පොදුජන පෙරමුණ සහ පොදුජන අපේක්ෂා! – ගෙවිඳු කුමාරතුංග

August 12, 2019 at 11:02 am | by emanisa.lk

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මංගල පක්ෂ සම්මේලනය අද (2019 අගෝ. 11) දින පැවැත්වීමට නියමිතය. ඒ නිසා පොදුජන පෙරමුණ හා බැඳුණු මේ රට හුදීජන අපේක්ෂා කවරේ දැයි සලකා බැලීමට මේ සුදුසු මොහොතකි. පොදුජන පෙරමුණේ ඒකායන අධිෂ්ඨානය විය යුත්තේ ඒ හුදීජන පැතුමක් සපුරාලීමේ අතිමහත් අභියෝගය ජය ගැනීමය.

පොදුජන පෙරමුණ බිහි වන්නේම සවිඥානිකව හෝ අවිඥානිකව හෝ ජාතික අපේක්ෂා හදවතින් ගත් හුදීජන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙසය. එදා 1815 දී තමන්ම සැපයූ මසාරවල අනුහසින් අසිහියෙන් ක‍්‍රෑර ක්‍රියාවන්හි නිරත වූ රජු පලවා හැර යුක්ති සහගත පාලනයක් ස්ථාපිත කිරීමේ ව්‍යාජයෙන් පැමිණි සුද්දාට රැවටුණු අපි වසර දහස් ගණනක් රැක ගත් නිදහස් ස්වාධීන රාජ්‍යය ද අහිමි කරගන්නෙමු. එලෙසම මෙදා 2015 දී යහපාලනයක නාමයෙන් බටහිර විජාතික බලවේග සිදුකරන ලද කුමන්ත‍්‍රණයට ගොදුරු වූයෙමු.

එහිදී බටහිර බලවේග මේ ලංකාද්වීපයෙන් ත‍්‍රස්තවාදය සහමුලින්ම පරදා ලැබූ ඓතිහාසික ජයෙන් පිබිදුණු ස්වාධීන, ශක්තිමත්, සෞභාග්‍ය සම්පන්න රටක් බිහිවීමට එරෙහිව කෙරුණු කුමන්ත‍්‍රණයෙහි ශ්‍රී ලංකා රජයම දියකර හැරීමේ කුමන්ත‍්‍රණයෙහි කොටස්කරුවන් බවට තම සහචරයන් වූ එක්සත් ජාතික පක්ෂය හා එන්. ජී. ඕ. සංවිධාන ජාලය පමණක් නොව දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික හෙළඋරුමය ද පත් කර ගැනීමට සමත් විය. එපමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා හා ඒ මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම, එක්සත් ජනතා නිදහස් සන්ධානයම ගොදුරු කර ගැනීමට සමත් විය. එමගින් 2015 ජනාධිපතිවරණයේදී මේ කුමන්ත‍්‍රණයට එරෙහිව ඡන්දය දුන් 58 ලක්ෂයක් ජනතාවට මෙන්ම කුමන්ත‍්‍රණයට ගොදුරු වූ 62 ලක්ෂයක ජනතාව අතරින් තමන් කුමන්ත‍්‍රණයක ගොදුරු වූ බව වටහා ගත් ජනතාවට ද තමන්ගේ මතය ප‍්‍රකාශ කළ හැකි තම අභිමතය වෙනුවෙන් සංවිධානය විය හැකි දේශපාලන පක්ෂය ද ඔවුනට අහිමි කර තිබිණි.

මේ විජාතික කුමන්ත‍්‍රණයේ අපේක්ෂකයා වූ මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ඡන්දය දුන් 58 ලක්ෂයක් වූ ජනයාගේ පක්ෂයේ හා සන්ධානයේ නායකත්වය මෛත්‍රිපාල සිරිසේන මහතා අතට පත් කිරීම මේ රට දේශපාලන ඉතිහාසයේ මතු නොව ලෝක ඉතිහාසයෙහි ද දරුණුතම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාවකි. එය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට වඩා කෲරය. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට වඩා බිහිසුණුය. 58 ලක්ෂයක් ජනයාගේ දේශපාලනය කිරීමේ අයිතිය, යාන්ත‍්‍රණය උදුරා ගැනීමක් පමණක් නොව තමන් ඡුන්දයෙන්, කතිරයෙන් ප‍්‍රතික්ෂේප කළ විජාතික නායකත්වයේ කුමන්ත‍්‍රණයේ දාසයන් බවට ද පත් කිරීමකි. දේශපාලන ලෝකයේ මීට වඩා ම්ලේච්ඡත්වයක් පැවැතිය හැකිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වූ අරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැත්මේ පදනම සලකා බලන කල මේ ක්‍රියාවෙහි සහාසික භාවය මැනවින් විශද වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වන්නේම ජාතික අපේක්ෂා වෙනුවෙනි. නිදහස වෙනුවෙන් ජාතික සංගමය ප‍්‍රමුඛ සියලු බලවේග එකතුව පිහිට වූ එක්සත් ජාතික පක්ෂය නිදහස් ස්වෛරී රාජ්‍යයක් පිළිබඳ අපේක්ෂා ගැන, ජාතික අභිලාෂ ගැන තැකීමක් නොකරන බව මේ රටේ හුදී ජනයාට වැටහෙන්නට වූ විට ඒ අභිලාෂ සාක්ෂාත් කරගනු පිණිසය. එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනාක ශ්‍රීමතාණන් ගේ වචනවලින්ම කියතොත්, “නිදහස පිළිබඳ වෙස් මාරුවෙන් පෙනී සිටිමින් ඇත්ත වශයෙන් යටත් විජිත ක‍්‍රමයට සිතුවා වූද ක්‍රියා කළා වූද නිදහස යන්නෙන් පාලකයන් වෙනස් වීම විනා ඊට වැඩි ලොකු වෙනසකට භාජනය නොවූ ජනතාවගෙන් ඉතා වැඩි කොටසේ අවශ්‍යතාවන් පිළිබඳ අල්පමාත‍්‍ර සැලකිල්ලක් පමණක් දැක්වූවා වූද…” එක්සත් ජාතික පක්ෂ පාලනයට විකල්පයක් ජනතාවට ලබාදීමය. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිදු කෙරුණු යෝජනා ස්ථිරත්වයකින් ජනාධිපති අපේක්ෂකයා කෙරෙන්නෙකු යටතට පත් කෙරෙනුයේ මේ පක්ෂයයි.

මේ නිසා 2015 ජනාධිපතිවරණ විජාතික කුමන්ත‍්‍රණය ජයග‍්‍රහණය කළ අවස්ථාව ජනාධිපති තනතුර පමණක් නොව ආණ්ඩුව සේම විපක්ෂය ද විකල්පය ද කුමන්ත‍්‍රණකරුවන් නතු කරගත් අවස්ථාවකි. ඒ අවස්ථාවේදී ජයග‍්‍රාහකයා අත්වැල් බැඳ ගැනීමට නිදහස් චතුරස‍්‍රයට, රජ ගෙදරට, අරලියගහ මන්දිරයට ඇදී යනවා වෙනුවට පරාජය කරනු ලැබූ තම නායකයා සොයා සිය ගණනින් දහස් ගණනින් දසදහස් ගණනින්, ලක්ෂ ගණනින් මැදමුලනට ඇදෙන්නට වූ ජනී ජනයා ගැසූ කැරැල්ල, පක්ෂයක, සංවිධානයක මෙහෙයවීමකින් තොරව, තම හදවතේ ඇණවුම මත සිදු කෙරුණු හුදී ජනයාගේ කැරැල්ල නොවන්නට ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවේගවල මෙහෙයවීම මත දේදුනු විප්ලව සිදු කෙරුණු ලිබියාවේ, ඉරාකයේ නායකයන්ට අත්වූ ඉරණම ම අප රටේ ජාතික නායකත්වයට ද අත්වනු නොඅනුමානය. එසේ වී නම් ජිනීවා යෝජනා සහමුලින්ම ක්‍රියාත්මකව විදේශීය විනිසුරුවන්ගෙන්, අභිචෝදකයන්ගෙන් සමන්විත අධිකරණ ක්‍රියාවලියක් මගින් කුරිරු ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගත් රණවිරුවන්, යුද අපරාධකාරයන්, මනුෂ්‍ය ඝාතකයන්, ස්ත්‍රී දූෂකයන් ලෙස අවමානයට ලක් කර දංගෙඩියට දැක්වීම මේ වනවිට සිදු කර අවසාන වනු ඇත. යහපාලනය හා සංහිඳියාව වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව සම්මතව වසර දහස් ගණනක් පරපුරෙන් පරපුරට දිවි පුදා රැක ගත් ඒකීය ශ්‍රී ලංකාව මතු නොව ශී ලංකා රාජ්‍යයම අරාජිකව, ස්වයං විනාශයට පත්ව තිබෙනු ඇත. ලිබියානු ජනතාවට මධ්‍යධරණී මුහුදේ පිහිට හැර අන් පිළිසරණක් නොමැති වූවා සේම මේ රටේ ජනී ජනයාට ද ඉන්දියන් සාගරයේ පිහිට හැර පැතිය හැකි අන් පිළිසරණක් නොමැති වනු ඇත. ඇක්සා, සෝෆා හා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් හරහා ඉන්දියානු සාගරයේ ඇමරිකානු නාවික හමුදාවන්හි අගුපිළක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමට දරන ප‍්‍රයත්නය ඉෂ්ට සිද්ධව තිබෙනවා ඇත.

හුදී ජන කැරැල්ල, ප‍්‍රතිරෝධය ඉහත සියල්ල කුමන්ත‍්‍රණකරුවන්ට අවශ්‍ය වූ ආකාරයට සම්පූර්ණ වීම කල් දැමීමට සමත් වුව ද ඒවායෙහි පියවර ක්‍රියාවට නැඟීම නතර කරලීමට හෝ මුළුමනින්ම පරාජය කරලීමට හෝ සමත් වී නොමැත. ඒ බව 19 වැනි සංශෝධනය මගින් ශ්‍රී ලංකා රාජ්‍යය අබල දුබල කර ඇති ආකාරයෙන්, ජිනීවා යෝජනා හා එකඟව අතුරුදන්වූවන්ගේ කාර්යාල, වින්දිතයන් සඳහා හානිපූරණ කාර්යාල ආදිය පිහිටුවා ගැනීමෙන් ස්වදේශික නිෂ්පාදකයන් මතු නොව දේශීය ශ‍්‍රමිකයා හා වෘත්තිකයා ද අනාරක්ෂිත කෙරෙන සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාවට නැඟීමෙන් ඇමරිකානු නාවුක හමුදාවන්ට මෙරට වරාය, ගුවන් තොටුපළ, මහාමාර්ග අත්පත් කර ගැනීමට හා භාවිතයට ඉඩ සලසන ‘ඇක්සා’ ගිවිසුම රටට හොරා අත්සන් කිරීමෙන් මොනවට පැහැදිලිය. ඒ පමණක් නොවේ. 2015 මහ මැතිවරණ ප‍්‍රතිඵලය ද කියා පෑවේ හුදීජන පැතුම් කි‍්‍රයාවට නැඟිය හැකි ශක්තිමත් සංවිධාන ව්‍යූහයක අවශ්‍යතාවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වූ පසුබිම මෙබඳුය. ඒ පක්ෂය පිහිටුවීම මේ රට ජනී ජනයා අනුමත කළ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අන් සියලූ දේශපාලන පක්ෂ අභිබවා යන ජන වරමක් ලැබීමෙන් මොනවට පැහැදිලි විය. දැන් පොදුජන පෙරමුණේ වගකීම වනුයේ 2015 විජාතික කුමන්ත‍්‍රණයට රටම ගොදුරු වීම නිසා දේශපාලනික, ආර්ථික, සමාජීය, ආධ්‍යාත්මික දෑ සෑම ක්ෂේත‍්‍රයකම සිදුව ඇති, සිදුවෙමින් ඇති, සිදු කෙරෙමින් ඇති මහා පරිහානියෙන්, විනාශයෙන් රට බේරා ගැනීමය. ඒ හා සමගම නිදහස පතා කළ අරගලයන්ගේ අප රට ජනයා සාක්ෂාත් කර ගැනීමට තැත් කළ ජාතික අභිලාෂයන් ඉටු කරලීමය. පියවරෙන් පියවර අපගේම වූ සභ්‍යත්ව රාජ්‍යයක් කරා පියනැඟීමය.

එහෙත් මේ සියල්ලට පෙර, මේ සියල්ල වෙනුවෙන් විජාතික කුමන්ත‍්‍රණයෙන් රට බේරාගත යුතුව ඇත. විජාතික ඒජන්තයන්ගේ ග‍්‍රහණයෙන් රට මුදා ගත යුතුය. ඒ සඳහා එළැඹෙන ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ජයගත යුතුය. ඒ වෙනුවෙන් ස්වදේශිකත්වයේ සකලවිධ බලවේග එක්සේසත් කළ යුතුය. එහිදී පොදුජන පෙරමුණ නිහතමානීව, දූරදර්ශීයව හා ආදර්ශවත් ලෙස කටයුතු කරනු ඇතැයි යන්න පොදුජන පැතුමයි.

-ගෙවිඳු කුමාරතුංග
යුතුකම සංවාද කවය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස