එංගලන්තය අපට චෝදනා නැඟීමට පෙර සිංහලයාට කළ අපරාධවලට සමාව ගත යුතුයි! හොරකම් කරගෙන ගිය පුස්කොළ පොත් සහ වනස්තුව නැවත ලබා දිය යුතුයි!

March 22, 2019 at 8:12 am | by admin

මේ රටට කඩාපාත් වී සිංහල ජනගහනයෙන් සියයට හතක් මරා දමා ජාතිය සංහාරය කළ එංගලන්තය අපෙන් සමාව ගෙන හොරකම් කරගෙන ගිය පුස්කොල පොත් සහ සෙසු වස්තුව ලබා දිය යුතු යැයි විශ්‍රාමික රියද් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ජර්මනිය ඇතුළු රටවල් පහක් ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ගෙන එන දෙවන ජිනීවා යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා ගෝළීය සංසදය වෙනුවෙන් ජිනීවා සැසියේ දී විශ්‍රාමික රියද් අද්මිරාල්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මෙම යෝජනාව ගෙන එන්නේ එංගලන්තය සහ ජර්මනිය. බලන්න දෙබිඩි පිළිවෙත. එක් අතකින් එංගලන්තය අපේ රණවිරුවන්ට යුධ අපරාධ චෝදනා ගේනවා.

අනෙක් අතින් කොටි මරාගෙන මැරෙන කාන්තාවන් පුහුණු කළ ඇඩරියලා බාලසිංහම් ආරක්ෂා කරනවා. ඇමරිකාව අපිව ජාත්‍යන්තර යුද අධිකරණයට යවන්න හදනවා. නමුත් ඔවුන් හා ඇමරිකානු සෙබලුන්ට විරුද්ධව පරීක්ෂණ කරන ජාත්‍යන්තර යුද අධිකරණයට දඩුවම් දෙනවා.

එංගලන්තයට කිසිම අයිතියක් නැහැ මානව හිමිකම් උල්ලංඝනය ගැන අපිට කතා කරන්න. ඔවුන් අපව ආක්‍රමණය කරලා නිදහස වෙනුවෙන් සටන් කළ අපේ මුතුන් මිත්තන් අනුකම්පා විරහිතව මරා දැම්මා. රොබට් බ්‍රවුන්රිග් මවගේ තනයෙන් කිරි උරාබොන කිරි කැටියන්ගේ සිට සියලුම තරුණයින් මරා දැම්මා. සිංහල කාන්තාවක් දූෂණය කළා. පලතුරු ගස්, කුඹුරු ,වැව් විනාශ කළා. වෛද්‍ය ජෝන් ඩේව් කියනවා සිංහල ජනගහනයෙන් සියයට හතක් බ්‍රිතාන්‍යයන් විසින් මරා දැමූ බව.

ලූතිනන් මැක්ලේන් කුප්‍රකට වුණේ හැම දාම උදේ ආහාර ගන්නා විට ඔහු සිංහලයෙක් එල්ලා මරා දමනවා බලන්න කැමති නිසා. කර්නල් හුක් කිසිම විභාගයක් නැතිව සිංහලයින් එල්ලා මරන්න අණ කළා.

අපි කියා සිටිනවා එංගලන්තයට අපට වගවීම් ගැන උපදෙස් දෙන්න පලමු අපෙන් සමාව අයැද අපෙන් පැහැරගත් පුස්කොළ පොත් සහ වස්තුව නැවත අපට බාරදිය යුතුයි කියා.

වින්ස්ටන් චර්චිල් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මාණුවන් මිලියන දෙකක් හාමතේ තබා මරා දැම්මා. දැන් ජර්මනිය එංගලන්තය සමග එකතු වෙලා අපට යුධ අපරාධ චෝදනා කරන එක හාස්‍යයට කරුණක්. මෙය කුහකකම මිස වෙන දෙයක් නොවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස