මැදිරිගිරියෙන් මතු වූ ඓතිහාසික දඹරන් පිළිම තුනක් පුරාවිද්‍යා නිලධාරියෙක් උස්සයි!

February 26, 2019 at 8:20 am | by admin

මැදිරිගිරියේ ගොවි මහතකුට සිය කුඹුරේ තිබී හමුවූ රනින් නිම කළ කුඩා බුද්ධ ප්‍රතිමා තුනක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීමෙන් පසු ඒවා අස්ථානගත වීමේ සිද්ධිය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැලකිල්ලක් දක්වා නැතැයි ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

පොළොන්නරුව මැදිරිගිරිය යාය 7 බිසෝ බණ්ඩාරගම එච්.ටී. තිලකරත්න ගොවි මහතාට මෙම රන් පිළිම හමුවී ඇත. ඔහු එම පිළිම පොළොන්නරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පළාත් කාර්යාලය වෙත නීත්‍යනුකූල ලෙස භාර දී තිබේ. ඔහුගේ දැනුම්දීමට අනුව භාණ්ඩ හමුවූ ස්ථානයටම පැමිණි පුරාවිද්‍යා ගවේෂණ නිලධාරියකු විසින් 01.12.2012 දින එම භාණ්ඩ භාරගෙන ඇත.

එහෙත් අදාළ නිලධාරියා විසින් යථෝක්ත බුදු පිළිම තුන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී නැති බව තිලකරත්න මහතාට පසුව දැනගන්න ලැබුණු නිසා ඔහු මේ පිළිබඳව පළාත් පුරාවිද්‍යා කාර්යාලයෙන් ප්‍රශ්න කර ඇත.

එහිදී කලබල වූ ඉහත කී භාණ්ඩ භාරගත් ගවේෂණ නිලධාරිවරයා එම භාණ්ඩ තමා සන්තකයේ තිබියදී අස්ථානගත වූ බවට පොළොන්නරුව පොලිසියට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ල 2013.08.06 දින අංක CIB (1) 397/86 යටතේ පොළොන්නරුව පුරාවස්තු ආරක්‍ෂක විශේෂ පොලිස් ඒකකය මඟින් විමර්ශනය කර 2014.05.12 දින පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වෙත වාර්තා කර ඇත.

එකී විමර්ශන වාර්තාවේ සඳහන් කරුණු අනුව භාණ්ඩ අස්ථානගත වූ බවට ගවේෂණ නිලධාරියා කරන ලද පැමිණිල්ල සාවද්‍ය එකක් බව හෙළි වී ඇති බැවින් සුදුසු පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

එසේ වුවද මේ දක්වා ඒ සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගෙන නැත. මැදිරිගිරියේ ගොවි මහතා රජයට භාර දුන් පුරාවස්තුවලට සිදුවූයේ කුමක්දැයි පොළොන්නරුවේ ජනතාව ප්‍රශ්න කරති.

මව්බිම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *