ඉස්ලාම්වාදය සහ රෙජීම් change

May 11, 2019 at 10:54 am | by admin

ඉස්ලාම් යනු ඒකදේවවාදී ආගමකි. ඉස්ලාම් ආගම ලියා ඇති පොත කුරාණයයි. ඉස්ලාම්වාදය (Islamism) යනු දේශපාලන මතවාදයකි. එනම් ඉස්ලාම් ආගමේ එන ෂරියා නීතිය යටතේ පාලනය වන සහ ඉස්ලාම් ආගමේ ඉගැන්වෙන සමාජ සංස්කෘතික නිර්ණායකයන් විසින් මෙහෙයවන ඉස්ලාමීය රාජ්‍යයක් (Islamic State) නිර්මාණය කිරීමයි.

ඉස්ලාම් ආගම අදහන්නන් මුස්ලිම්වරුන්ය. ඇතැම් මුස්ලිම්වරු තම ආගමික ඉගැන්වීම් මධ්‍යස්ථව විශ්වාස කරන්නන්ය (moderate Muslims). ඇතැමුන් කුරානයේ ඉගැන්වීම් අකුරට පිළිපදින මූලධර්මවාදීන්ය (Islam fundamentalists). ඉස්ලාම්වාදය විශ්වාස කරන්නන් ඉස්ලාම්වාදීන්ය (Islamists). ඉස්ලාම්වාදය ආන්තික උමතුවක් කරගත් අය ඉස්ලාම්වාදී අන්තවාදීන්ය (Islamist extremists). ඉස්ලාම්වාදය ත්‍රස්ත ක්‍රියා වලින් සාක්ෂාත් කරගැනීමට උත්සාහ දරන්නන් ඉස්ලාම්වාදී ත්‍රස්තවාදීන්ය (Islamist terrorists).

මෙම පිරිස් වෙන්කර හඳුනා ගැනීම අපහසු වන්නේ ඉස්ලාම් ආගම සහ ඉස්ලාම්වාදය එකිනෙකට බැඳී පවතින නිසාය. නමුත් සියලු මුස්ලිම්වරුන්, මූලධර්මවාදීන්, ඉස්ලාම්වාදීන්, ඉස්ලාමාන්තවාදීන් හෝ ත්‍රස්තවාදීන් නොවන බව මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට අද තිබෙන ලොකුම අභියෝගය එකී වෙනස තමන්ම සොයා ගැනීමත් එය මුස්ලිම් නොවන අයට පසක් කර දීමත්ය. තවම නම් ඔවුන් එය කරන බවක් පෙනෙන්නට නැත.

– රෙජීම් change යනු කලාවක් නම් ඇමරිකාව එහි පිකාසෝ වේ

ඇමරිකාව පළමුවරට රෙජීම් change එකක් කරන්නේ හවායි රාජ්‍යයේදීය. හවායි රැජින නෙරපා දමා එතෙක් නිදහස්ව පැවති හවායි රාජ්‍යය 1898 දී ඇමරිකා එක්සත් ජනපදයේ කොටසක් බවට ඈඳා ගැනීම සාර්ථක ව්‍යාපෘතියක් විය. එතැන් සිට අද දක්වා වෙනත් රාජ්‍යයන්වල ආණ්ඩු මාරු කිරීම ඇමරිකාවේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්තියයි. ඇමරිකානු රෙජීම් change ව්‍යාපෘති ලැයිස්තුව ඉතා දිගය. ඒක වෙන වෙලාවක ලියන්නම්.

මෙම ලිපිය සඳහා වැදගත් වන්නේ “ඇෆ්ගනිස්ථාන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ” 1979 සිට 1989 දක්වා සිදු කළ රෙජීම් change ව්‍යාපෘතියයි. ඒ ඇෆ්ගනිස්ථානය ඉස්ලාම් රාජ්‍යයක් වීමට පෙරයි. ඒ ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල් සහ සමාජවාදී සෝවියට් ජනරජ සංගමය (Union of Soviet Socialist Republics – USSR) අතර පැවති සීතල යුද්ධයේ (Cold War) අවසාන දශකයයි. ඒ ශ්‍රී ලංකාවේ LTTE ත්‍රස්තවාදය ව්‍යාප්ත කරමින් තිබූ එජාපයේ අවිචාර යුගයයි.

ඇෆ්ගනිස්ථානයේ ඇති වෙමින් තිබූ සමාජවාදී විප්ලවයට සෝවියට් සංගමය සහාය දෙමින් තිබිණි. ඇෆ්ගනිස්ථානය හරහා ඉන්දියන් සාගර කලාපයට බලපෑම් කිරීමට සෝවියට් සංගමයට හැකි වීම ඇමරිකාවට සහ බ්‍රිතාන්‍යට එතරම් රිස්සුවේ නැත. එය හරියට ශ්‍රී ලංකාව හරහා ඉන්දියන් සාගර කලාපයට බලපෑම් කිරීමට චීනයට හැකි වීම අද ඇමරිකාවට රුස්සන්නේ නැතිවාක් මෙනි.

– ඉස්ලාම්වාදය රෙජීම් change උපක්‍රමයක් ලෙස යොදා ගැනීම

ඇෆ්ගන්-සෝවියට් යාළුකම නොරිස්සූ අසල්වැසියා පකිස්ථානයයි. එය හරියට අද ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය නොරිස්සන අසල්වැසියා ඉන්දියාව වීම වැනිය. ඇමරිකාව එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් පකිස්ථාන බුද්ධි අංශය හරහා ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාම්වාදී කල්ලි නිර්මාණය කරන්නට විය.

එම ඉස්ලාම්වාදීන් හැඳින්වූයේ මුජහිදීන් (Mujahideen) යනුවෙනි. එහි තේරුම “ජිහාඩයේ යෙදෙන්නා” යන්නයි. ජිහාඩ් යනු ඉස්ලාම් ආගමට විරුද්ධවාදීන් සමග කරන සටනයි. ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) විසින් ක්‍රියාත්මක කළ “කුණාටු මෙහෙයුම” (Operation Cyclone) නමින් හැඳින්වූ එම රෙජීම් change ව්‍යාපෘතිය සඳහා අවිගත් මුජහිදීන් ඉස්ලාම්වාදී කල්ලිවලට සහාය දැක්වූ තවත් ඇමරිකානු සගයෙක් විය. ඒ සෞදි අරාබියයි.

ඇමරිකාව සහ සෞදිය එක්ව ඩොලර් බිලියන ගණනක් මෙම රෙජීම් change ව්‍යාපෘතියට ආයෝජනය කර තිබේ. ඇමරිකානු අවි ආයුධ, යුධ පුහුණුව සහ මුජහිදීන් නායකයන්ට පිරිස් බඳවා ගැනීමට සන්තෝසම් ලෙස ඩොලර් කුට්ටි ලෙස එම මුදල් ආයෝජනය කෙරිණි. තලිබාන්, අල්-කයීඩා සහ අයිසිස් ඇතුළු සියලු නූතන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ උපත එසේ සිදු විය.

– ඇෆ්ගනිස්ථානයේ විනාශය

මුජහිදීන් කල්ලි ඇෆ්ගනිස්ථානය තුළ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළේය. ඇෆ්ගන් ආණ්ඩුවේ කුළල් කා ගැනීම් උත්සන්න විය. සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටි ජනපති ටරාකි හුස්ම හිර කර මරා දැමූ අගමැති අමීන් විසින් ඉස්ලාම්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට විය. සෝවියට් හමුදාවේ සහාය ඇතිව ඇෆ්ගන් හමුදාව 1979 දී දියත් කළ මෙහෙයුමෙන් අමීන් ඝාතනය කෙරිණි. එය රාජ්‍යවිරෝධි හමුදා කුමන්ත්‍රණයක් ලෙස දඩමීමා කරගත් ඇමරිකාව සමස්ථ බටහිර ලෝකය සහ මැදපෙරදිග රටවල් සෝවියට් සංගමයට සහ ඇෆ්ගන් ආණ්ඩුවට විරුද්ධව පෙළගැස්වීය.

යහමින් විදේශ ආධාර සහ අවි ආයුධ මෙන්ම වෙනත් අරාබි රටවලින් රොතු පිටින් බඳවා ගත් මුජහිදීන් ඉස්ලාම්වාදී ත්‍රස්ත කල්ලි ඇෆ්ගනිස්ථානය කාබාසිනියා කරන්නට විය. ඔවුන්ට විරුද්ධව සටන් කළ සෝවියට් හමුදාවට අවසානයේ 1989 දී ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වන්නට සිදු විය. ඇමරිකාවට අවශ්‍ය කළ දේ සිදු විය. ඉන්දියන් සාගර කලාපයේ සෝවියට් බලපෑම පරාජය විය. නමුත් ඇෆ්ගනිස්ථානය ඇවිළෙමින් තිබිණි. ජනපති නජිබුල්ලා පසුබා ගියේය.

මුජහිදීන් ඉස්ලාම්වාදී කල්ලි වලට ආණ්ඩු කිරීමට එකඟතාවයකට ඒමට නොහැකි විය. ඔවුන් මිනිසුන් මරමින්, කොල්ලකමින්, ගැහැණුන් දූෂණය කරමින් ඇෆ්ගනිස්ථානයේ යකා නටන්නට විය. මේ අපරාධය ඇති කළ ඇමරිකාව නොදැක්කා සේ සිටියේය. අවසානයේ ප්‍රබල මුජහිදීන් කල්ලියක් වන ‘තලිබාන්’ (තලිබ් යනු ශිෂ්‍යයන්ය) විසින් එතෙක් පැවති ඇෆ්ගනිස්ථාන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය 1996 දී ඇෆ්ගනිස්ථාන් ඉස්ලාමීය රාජ්‍යය ලෙස නම් කෙරිණි. 2001 ඓතිහාසික බාමියන් බුද්ධ ප්‍රතිමාවලට ඩයිනමයිට් දමා පුපුරුවා හැරියේ එම තලිබාන් ආණ්ඩුවයි.

– රෙජීම් change වසන්ත සැණකෙළිය

2001 ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණුවලට මරාගෙන මැරෙන ගුවන් යානා ප්‍රහාර දියත් කළ ඔසාමා බින් ලාඩෙන් සිය ජිහාඩය ආරම්භ කරන්නේ ඇෆ්ගනිස්ථානයේ මුජහිදීන් කෙනෙකු ලෙසයි. සිය කෝටිපති පියාගේ මුදලින් ඔහු පිහිට වූ මුජහිදීන් කල්ලිය ‘අල්-කයීඩා’ (පදනම) ලෙස හැඳින්වේ.

එම ප්‍රහාරය දඩමීමා කරගත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය අසත්‍ය බුද්ධි අංශ වාර්තා නිර්මාණය කර 2003 දී ඉරාකය ආක්‍රමණය කර සදාම් හුසේන්ගේ ආණ්ඩුව පෙරළා දමා ඉරාක තෙල් ලිං කොල්ල කන ලදී. එයින් ඇරඹෙන මැදපෙරදිග අස්ථාවරත්වය දඩමීමා කරගෙන ඔවුන් 2010 න් ඇරඹෙන අරාබි වසන්තය හෙවත් ෆේස්බුක් විප්ලවය ලෙස හැඳින්වෙන රෙජීම් change සැණකෙළිය නිර්මාණය කරයි. එම මහා රෙජීම් change ව්‍යාපෘතිය ගැන වෙනම ලියන්නම්.

මා දකින හැටියට එම රෙජීම් change සැණකෙළියේ ඊළඟ පුරුක ශ්‍රී ලංකාව විය යුතුය. ඇමරිකාවට නුරුස්සන නායකයෙකුට ඉතිරිව සිටියේ මහින්ද රාජපක්ෂයි. චීනය විසින් ශ්‍රී ලංකාව හරහා ඉන්දියන් සාගර කලාපයට බලපෑම් කිරීම ඇමරිකාවට සහ ඉන්දියාවට බරපතල භූදේශපාලන ගැටලුවක්ව තිබිණි. මහින්ද ඉවත් කොට, රාජ්‍යය දුර්වල කර, චීන බලපෑම පරයා ඇමරිකන් බලය මේ කලාපයේ ස්ථාපිත කිරීම එහි අරමුණ විය.

ඉස්ලාම්වාදීන් සහ ත්‍රස්තවාදීන් ඉබේ බිහිවන්නේ නැති බව ඔබට දැන් පැහැදිලි විය යුතුය. ඉතා සැලසුම් සහගතව, ඩොලර් සහ කාලය ආයෝජනය කරමින් ඔවුන් බිහිකරන්නේ කවුද, කුමක් සඳහාද කියාත් ඔබට පැහැදිලි විය යුතුය. දැන් සිදු වෙමින් පවතින්නේ යහපාලන රෙජීම් change ව්‍යාපෘතියේ අනපේක්ෂිත විකෘතියක්ද? නැතිනම් එම රෙජීම් change එකේම Plan B දිගුවද? ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ සිනාමුසු මුහුණු වල එය ලියැවී තිබේ යැයි මට සිතේ.

එරන්ද ගිනිගේ

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස