දකුණේ පාතාලයට ආර්පීජී අවියක් ආවේ ගෝඨාභය ඝාතනයටද? සාමි නැමැති එල්ටීටීඊ ත‍්‍රස්තයෙක් ගෝඨාභයට සමීපවෙන තැතක්! කොටි ඩයස්පෝරාව දැවැන්ත කුමන්ත්‍රණයක!

August 12, 2019 at 5:07 pm | by emanisa.lk

2015 ජනවාරි අටවැනිදා සිදු වූ පොදු අපේක්‍ෂක ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු පැවති ඊළඟ මහ මැතිවරණයට අනුව යහපාලනය ආරම්භ වූයේ එම වසරේ අගෝස්තු මස දහඅටවැනිදාය. ඒ අනුව ලබන දහඅටවැනිදාට යහපාලනය බිහිවී සිව් වසරකි. මේ සිව් වර්ෂ පූර්ණයට ඔන්න මෙන්න තිබියදී ඉකුත් සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලනය තුළින් සිදු වූ බරපතළ වරදක් නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබීය.

මෙසේ ජනාධිපතිවරයා නිවැරදි කරනු ලැබුවේ කුමක්ද? තිස් වසරක එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජයට පත් කළ ඉකුත් මානුෂීය මෙහෙයුමේදී යුද. ගුවන් නාවික යන ත්‍රිවිධ හමුදාවෝම රට වෙනුවෙන් කළ මෙහෙවර ඉතා ප‍්‍රශස්ථ එකක්ම වූහ. අප ලද විජයග‍්‍රහණයේදී ත්‍රිවිධ හමුදාව සිදු කළ කැපකිරීම් බොහෝ විය. එසේ වුවද යහපාලනය බලයට පැමිණීමෙන් පසුව ඒ වන විට කරළියේ පැවති රාජපක්‍ෂ වෛරය නිසාමදෝ යුද්ධයේදී යුද හමුදාවට නායකත්වය දුන් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට යුද හමුදාවක ලබාගත හැකි ඉහළම ධුරය ලබා දෙමින් ඔහුට ෆීල්ඞ් මාර්ෂල් ධුරය ගෞරවනීය ලෙස පිරිනමන්නට ආණ්ඩුව කටයුතු කළේය. ඒ අනුව සරත් ෆොන්සේකා මහතා මෙරට සිටින ඉහළම හමුදා නිලධාරියා බවට පත්විය. එහිදී නාවික සහ ගුවන් හමුදාවන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිළිය.

නාවික ගුවන් විරුවෝ විජයග‍්‍රාහී සටනේදී කළ මෙහෙවර ආණ්ඩුවට අමතක වී තිබිණි. ඒ වන විට සිය හමුදා ජීවිතයට සමුදී සිටි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යහපාලන දේශපාලනයේ පෙරගමන්කරුවකු බවට පත්ව සිටීමත්. සිරගත කිරීම වැනි සිදු නොවිය යුතු දේ හමුවේ යහපාලනයේ ආරම්භයත් සමග රාජපක්‍ෂ ක`දවුරට එලව එලවා පහර දීමට යොදාගත හැකි හොඳම තුරුම්පුවක් බවට ඒ වන විට සරත් ෆොන්සේකා පත්ව සිටීමත් මේ තෝරා ගැනීමට ප‍්‍රබල හේතුවක් වූවාද විය හැකිය. කෙසේ වෙතත් මේ අන්දමට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ෆීල්ඞ් මාර්ෂල් ධුරයට පත් කිරීමෙන් පසු දේශපාලන හැලහැප්පීම් මැද කාලය ගෙවී යත්ම ත්‍රිවිධ හමුදාව අරබයා ගත් කල සේනාධිනායකයා ලෙස තමන් අතින් නාවික හා ගුවන් හමුදාවට අවැඩක් සිදු වූ බව ජනාධිපතිවරයාට වැටහෙන්නට ඇති. එහිදී සිදුවූ වරද නිවැරදි කරන්නට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවශ්‍ය වුවද යහපාලන දීගයේ අනෙක් කොටස්කරුවා වූ එක්සත් ජාතික පක්‍ෂය තුළ නිදන්ගතව තිබූ ත්‍රිවිධ හමුදාව අරබයා වූ මිලිටරි අජීර්ණය සහ පොලිස් රාජ්‍යයක් බවට රට පත් කිරීමේ වුවමනාව සියල්ලට හරස් විය.

බැඳගත්ත බෙරේ ගැසිය යුතු තත්ත්වයක් පැවති නිසා ජනාධිපතිවරයාට සිදු වූයේ නිහඬ වන්නටය. එහෙත් දැන් යහපාලනය නැත. එනිසා කිසිදු බාධාවකින් තොරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සේනාධිනායකයා ලෙස මෙතෙක් ගත නොහැකිව තිබූ ඒ තීන්දුව නිවැරදිව ගෙන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට අද්මිරාල් ඔෆ් දි ෆ්ලීට් යන ගෞරවනීය ධුරයත් හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකට මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස් යන ගෞරවනීය ධුරයත් ඉකුත් සතියේදී පිරිනමනු ලැබීය.

ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමත් සමග සදාකාලිකව රණවිරු අජීර්ණයක පසුවන එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලනයට හොඳටෝම රිදෙන්නට ඇත. එහෙත් සිදුවිය යුතු නිවැරදි දේ දැන් සිදුව අවසන්ය. යුද හමුදාවක ලද හැකි උසස්ම නිලය වන තරු පහේ ෆීල්ඞ් මාර්ෂල් ධුරය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට හිමිවූවාක් මෙන්ම මේ වන විට හිටපු නාවික හමුදාපති අදමිරාල් වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් දි ෆ්ලීට් සහ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස් යන නාවික සහ ගුවන් හමුදාවක ලද හැකි උසස්ම ධුරයන් වන තරු පහේ ගෞරවනීය ධුරයන්ට පත්කර ඇත.

සේනාධිනායකයා ලෙස ත්‍රිවිධ හමුදාවම එක හා සමානව අගයමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තාක් මෙන් යහපාලනය සමග සිදු කෙරුණු තවත් නිවැරදි විය යුතු තැන් නැතිද? ඒ පිළිබ`ද සලකා බැලීමේදී නම් ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කළ යුතු තවත් බොහෝ දේ ඇත. ඉදිරියේදී මැතිවරණය සමයක් එළැඹෙන බැවින් එහි ඇති වැදගත්කම ද ඉතා ඉහළය.

යහපාලනයේ ආරම්භයත් සමග රටේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කැපවී සිටි යුද සහ නාවික බුද්ධි අංශ නිලධාරීන්ට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත තත්ත්වයෙන් දැන්වත් ඔවුන් බේරා ගැනීම ඉන් ප‍්‍රධානම තැනක ඇති කරුණකි. සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ මාලාවකින් අපට සංග‍්‍රහ කර අහිංසක මිනිසුන් 250 ට අධික පිරිසක් අමු අමුවේම ඝාතනය කරන තුරු බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරමින් ඒ නින්දිත දඩයම පසුගිය කාලයේ දිගින් දිගටම සිදුවිය. ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරයාම බුද්ධි අංශ අඩපණ කිරීම නතර කළ යුතු යැයි කියද්දීත් එකී දඩයම අඛණ්ඩව සිදු කෙරිණි. එය මේ මොහොතේද සිදුවන්නකි. එයින් දිනෙන් දින බි`ද වැටුණේ රටේ ජාතික ආරක්‍ෂාවය. එසේ ජාතික ආරක්‍ෂාව බි`ද වැටෙද්දී පසුගිය කාලයේ හිස ඔසවන්නට වෙර දැරූ පාර්ශ්වයන් දෙකක් තිබිණි.

ඉන් ප‍්‍රබලම කණ්ඩායම වූයේ මේ ප‍්‍රංශයේ ජීවත් වන එල්ටීටීඊයේ බුද්ධි අංශ ප‍්‍රබලයකු වූ විනයාගම් සහ නෙදියවන් ඉන්දියාවේ සිටින සිරංජි මාස්ටර් හරහා ක්‍රියාත්මක එල්ටීටීඊ ත‍්‍රස්තවාදය ය. යුදමය පරාජයෙන් පසුව එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් ඇතැම් ජාත්‍යන්තර ඔත්තු සේවාවන්හි රහසිගත සහයෝගයන් ද සමගින් යළි හිස ඔසවන්නට පසුගිය කාලයේ අවස්ථා හයකදීම උත්සාහ දැරීය.

ඉන්දියාවේ සිට ප‍්‍රහාරයකට සූදානම්ව මෙරටට පැමිණි ආනන්දරාසා නමැති එල්ටීටීඊ ත‍්‍රස්තවාදියකු වව්නියාව පුළියන්කුලම ප‍්‍රදේශයේදී ආරක්‍ෂක අංශවලින් බේරී බෝම්බ මල්ලක් අතහැර දමා පලා යෑම එම අවස්ථා හය අතරින් අවසන් අවස්ථාව විය. දෙවැනි කණ්ඩායම වන්නේ සහරාන් හෂිම් අප ඉදිරියට රැගෙන ආ මෙරට තුළ කි‍්‍රයාත්මක ඉස්ලාම් ත‍්‍රස්තවාදය ය. සහරාන් හෂීම් ඇතුළු තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන් බිහිසුණු ප‍්‍රහාරයක් එල්ල කර තිබියදී ඔවුන්ට වඩා එල්ටීටීඊයේ කි‍්‍රයාකාරීත්වය ප‍්‍රබල බව අප කියනුයේ කුමක් නිසාදැයි මෙහිදී දැන් කෙනකුට ගැටලුවක් මතු විය හැකිය. සහරාන් ඇතුළු තව්හිද් ජමාත් ත‍්‍රස්තයන් බිහිසුණු ප‍්‍රහාරයක් එල්ල කළ බව සැබෑවකි. එහෙත් ඉන් එහාට ගිය ඊළඟ ප‍්‍රහාරයක සාර්ථක සැලසුමක් ඔවුන්ට නොවීය.

යුද පරාජයන් පසු හත් වතාවක් යළි නැගී සිටීමට උත්සාහ දැරූ එල්ටීටීඊයේ ක්‍රියාකාරීත්වය ඇත්තේ ඊට එහා ගිය තැනකය. එකී හය වතාවෙන් පස් වතාවක්ම එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් ක්‍රියාත්මක වී තිබුණේ විදේශීය ඔත්තු සේවාවන්ගේ සහාය ද ඇතිව කොටි ඩයස්පෝරාවේ ම`ග පෙන්වීම යටතේ ජාත්‍යන්තරය දක්වා විහිදී ගිය සැලසුම් අනුවය. තව්හිද් ජමාත් ඉස්ලාම් ත‍්‍රස්තවාදයේත් එල්ටීටීඊයේත් වෙනස ඇත්තේ එතැනය. ඉකුත් 2012 වසරේ තිරිකුණාමලයේදී සිදු වූ යුද හමුදා ඔත්තුකරුවකු වූ ඊපීඩීපී මුත්තු ඝාතනයේ සිට 2015 වසර දක්වා එල්ටීටීඊය මෙසේ නැගී සිටීමට ගත් උත්සාහයන් තුනක් ආරම්භයේදීම සුණු විසුණු කිරීමට එදා අපේ ආරක්‍ෂක අංශවලට හැකි විය. එහෙත් 2015 වසරේ යහපාලනය බලයට පැමිණීමත් සමග ඒ සියල්ල බිඳ වැටිණි. ඉකුත් 2018 වසරේ ජුනි මාසයේදී ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ඔඞ්ඩුසුඩාන් ප‍්‍රදේශයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි ත‍්‍රස්තවාදීන් පිරිසක් අහම්බයකින් මෙන් මාර්ග ආරක්‍ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට කොටුවිය.

එසේම 2018 නොවැම්බර් මාසයේදී මඩකලපුව වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු අමානුෂික ලෙස ඝාතනය කෙරිණි. මේ සිදුවීම තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන් සිදු කළ බව කියැවෙමින් තිබුණද රාජ්‍ය බුද්ධි සේවය සහ නාවික බුද්ධි සේවය මෙන්ම යුද හමුදා බුද්ධි සේවය ඒ පිළිබ`ද සිදු කළ විමර්ශනයකදී මෙහිදී එල්ටීටීඊය සහ සහරාන් හෂීම් ඇතුළු තව්හිද් ජමාත් කල්ලිය සමග යම් සබඳතාවක් තිබූ බවටද තොරතුරු අනාවරණය විය. කිසියම් ප‍්‍රහාරයක් සදහා ඉන්දියාවේ සිට පැමිණි ආනන්දරාසා නමැති කොටි ත‍්‍රස්තවාදියා පුලියන්කුලම ප‍්‍රදේශයේදී බෝම්බ මල්ලක් අතහැර දමා පලා යන්නේ මෙම 2019 වසරේ ජනවාරි මාසයේදීය. මේ වන විට සිදුවෙමින් තිබූ දඩයම හමුවේ බුද්ධි අංශ තිබුණේ අඩපණවය. එනිසා මෙම සිදුවීම් ත්‍රිත්වය ආරම්භයේදීම විනාශ කර දමන්නට ආරක්‍ෂක අංශවලට නොහැකි විය. පසුව රාජ්‍ය බුද්ධි සේවය සහ යුද. නාවික බුද්ධි අංශ එක්ව මෙම සිදුවීම් පිළබඳ පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. එහිදී හෙළිදරව් වූයේ කුමක්ද? හෙළිදරව් වූ බරපතළම කාරණය වූයේ ඔඩ්ඩුසුඩාන් සිද්ධියේදී එල්ටීටීඊය විසින් සඟවා තබා ගොඩගනු ලැබූ ස්නයිපර් අවි දෙකක් අතුරුදන්ව තිබෙන බවය.

එය මඩකලපුව ප‍්‍රදේශයේ ජීවත් වූ එල්ටීටීඊයේ ස්නයිපර් විශේෂඥයකු වන ඉලක්කියන් මාස්ටර් අතට පත්වූ බව පසුව හෙළි වුවද ඒ වන විටත් ඉලක්කියන් මාස්ටර්ද ප‍්‍රදේශය අතහැර අතුරුදන්ව සිටියේය. මේ ඉලක්කියන් මාස්ටර් අදටත් සිටින්නේ කොතැනකදැයි කිසිවෙක් නොදනිති. එසේම මෙකී බුද්ධි මෙහෙයුමේදී හෙළි වූ ඊළඟ වැදගත්ම කාරණය වූයේ ගනේමුල්ල සංජීව නමැති පාතාල ප‍්‍රබලයා හරහා එල්ටීටීඊය දකුණ් පාතාලයට සම්බන්ධ වී තිබෙන බවය. මේ බව හෙළිවීමත් සමග කොළඹ අපරාධ කොට්ඨාසයේ ද සහාය ලබාගෙන හඳුනාගත් එල්ටීටීඊ සාමාජිකයන් සහ දකුණේ පාතාලයන් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ ක්‍රියා කළේය. අතිශය භයානකම කරුණ අනාවරණය වූයේ එසේ අත්අඩංගුවට ගත් කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදීය.

ඒ වන විටත් හින්දු පූජකයකුගේ වෙසින් පෙනී සිටි සාමි නමැති එල්ටීටීඊ ත‍්‍රස්තවාදියකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය හරහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සමීපව සිටින බව එහිදී අනාවරණය විය. පසුව මේ කියන සාමි නමැති ත‍්‍රස්තවාදියා සමග එල්ටීටීඊයේ හිටපු තවත් ප‍්‍රබල ත‍්‍රස්තවාදියකු වන වේන්දන් ඇතුළු ත‍්‍රස්තවාදීන් කිහිප දෙනකු සහ එල්ටීටීඊය සමග සබඳතා පැවත්වූ දකුණේ පාතාලයන් පිරිසක් ද අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක බුද්ධි අංශ සහ පොලිසියට හැකි විය. එය සිදු වූයේ ඉකුත් 2019 වසරේ මුල් කාලයේදීය. මෙකී සාමි නමැති ත‍්‍රස්තවාදියා පොදුජන පෙරමුණේ දේශපාලනය හරහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සමීප වී තිබුණේ ඉකුත් 2018 වසරේ පෙබරවාරි මාසයේදී පැවති පළාත් පාලන මැතිවරණ සමයේය. යහපාලනය බලයට පැමිණීමත් සමග සිදු වූ බුද්ධි අංශ දඩයමේදී බුද්ධි නිලධාරීන්ට චෝදනා එල්ල වූ සෑම විමර්ශනයකදීම අවසාන ඉලක්කය බවට පත්ව සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂය. එහෙත් උත්සාහය කොතෙක් ප‍්‍රබල වුවද ඒ සියල්ල එකින් එක ව්‍යර්ථ වී ගියේය. එවන් වටපිටාවක් තුළ 2018 පෙබරවාරි වන විට සාමි නමැති එල්ටීටීඊ ත‍්‍රස්තවාදියා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සමීප වූ අරමුණ කුමක් විය හැකිද? ගෝඨාභය රාජපක්‍ෂ මහතා 2020 ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ අපේක්‍ෂකයා වීම ඔහු ඝාතනය කිරීමෙන් හෝ වැළැක්වීම මෙහිදී සාමිගේ අරමුණ වී තිබුණේද? සාමි නමැති ත‍්‍රස්තවාදියා මෙහෙයවා තිබුණේ කොටි ඩයස්පෝරාව විසින් බවද මෙහිදී හෙළිවී තිබිණි. එසේ නම් කොටි ඩයස්පෝරාව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමකට අනුව සාමි නමැති කොටියා ඔහු සමීපයට එව්වේද?

මේ අතරේ මීට සති දෙකකට පමණ ඉහතදී අනාවරණය වූ තවත් කරුණක් වූයේ දකුණේ ගාල්ල පාතාලයට පාකිස්තානයේ සිට ආර්.පී.ජී. වර්ගයේ බිහිසුණු අවි දෙකක් සහ ටී. 56 ගිනි අවි දහයක් සමග රිවෝල්වර 10 ක්ද ලැබුණු බවකි. ගාල්ල ඌරුබොක්ක ප‍්‍රදේශයේ පාතාල ප‍්‍රබලයකු වන මයිකල් නමැත්තකු අතට මෙම අවි තොගය ලැබුණු බවද වාර්තා වූ අතර මේ පිළිබඳ කිසිදු තොරතුරක් මේ දක්වා හෙළිදරව් වී නැත. මෙකී අවි තොගය ලැබීමේ කතාව හෙළි වන්නේ ද දකුණේ පාතාලය සහ එල්ටීටීඊය අතර සබඳතාවක් ගොඩ නැගී තිබෙන වටපිටාවක් තුළය. කලකට ඉහත දකුණේ පාතාලයට සම්බන්ධ වූ ප‍්‍රබල එල්ටීටීඊ සාමාජිකයකු ඝාතකයෙක් ලෙස කටයුතු කළ බව ද අනාවරණය විය.

සියල්ල මෙවන් තත්ත්වයක තිබියදී අද රටේ ආරක්‍ෂක අංශවල ප‍්‍රධානම කාර්යය වී තිබෙන්නේ සහරාන් හෂීම් පසුපස හඹා යෑමය. එය සිදුවිය යුතු දෙයකි. එහෙත් එකම සහ ප‍්‍රමුඛම කාර්යය විය යුත්තේ එය පමණක්ද? අද දවසේ කොටි ඩයස්පෝරාව ඇතුළු එල්ටීටීඊ පාර්ශ්වයන්හි ප‍්‍රකාශිත කරුණ වී තිබෙන්නේ එල්ටීටීඊය පාවා දුන් සහ එල්ටීටීඊයට එරෙහි වූ කරුණා අම්මාන්. පිල්ලෙයාන් ඇතුළු පිරිස් ඝාතනය කළ යුතු යන්නය. එහෙත් ප‍්‍රකාශිත ඉලක්කය එය වුවද සැබෑ ඉලක්කය ඊට හාත්පසින්ම වෙනස් එකක් විය හැකිය.

එය සපුරාගනු වස් මේ මොහොත වන විටත් එල්ටීටීඊ ඩයස්පෝරාව ඇතුළු පාර්ශ්ව විදේශීය ඔත්තු සේවාවන්හි සහාය ද ලබාගෙන ඉන්දියාවට කේන්ද්‍රගත වූ සැලසුමක් දියත් වෙමින් තිබෙන බවක් කියැවෙමින් ඇත. එසේ නම් මේ දියත් වෙමින් තිබෙන්නේ අද දිනයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වයේ වරම් ලබා මේ රටේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වනු ඇතැයි අති බහුතරය විශ්වාස කරනු ලබන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ එල්ටීටීඊ කුමන්ත‍්‍රණයක්ද? එසේ නොමැති නම් ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ හමුදා නායකත්වයන් ඝාතනය කර සියල්ල උඩුයටිකුරු කිරීමේ සැලසුමක්ද?

අප අද සියල්ල අමතක කර සහරාන් හෂීම් පසුපස යද්දී රට තුළ ජාතීන් අතර ගැටුමක් නිර්මාණය කර සිය ඉලක්ක සපුරා ගැනීම සඳහා සහරාන් හෂීම් ඇතුළු තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදයේ බිහිසුණු ප‍්‍රහාරයක් අපට එල්ල වූයේ මෙවන් වූ විජාතික කුමන්ත‍්‍රණයක් නිසාද විය හැකිය. මේ සියල්ලට පිළිතුරු සෙවීමට නම් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් බුද්ධි අංශවලට නිරවුල්ව කටයුතු කිරීමට හැකි වටපිටාවක් ඇති කරන්න යැයි අප ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට කියනුයේ අද රට ඉදිරියේ ඇති මේ අවසන් කඩඉම නියත වශයෙන්ම ජයගත යුතුව තිබෙන නිසාය.

සමන් ගමගේ
දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස