සජිත් මංගල කල්ලිය කාදිනල්තුමාට පහර දෙන්නේ වෙඩි නොවදින සුපිරි කාරය ඉවසා වදාරා නිහඬ නොවන නිසාද?

August 8, 2019 at 9:38 am | by emanisa.lk

මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමා මෙරට කතෝලික ජනතාවගේ පමණක් නොව සිංහල බෞද්ධ ජනතාවගේ ද ගෞරවයට බහුමාණයට පාත්‍ර වූයේ හුදෙක් අප්‍රේල් 21 පාස්තු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයකින් සිය බැතිමතුන් තුන් සියයකට අධික ප්‍රමාණයක් අමු අමුවේ මරා දමා පන්සියයකට අධික පිරිසකට තුවාල සිදුකළ අවස්ථාවේ ප්‍රදර්ශනය කළ අයෝමය නායකත්වය නිසාම නොව එයට පෙර සිටමය.

ඒ සඳහා හේතු වූයේ කාදිනල්තුමා රට කැබලි කරන ෆෙඩරල් ව්‍යවස්ථාවට, සමලිංගිකත්වය නීතිගත කිරීමට සහ රට තුළ සිදුවන විදෙස් අතපෙවීම්වලට එරෙහි වීම, රටට අහිතකර විදෙස් ගිවිසුම්වලට එරෙහි වීම, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගැනීම සහ ඊට එරෙහි බලවේගවලට එරෙහි වීම ආදී ප්‍රගතිශීලි පියවර ඔස්සේ නූතන මර්සලින් ජයකොඩි පියතුමාගේ භූමිකාවට පණ පෙවීම බව බොහෝ දෙනාගේ අදහසය.

මේ ආකාරයට වර්තමාන ආණ්ඩුවේ බෙදුම්වාදී වැඩපිළිවෙළට සහ බටහිර ගැති පාලනයට දිගින් දිගටම පහර දීමත් මේ රටේ භික්ෂූන් වහන්සේලා සමග බහුතර ජනමතය සමග කාදිනල්තුමා සිට ගැනීමත් ආණ්ඩුවේ කෝපයට හේතු විය. විශේෂයෙන් සමලිංගිකත්වය නීතිගත කිරීමට එරෙහි වීම නිසා කාදිනල්තුමා ආණ්ඩුවේ බලවතුන්ගේ කිහිප දෙනෙකුගේ දැඩි වෛරයට පාත්‍ර විය.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල කිරීමත් සමග ඒ පිටුපස සිටින බලවේග අපේක්ෂා කළ ආකාරයට 1983 කළු ජූලිය මෙන් 2019 කළු අප්‍රේල් සංහාරයක් නිර්මාණය කරගැනීමට නොහැකි වූයෙත් මුස්ලිම් ජනතාව ඉලක්ක කර සිංහල සමාජයෙන් ප්‍රහාරයක් එල්ල නොවූයේත් කාදිනල්තුමාගේ ආයෝමය නායකත්වය නිසාය.

උන් වහන්සේගේ දුරදක්නා නුවණ නිසාය. කතෝලික පල්ලි සහ සුපිරි හොටෙල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල වන අවස්ථාවේ නිර්මාණය වන අරාජිකත්වය මැදින් මේ රටේ බින්න බැසීමට බලා සිටි බලවේග මේ නිසා උකටලි විය. එහි දේශීය නියෝජිතයන් ලෙස කටයුතු කරන ඇම්බැට්ටයෝ කාදිනල්තුමා කෙරෙහි තවත් වෛර බැඳ ගත්හ.

ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයේ තුවාල වූ හදවත් සුවවීමටත් පෙර එහි ලේ සේදී යාමටත් පෙර මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බවත් එසේ ප්‍රකාශ කරන්නේ කාඩ්බෝඩ් වීරයන් බවත් පවසමින් ඇමති මංගල සමරවීර නැවත ජාතිවාදී ගිනි අවුළා ඊට පිදුරු දමන්නේ කාදිනල්තුමාට ද ප්‍රහාරයක් එල්ල කර රට නැවත ගැටුමක් කරා රැගෙන යාමටය.

එහෙත් මේ කිසිවකින් ගැටුමක් නිර්මාණය කර ගැනීමට නොහැකි වූ අතර කාදිනල්තුමා ආණ්ඩුවේ වෙඩි නොවදින කාර් අල්ලස අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමා ජනතාව වෙනුවෙන් සිට ගත්තේය. ආණ්ඩුව ත්‍රස්තවාදීන් සමග මධුසමය ගතකරන අතර කාදිනල්තුමා ත්‍රස්තවාදයෙන් පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් යුක්තිය ඉල්ලා සිටියේය.

මේ ආකාරයට කාදිනල්තුමා දිගින් දිගටම ආණ්ඩුව නොතකා හළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ආණ්ඩුව දකින්නේ තමන්ට එරෙහි වීමක් ලෙසය. ආණ්ඩුවට එරෙහි බලවේගවලට සහාය වීමක් ලෙසය. ආණ්ඩුවේ දුර්වලතා විවේචනය කරන විට එහි අයුක්ති සහගත ක්‍රියාදාමයට එරෙහි වන විට අපරාධකරුවන් ආරක්ෂා කරන ආණ්ඩුවේ පිළිවෙත කාදිනල්තුමා හෙළි කරන විට එහි දේශපාලන වාසිය විපක්ෂයට යාම නොවැළැක්විය හැකිය. විපක්ෂයට වාසි වන්නේ යැයි කියා ආණ්ඩුව සිය ජනතාවට අසාධාරණයක් කරන විට නිහඬව සිටීමට කාදිනල්තුමාට නොහැකිය.

කෙසේ වුවද මේ වන විට කාදිනල්තුමාට පහර දීමට එහිමියන්ගේ චරිතය ඝාතනය කිරීමට ආණ්ඩුවේ මංගල සජිත් මංගල පාර්ශවය විවිධ පෙරමුණ ඔස්සේ කටයුතු කරමින් සිටියි. කාදිනල්තුමා ආණ්ඩුව සිදුකරන පරීක්ෂණවලින් සෑහීමට පත්විය යුතු බවත් කොටි ත්‍රස්තවාදයට එරෙහි සටනට කාදිනල්තුමා එරෙහි නොවූ නිසා සිය ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට කාදිනල්තුමාට කිසිදු අයිතියක් නොමැති බවත් ඔවුහු ලිපි ලියමින් පවසති. මංගල සමරවීරගේ හිතවතුන් විසින් පවත්වා ගෙන යන ලීඩර් වැනි වෙබ් අඩවිවලින් ඒ සඳහා පුළුවල් ප්‍රචාරයක් දෙති.

රතු පස්වල වෙඩි තැබීම, රොෂෙන් චානක සිදුවීම් මතින් බලයට පැමිණ එවැනි ජීවිත 300කට අධික ප්‍රමාණයක් තප්පර කිහිපයක් ඇතුළත මරා දැමූ ආණ්ඩුව පෙර කී සිද්ධිවලට කාදිනල්තුමා ගත් ක්‍රියාමාර්ග විමසති. ජනතාව රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවා නව පාලනයක් පිහිටුවා ගත්තේ අදාළ සිද්ධිවලට යුක්තිය ඉටුකර ගැනීමට බව ද අද ඔවුන්ට අමතක ඇත.

අනෙක් අතට පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ සිදුවීම්වලට ජනතාව මහ පාරට ගෙනැවිත් ආරක්ෂක අංශ සමග ගැටුමක් නිර්මාණය කළ එවක විපක්ෂ බලවේග තමන් නිර්දෝෂී යැයි අතපිසා දමාගත නොහැකිය. එදා ඔවුන්ගේ අරමුණ වූයේ අහිංසක ජීවිත කිහිපයක් බිලි දී ඒ මතින් බලයට පැමිණීමය. අවසානයේ සිදු වූයේද එයමය. එදා රතුපස්වල සිදුවීමට රාජපක්ෂ ආණ්ඩුව වගකිව යුතු බව අදත් පවසන ආණ්ඩුව පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා සිදු වූ මහා විනාශය ආරක්ෂක ලේකම් සහ පොලිස්පති මත පටවා අත පිසදා ගැනීම උත්ප්‍රාසජනකය.

කෙසේ වුවද මේ අවස්ථාවේ කාදිනල්තුමාට පහර දෙන්නේ හුදෙක් පාස්කු ප්‍රහාරයට පසු එතුමා ආණ්ඩුවේ පදයට නටන්නට සූදානම් නොවූ නිසාම නොවේ. කාදිනල්තුමා සිංහල බෞද්ධ සංස්කෘතියට රටේ ජාතික ආරක්ෂාවට ජාතික සමගියට මුල්තැන දෙමින් කටයුතු කළ නිසාය. භික්ෂුන් වහන්සේලා චීවරධාරීන්, ළමා අපචාරකයන්, ස්ත්‍රී සොඬුන් ලෙස මොවුන් අපහාස කරන්නේ ද එහෙයිනි. මේ සියලු ප්‍රහාර එල්ල වන්නේ මේ රටේ ආගමික නායකයන් රට සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නිසාමය. සැබවින්ම මංගල සජිත් කල්ලිය පහර දෙන්නේ මේ රටේ මුදුන් මුලටය.

රටේ ජාතික ආරක්ෂාව, සංස්කෘතික සුරක්ෂිතතාව, ජාතික සමගිය වෙනුවෙන් කිසිවකු පෙනී සිටින විට සංස්කෘතික ආගමික විරෝධය ජාතික ආරක්ෂාව නොතකා හැරීම සිය ප්‍රතිපත්තිය කරගත් ආණ්ඩුවකට එරෙහි වීමක් බවට පත්වීම ස්වාභාවිකය. එහෙත් ආගමික නායකයන්ගේ වගකීම රට සහ ජනතාව රැකීම මිස ආණ්ඩු රැකීම නොවේ. එය ජනතාව අවබෝධ ගෙන බොහෝ කල්ය. එහෙයින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ඇමති මංගල සමරවීරලා වඩම්මාගෙන එන අපේක්ෂකයන්ට ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇත.

ඉඳුනිල් වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස