ජීනිවා කොමිසම හමුදාවට නඟන යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරනවා! සිරගත කර ඇති රණවිරුවන් වහාම නිදහස් කළ යුතුයි! – ගෝඨා

October 16, 2019 at 9:05 am | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අප හැම අවස්ථාවකදීම කටයුතු කර තිබෙන නමුත් හමුදාව යුද අපරාධ කළ බවට ජිනීවා මානව හිමිකම් කොමිසම කරන චෝදනාව ප‍්‍රතික්‍ෂෙප කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසයි.

කොළඹ, ෂැංග‍්‍රිලා හෝටලයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍ය නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්‍ෂ මේ බව සඳහන් කළේය.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදෙන දේශපාලන පක්‍ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

රණවිරුවන් දඬුවම් ලැබිය යුතු පිරිසක් නොවන බවත්, මේ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු පවා කියා තිබෙන බවත්, සිරගතව සිටින රණවිරුවන්ට නිදහස ලබාදිය යුතු බවත් හෙතෙම කීය.

සියලු දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත්, තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද වැනි දෙමළ දේශපාලන පක්‍ෂ නායකයන් සමග හා මුස්ලිම් නායකයන් සමග සාකච්ඡා කළේ ඔවුන්ගේ ප‍්‍රදේශවල ජනතාවගේ ගැටලුවලට ලබාදෙන විසඳුම්, තරුණ පිරිස්වලට රැකියා අවස්ථා උදාකිරීම, ඒ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම, අධ්‍යාපනය ප‍්‍රදේශ සංවර්ධනය යන කරුණු පිළිබඳව බවත් ඒ ගැටලුවලට ලබාදෙන විසඳුම් පිළිබඳ ඔවුන් සතුටට පත් වූ බවත් පැවැසූ ගෝඨාභය රාජපක්‍ෂ වෙනත් කොන්දේසි ඉදිරිපත් නොකළ බවද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස