අගමැතිතුමා දේශනා කරන බුදු දහම අනුව බුදුන් වහන්සෙත් නිඝණ්ඨයෙක්! – ගම්මන්පිල

July 2, 2019 at 12:28 pm | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන පරිදි උපවාස කරන්නේ නිඝණ්ඨයන් පමණක් නම් භික්ෂූන් වහන්සේලා, සිල් ඇත්තන්, මුස්ලිම් ජනතාව පමණක් නොව බුදුන් වහන්සේ ද නිඝණ්ඨයකු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී (01) හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසීය.

“අගමැතිතුමා නැවත වතාවක් බුද්ධාගම පිළිබඳ සිය දැනුම ප්‍රර්දශනය කරන්න ගිහින් නොදන්නා කම ප්‍රර්දශනය කර තිබෙනවා. එතුමා කියන විධියට උපවාස කරන්නේ නිගණ්ඪනාථපුත්‍රයින් මිස බුද්ධපුත්‍රයින් නොවේලු. නමුත් විනය පිටකය අනුව භික්ෂුන් වහන්සේලා සියළුම දෙනා හිරු අවරට ගිය මොහොතේ සිට නැවත හිරු පායන තුරු උපවාස කළ යුතුයි. ඒ කියන්නේ පස්වරු 12 සිට පසු දා උදෑසන හය දක්වා දිනපතා පැය 18ක් උපවාස කළ යුතුයි.”

“අගමැතිතුමන් කියන්නේ සියළුම භික්ෂුන් වහන්සේලා නිගණ්ඪනාථපුත්‍රයින් ද? ඒ වගේම පෝය දවසට අටසිල් සමාදන් වන අයත් දවල් දොලහේ සිට උපවාස කළ යුතුයි. ඒ කියන්නේ අගමැතිතුමන්ගේ නිර්වචනයට අනුව සියලුම අටසිල් ඇත්තෝ නිගණ්ඪනාථපුත්‍රයින් ද? අවසාන වශයෙන් බුදුන් වහන්සේත් දිනපතා පැය 18ක උපවාස ශීලය රැක්කා. අගමැතිතුමාට අනුව බුදුන් වහන්සේත් නිගණ්ඪනාථපුත්‍රයෙක් ද?”

“බෞද්ධයින් පැත්තක තියමු. මුස්ලිම් ජනතාව රාමසාන් මාසයේ දී හිරු පායන මොහොතේ සිට හිරු බැස යන මොහොත දක්වා දිනපතා මාසයක් පුරාවට උපවාස කරනවා. එතකොට සමස්ත ලෝක මුස්ලිම් ජනතාවත් නිගණ්ඪනාථපුත්‍රයින් ද? මේ සියල්ලටම වඩා උපවාස හරහා දේශපාලන ඉල්ලීම් දිනා ගැනීම ලෝ පුරා ප්‍රචලිත කළ සමස්ථ ලෝකයේම ගෞරවයට පාත්‍රවූ මහත්මා ගාන්ධිතුමාත් නිගණ්ඪනාථපුත්‍රයෙක් ද?”

“ඒ නිසා පස්දුන් කෝරලය පස් විකුණා ධනවත් වුණා කිව්වා වගේ, තොප්පිගල නිකන්ම නිකන් කැලයක් කිව්වා වගේ, පැරකුම්බාරජතුමන් කුරුදු විකුණා ධනවත් වුණා කිව්වා වගේ මේකත් අගමැතිතුමන්ගේ විහිළු කතා ලැයිස්තුවට එකතු වන තවත් එක් කතාවක් විතරයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස