තරුණයන් පැහැර ගැනීමට කරන්නාගොඩ සම්බන්ධ නෑ! මහින්ද ගෝඨා කොටි 12600ක් නිදහස් කළා!

March 4, 2019 at 11:58 am | by admin

නාවික හමුදාවේ හිටපු ප්‍රධානී වසන්ත කරන්නාගොඩ, රවීන්ද්‍ර විජේගුණරත්න මහත්වරුන් දරුවන් අතුරුදන් වීමේ සිද්ධියට සෘජු සම්බන්ධයක් නෑ. එ් අය යටතේ වැඩ කළ යම් යම් පිරිස් කළ අපරාධ නිසා ඔවුන්ට නොයෙක් අපහසුතාවලට ලක්වීමට සිදු වෙලා යැයි අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (28) බත්තරමුල්ල, ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“අපරාධ කළ පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතුයි. යුදමය තත්ත්වය යටතේ ඇති වූ සිද්ධිවලට සම්බන්ධ ආරක්ෂක අංශවල සහ කොටි සංවිධානයේ සිරගතව සිටින පුද්ගලයන්ට සමාවක් ලබා දිය යුතුයි. සංවිධානාත්මකව උතුරෙන් පන්නා දැමූ සිංහල සහ මුස්ලිම් ජනතාවට එම ප්‍රදේශවල නැවත පදිංචි වීමට අයිතිය තිබිය යුතුයි.”

“මේ ආණ්ඩුව බලයට පත් වූවාට පසු කිසිම ආකාරයක දේශපාලන ඝාතනයක් සිදු වී නෑ. මෙය යහපාලනය ලබා ගත් ජයග්‍රහණයක්. යුද ගැටුම් අවසන් වූවාට පසුව එවකට සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සත්‍ය ගවේෂණ සහ උගත් පාඩම් පිළිබඳ කොමිසම පත් කළා. යුද්ධයට පාදක වු ගැටලු විසඳීම සහ ඒවා නැවත ඇතිවීම පිළිබඳව නිර්දේශ ගණනාවක් එමඟින් ලැබුණා. එහි ප්‍රතිඑලයක් ලෙසම පරණගම කොමිසම, උදලාගම කොමිසම පත් කළා. යුද්ධය පැවති කාලයේ දමිළ ජනතාව, ආරක්ෂක අංශ සාමාජිකයන්, මුස්ලිම් ජනයා, සිංහල ජනයා අතුරුදන් වී තිබෙනවා. ඒවා ගැන සොයා බැලීම මේ කොමිසමෙන් සිදු කළා. එම කාලයේ සිදු වූ දේපළ හානි පිළිබඳව දිසාපතිවරුන් හරහා පුනරුත්ථාපන අමාත්‍යාංශයෙන් නිශ්චිත දත්ත එකතු කළා.”

“වත්මන් ආණ්ඩුව 19 සංශෝධනය ගෙනැවිත් ස්වාධීන මානව හිමිකම් කොමිසමක් පත් කළා. ඔවුන් ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ද යම් යම් විවේචනාත්මක පියවර ගෙන තිබෙනවා. අතුරුදන් වුවන් පිළිබඳව සොයා බැලීමේ කාර්යාලයක් ද ඇති කළා. වන්දි ගෙවීම් පිළිබඳව විවිධ පියවර ගෙන තිබෙනවා. පොලීසිය යම් ආකාරයකින් ස්වාධීනව ක්‍රියා කරන බව මෑත කාලයේ උදාහරණ තිබෙනවා. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු වෙනවා. නාවික හමුදාවේ හිටපු ප්‍රධානී වසන්ත කරන්නාගොඩ, රවීන්ද්‍ර විජේගුණරත්න මහත්වරුන් දරුවන් අතුරුදන් වීමේ සිද්ධියට සෘජු සම්බන්ධයක් නෑ. එ් අය යටතේ වැඩ කළ යම් යම් පිරිස් කළ අපරාධ නිසා ඔවුන්ට නොයෙක් අපහසුතාවලට ලක්වීමට සිදු වෙලා. මෙවැනි මට්ටමක තොරතුරු සෙවීමකට අපේ රට පැමිණ තිබෙනවා.”

“මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් යටි අරමුණක් සඳහා 12,600ක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිසිම සොයා බැලීමකින් තොරව නිදහස් කළා. එයින් අති විශාල ප්‍රමාණයක් යුද හමුදා බුද්ධි අංශයට බඳවාගෙන වැටුප් ගෙව්වා. එසේ කළේ ඡන්දය ජය ගැනීමටයි. එය සිදු වී මේ වන විට කාලයක් ගත වෙලා. ත්‍රස්තවාදය වැළැක්වීමේ නවීකාරක පනතක් කොටුම්පත් කර දැන් පාර්ලිමේන්තුව ඉදිරියේ තිබෙනවා. පසුගිය කාලයේ පැවැත් වූ මැතිවරණවල දී ජනතාව නිදහසේ ඡන්දය ලබා දුන්නා. උතුරේ ආර්ථිකය දකුණේ ආර්ථිකයත් සමඟ මිශ්‍රව ගමන් කරනවා.”

“පසුගිය තුවාල පාර පාර ඒවා ඉදිරියට ගෙන යෑමේ තේරුමක් නෑ කියන එකයි අපේ ස්ථාවරය. අතීතය අමතක කර අප ඉදිරියට යා යුතුයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, සම්බන්දන් මහතා, මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා. නමුත් හර්තාල්වලට සම්බන්ධ පිරිස් කියන්නේ හමුදාවට දඬුවම් ලබා දිය යුතු බවයි. සන්නද්ධ දමිළ කණ්ඩායම් දොරේඅප්පා ඝාතනය කළා අපට මතකයි. උතුරේ යුදමය ක්‍රියාදාමය ප්‍රධාන වශයෙන් සිදු කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ද නව දහසක් ඝාතන සිදු කළා. සිංහල දේශපාලනඥයන් රැසක් ද ඔවුන් අතින් ඝාතනය වුණා. සිංහල, මුස්ලිම් ජනතාව උතුරෙන් පැන්නුවා. දමිළ ජනතාව මිනිස් පළිහක් ලෙස යොදා ගත්තා.”

“මේ සියල්ල මනුෂ්‍යත්වයට එරෙහි යුද අපරාධ. අපි අහන්නේ මේ පුද්ගලන්ට දඬුවම් නැද්ද කියලා. එල්.ටී.ටී.ඊ. නායකයන් සහ නිදහස් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විශාල පිරිසක් මේ වන විට සිටිනවා. යුද අපරාධ කළා කියා ආරක්ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරන පිරිස්වලට අපි කියන්නේ එල්.ටී.ටී.ඊ.යේ එම පිරිස් ද අත්අඩංගුවට ගත යුතු බවයි. අද හර්තාල් කරන බොහෝ සංවිධාන එදා අවි ගත් පිරිස්. ඔවුන් ද එදා ඝාතන ක්‍රියාවලියේ නිරත වුණා.”

“දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අතින් ද එදා දකුණේ ජනතාව ඝාතනය වුණා. අතීතයට යුක්තිය ඉටු කරනවා නම් මේ සියලු දෙනාට නඩු පැවරිය යුතුයි. මේක ප්‍රායෝගිකව කරන් පුළුවන්ද. අතුරුදන්වූවන් පිළිබඳව දැන් සහතික නිකුත් කළ යුතුයි. අතුරුදන්වූවන් පිළිබඳව තව කොමිසන් වැඩක් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස