40 වන ජිනීවා සැසි දංගෙඩියට තබන්නේ වයිස් අද්මිරාල් කරන්නාගොඩ ද?

March 10, 2019 at 9:56 pm | by admin

එක්සත් ජාතීන්ගේ 40 වන මානව හිමිකම් සැසිය මේ වන විට ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මාර්තු 20 වෙනි දින නිල වශයෙන් ඉදිරිපත් කරනු ඇත.

ජිනීවා සමුළුව ආරම්භ වීමට සතියකට අඩු කාලයක් තිබිය දී 2008-2009 කාලයේ තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ 14 වන සැකකරු ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ළඟදිම අත්අඩංගුවට ගන්නා ආරංචිය ප්‍රධාන පුවත බවට පත්විය.

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් කප්පම් ගැනීම පිණිස තරුණයන් පැහැර ගත් 2009 වසරේ අදාළ කාල සීමාවේ නාවික හමුදාපති ලෙස කටයුතු කළේ වසන්ත කරන්නාගොඩය. මේ පිළිබඳ පරීක්ෂණ වහාම ආරම්භ කළ ද හදිසියේ එය නතර විය.

අමනාපයෙන් පසුවන ශ්‍රී ලංකා දෙමළ ඩයස්පෝරාව සහ වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුව හැර මෙම ජිනීවා සමුළුව කිසිවකු වැදගත් කොට සලකන්නේ නැත. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පිටුපස සිටින ප්‍රධාන රට වන ඇමරිකා එක්සත් ජනපදය පවා මානව හිමිකම් කොමිසම “දේශපාලන පක්ෂග්‍රාහීත්වයේ වැසිකිළිය” යැයි පරිභව කළේය. කෙසේ වුවද ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර සමාජයේ හොඳහිත දිනා ගැනීම පිණිස එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනී.

බාහිර බලපෑම්වලින් මිදී සිය නිදහස සහ ස්වෛරිභාවය පදනම් කරගෙන ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේ රාජ්‍යය සතු අයිතිය එමගින් ප්‍රතික්ෂේප කෙරේ. ලොව කිසිදු රටක් කිසිදු අවස්ථාවක සිය රටට එරෙහි යෝජනාවක සම අනුග්‍රාහකත්වය දැක්වීමට පෙරට එන්නේ නැත. එහෙත් 2015 සිය රටට එරෙහි ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාව ඉතිහාසය අලුතින් ලියා අවසන්ය. මෙය මූණේ වැරැද්දට නාහේ කපා ගැනීම වැනි අමන ක්‍රියාවකි.

එම යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දීම යනු රටට එරෙහි චෝදනා පිළිගැනීමක් මෙන්ම අදාළ යෝජනාව මගින් යෝජනා කරන නිර්දේශ සඳහා ද සහාය දීමකි.

මේ මොහොතේ වර්තමාන ආණ්ඩුවට බිලි දීම සඳහා එළු පැටියකු උවමනා කර තිබේ. සරත් ෆොන්සේකාට දරුණු යුද අපරාධ කළ බවට චෝදනා එල්ල වුව ද ඔහු වර්තමාන ආණ්ඩුව තුළ ආරක්ෂිතව සැඟව සිටින නිසා වර්තමාන ජිනීවා සමුළුවේ දංගෙඩිය වෙත දැක්කිය නොහැකිය.

එහෙයින් බලාපොරොත්තු සුන් වූ ආණ්ඩුව දේශපාලනයට සම්බන්ධ නැති නිර්භීත රණ විරුවකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ බිලි දීමට තීරණය කර තිබේ. 2009 ත්‍රස්තවාදය නිමා කිරීමේ සටන වේගවත් කළ කරන්නාගොඩට දඬුවම් පමුණුවනු දැකීමට වෛරයෙන් පසුවන ශ්‍රී ලංකා දෙමළ ඩයස්පෝරාව කැමති වනු ඇත. ඔහු මෙය සිදු කළේ එකල භාවිතයේ පැවති ප්‍රාථමික නාවික උපක්‍රම වෙනස් කර ගැඹුරු මුහුදේ පැවති කොටි පාවෙන අවි ගබඩා විනාශ කිරීමට නායකත්වය ලබා දීමෙනි.

2006 වසරේ ජපන් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා ආණ්ඩුවට සහ කොටි සංවිධානයට නැවත සාකච්ඡා මේසයට ආරාධනා කළ අතර මම එම සාම ක්‍රියාදාමය මෙහෙය වූ හිටපු ලේකම්වරියගේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළෙමි. දෙපාර්ශවයම ඒ සඳහා එකඟ වූ අතර ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායම් සමග මූලික සාකච්ඡා ද පැවැත්විය. ඒ සඳහා සහභාගී වූ සෙසු පිරිස අතරින් සිය උදාරත්වය අවංකත්වය සහ විනීතත්වය නිසා ෆෙරියල් අශ්රොෆ්, නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ මේජර් ජනරාල් මෙන්දක සමරසිංහ කැපී පෙනිණි.

නෝර්වේ සාම සාකච්ඡා සමයෙහි වසන්ත කරන්නාගොඩ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ විශ්වාසය දිනා ගත්තේය. නැගෙනහිර නාවුක ප්‍රධානියා ලෙස තිරිකුණාමලයේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔහු ගත් ක්‍රියාමාර්ග ඇගේ විශේෂ අවධානයට ලක්විය. ඉතාමත් බුද්ධිමත් සහ උපක්‍රමශීලි පියවරක් ලෙස ජනාධිපතිනය ඔහු නාවික හමුදාපති ධුරයට පත් කිරීමට පවා ඉදිරිපත් විය. යුක්තිය පතා අවංකවම නැඟී සිටින අය අතර අත්‍යන්තයෙන්ම වසන්ත කරන්නාගො වැනි අයගේ බොහෝ සතුරන් සිටිය හැකිය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම සහ එකම තරු හතරේ අද්මිරාල්වරයා ද නාවික හමුදාපතිවරයා ද වන මෙම රණ විරුවා සිය වෘත්තීය ගෞරවය සහ හෘද සාක්ෂිය ද බිඳ ගෙන දෑතේ ලේ තවරා ගනීද? තරුණයන් 11 දෙදෙනකු පැහර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, නේෂන් පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කිත් නෝයාර්ට, රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට, මාධ්‍යවේදී පෝද්දල ජයන්තට සහ නාමල් පෙරේරාට පහර දීම වැනි දෑවල නිරත වෙයිද? මේ රණවිරුවා එජාපයට සහය දක්වා කටයුතු කළේ නම් ඔහු ඔහු කවර පුද්ගලයකු ඝාතනය කළත් පහර දුන්නත් අද වන විට වත්මන් ආණ්ඩුවේ ඇමති ධුරයක පිහිටුවා සුවපහසු ලෙස ආරක්ෂා නොකර සිටිනු ඇතිද?

දැන් සැබවින්ම ජිනීවා සමුළුවට බිලි දිය යුත්තේ යුත්තේ කවුද?

(Is Admiral Wasantha Karannagoda to be the sacrificial lamb at the altar of the 40th UNHCR session? යනුවෙන් ශාමිණී සේරසිංහ ලියූ ලිපිය ඇසුරිනි.)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස