ජනාධිපති අපේක්ෂක ගෝඨා ඝාතනයට සැලසුම් කළ ප්‍රභාකරන්ගේ වෛද්‍යවරයා අත්අඩංගුවට!

August 20, 2019 at 4:13 pm | by emanisa.lk

ප්‍රභූ ඝාතනයක් ඇතුළු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සඳහා උතුරේ නිද්‍රාශීලී කොටි කණ්ඩායම් මෙහෙයවමින් සිටි බව කියන හිටපු කොටි නායක ප්‍රභාකරන්ගේ වෛද්‍යවරයා වූ සින්නයියා සිවරූබන් යාපනය, පලෙයි රෝහලේදී ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදාව හා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) ඒකාබද්ධව දීර්ඝ විමර්ශනයකින් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත. කොටි නායක ප්‍රභාකරන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසද කටයුතු කළ සිවරූබන් යාපනය රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ලෙසද කටයුතු කර ඇත.

කොටි නායක ප්‍රභාකරන්ට ආරක්ෂාව සැපයූ රාධා නමැති බළකායේ කණ්ඩායම් තුනක් ස්විස් කොටි ජාලය සමගද එක්වී මෙහෙයවා ඇත්තේ මෙම වෛද්‍යවරයා බව ජාතික ආරක්ෂක කවුන්සිලයට වාර්තාවී ඇත.

ඔඩ්ඩුසුඩාන්වල පසුගිය ජුනි 22 වැනිදා අසු වූ එල්.ටී.ටී.ඊ. කණ්ඩායම්වලට අයත් දිනේෂ්, කරන් කොටි ජාලයේ ප්‍රබල චරිතයක් ලෙස මෙම වෛද්‍යවරයා කටයුතු කර ඇතැයි හෙළි වී ති​බේ.

ඔඩ්ඩුසුඩාන් කොටි කණ්ඩායම යටතේ මෙහෙයවූ කණ්ඩායම් විසින් නවීකරණය කළ ස්නයිපර් අවියක් ඇතුළු ස්නයිපර් අවි දෙකක් ප්‍රභූ ඝාතනයකට යොදා ගැනීමට සූදානම් වූ බවට අනාවරණය වූ අතර එය වත්මන් ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ​ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට යෙද වූ බවට ද හෙළි විය. එම ඉලක්ක අතර නැගෙනහිර හිටපු කොටි සන්නද්ධ නායක කරුණා අම්මාන්ද වූ බව බුද්ධි අංශ හෙළි කර ගෙන තිබිණි.

ස්නයිපර් අවි ක්‍රියාත්මක කිරීම සඳහා වෙඩික්කරුවන් තෝරා ඇත්තේ මෙම වෛද්‍යවරයා බවට බුද්ධි තොරතුරු ඇති අතර ඔහු සී ෆෝ වර්ගයේ අධි බලැති පුපුරන ද්‍රව්‍ය ඉදිරි ප්‍රහාරයන් සඳහා එකතු කරමින් යන බවටද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට හා බුද්ධි අංශවලටද තොරතුරු ලැබී තිබිණි.

සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා විට සේවය කළේ යාපනය, පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙසය.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවකු ලෙස පුහුණු වීමේදී මෙම පුද්ගලයාට වියදම් කර ඇත්තේ කොටි සංවිධානය යැයි බුද්ධි අංශ කලින් හෙළි කරගෙන තිබිණි.

රිවිරැස මෙහෙයුමේදී තුවාල ලබන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හට ප්‍රතිකාර ලබාදීමද කර ඇත්තේ සිවරූබන් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කියයි.

යුද සමයේ කිලිනොච්චියට පැන සිටි ඔහු වන්නි අවසන් සටනින් පසු අවතැන් කඳවුරක සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි අයෙකි.

මෙම වෛද්‍යවරයා අල්ජසිරා රූපවාහිනියට ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කරන බවට ප්‍රකාශ පවා ලබාදී ඇත.

ස්විස් කොටි ජාලයේ වුවමනාවට ප්‍රභූ ඝාතනයක් සඳහා වෙර දරන බවට ඇති තොරතුරු මත මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන යාමට නියමිත විය.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස