ඡන්ද තියන්න නම් ඉඩදෙන්න එපා! පාඨලිත් ශ්‍රේෂ්ඨාධිකරණෙට… සහයට වෙල්ගම…

May 9, 2020 at 7:14 pm | by emanisa.lk

මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇත තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබූහ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා,  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කර ඇත.

විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම මගින් පෙත්සම්කරුවන් සඳහන්  කර ඇත්තේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත්  මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බව ද පෙත්සමේ සඳහන් වේ.

එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවූ බැවින් එය ලබන  ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය  කර ඇතැයිද පෙත්සම්කරුවන් කියා සිටිති.

මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවද එම පෙත්සමේ සදහන් වේ.

එමෙන්ම කොරෝනා වසංගතය තවමත් පාලනයකට නතු වී නොමැති හෙයින් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පවත්වනු ලැබූවොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වනු ඇති බවත් ඒ හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරී යනු ඇතැයි ද පෙත්සම්කරුවන් කියා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස