කළ යුතු මඩ අවලාද මොනවාද යන්න ඇමතිවරයා ඇතුළු මෙරට මඩ අවලාද මෙහෙයුම්වල ගෝඩ් ෆාදර්ලා විසින් තීන්දු කරනු ලැබේ. ඔවුන් විසින් මෙහෙය වන වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු ඔස්සේ පසුදින ගලා එන්නේ පෙර දා රාත්‍රී එම මත්පැන් සාදයේ දී නිර්මාණය කළ මඩ අවලාද පුවත්ය.

මේ සියලු තොරතුරු සවිස්තරාත්මකව ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය කණ්ඩායම විසින් ඔහුට අද දැනුම් දී ඇති අතර එහි දී ගෝඨාභය පවසා ඇත්තේ මෙම මඩ අවලාද ව්‍යාපාරයට මඩවලින් ප්‍රතිචාර දැක්වීමට කිසිසේත් කටයුතු නොකරන ලෙසය.

තමා 2005-2014 සමයේ ආරක්ෂ ලේකම්වරයා සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස රටට සිදුකළ කාර්යභාරයත් වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්න සහ තමාගේ අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමත් ඉලක්ක කරගෙන සිය ප්‍රචාරණ කටයුතු සැලසුම් කිරීමට උපදෙස් ලබා දී තිබේ.

එසේම ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාට මඩ අවලාද නැඟීම වෙනුවට විනයගරුක ප්‍රතිපත්තිගරුක ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරමින් රටට ආදර්ශයක් ලබා දීමට කටයුතු කරන ලෙස ද ගෝඨාභය රාජපක්ෂ එහි දී විශේෂ ඉල්ලීමක් කළ බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස