ඇල්පිටිය පැරදුණේ එජාපයේ බැරිකමට නෙමේ ගයන්තගේ බැරිකම නිසා! – රනිල් පිලෙන් සජිත් පිලට චෝදනා….

October 12, 2019 at 10:47 am | by emanisa.lk

ඊයේ (11) පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් බලාපොරොත්තු වූ ලෙසම එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයක් අත්පත් කරගත්තේය. පෙරේදා ගෝල්ෆේස් පිටියට හැමූ සජිත් සුළඟේ සලකුණක්වත් ඇල්පිටියේදී පෙන්නුම් කෙරුණේ නැත.

ඇත්තෙන්ම එක්සත් ජාතික පක්ෂය සිටියේ ඇල්පිටිය ඡන්දය අතැර දමාය. ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පැවති බල අරගල සමයේදී රනිල්-සජිත් දෙපාර්ශ්වයම ඇල්පිටිය පන්දුව එකිනෙකා වෙත යොමු කරගනිමින් සිටි අතර සජිත්ට අපේක්ෂකත්වය හිමි වූ දිනයේත් ඇල්පිටිය පිළිබඳ මාතෘකාව සාකච්ඡාවට ගැනුණු නමුත් එදින ද තීරණය වූයේ ඇල්පිටිය ඡන්දය අතැර දමා සජිත්ගේ පළමු ජනරැලිය සාර්ථක කරගැනීමට සම්පූර්ණ ශක්තිය යෙදවීමටය.

කෙසේවෙතත් ඇල්පිටියේදී ලද අමිහිරි පරාජය සම්බන්ධ වගකීමෙන් මිදෙන්නට ඇල්පිටිය එජාප සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාට හැකියාවක් නැත. පක්ෂය තුළ කුමන අරගල පැවතියත් තම ආසනය රැකගන්නට ඔහු සමත් විය යුතුය.

එහෙත් ඇත්තටම සිදුවී තිබුණේ අද ඊයේක සිට නොව පසුගිය වසර ගණන පුරාවටම ගයන්ත විසින් ඇල්පිටිය අතැර දමා තිබීමය. කැබිනට් ඇමතිවරයකු වශයෙන්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කරනවා නම් ඕනෑ තරම් දේවල් ඇල්පිටියට කරන්නට ගයන්තට හැකියාව තිබිණි. එහෙත් ඔහුට නොමැතිව තිබී ඇත්තේ වුවමනාවයි. අවම වශයෙන් ඇල්පිටියට නිසි බස් නැවතුමක්වත් ඉදිකර නොදුන් ඇමති කෙනෙකුට ඇල්පිටියෙන් 24%ක් හෝ ලබාදීම ගැන ඇල්පිටියේ එජාප පාක්ෂිකයින්ට එජාප නායකයින් පින් දිය යුතුය. ගයන්තගේ බාප්පා වූ රූපා කරුණාතිලකගේ සමයේ එජාපයට ඇල්පිටියේ තිබුණු පදනම අද සම්පූර්නයෙන්ම සෝදාපාළුවට ලක්ව තිබේ.

සිදුවූ දෙය සිදුවී හමාරය. පෙරේදා දිනයේදී ගෝල්ෆේස් රැලියෙන් රටම හොල්ලාගෙන සිටි එජාපය ඊයේ දිනයේදී ඇල්පිටියෙන් බිංදුවට වැටිණි. මීටපෙර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පුරවැසිභාවය පිළිබඳ නඩු තීන්දුවෙන් ලද ජයග්‍රහණය ද අල්ලාගෙන සිටියේ එක් දිනක් පමණි. සුදුවෑන් චෝදනාවලින් ඒ ජය හේදී ගියේය. මේ ජනාධිපතිවරණයේ ස්වභාවය ද මෙයයි. මෙහි දිනපතා ජයග්‍රහණ හිමිවනු ඇත. දිනපතා ජයග්‍රහණ අහිමි වනු ඇත.

නමුත් හරියට ඉගෙන ගන්නේ නම් මේ පාඩම ද ප්‍රමාණවත්ය. ගම්මට්ටමේ බිම්මට්ටමේ ඡන්ද රණසිංහ ප්‍රේමදාස මහතාගේ නාමයෙන් නිරායාසයෙන්ම සජිත්ට පෝළිමේ ඉබේ වැටෙනු ඇතිය යන මිත්‍යාවෙන් අවදි වී, අධිතක්සේරුවෙන් මෑත්වී තමන්ගේ දුර්වලතා, තම දුර්වල ආසන සංවිධායකින් නිසා සිදුව ඇති හානි තක්සේරු කර ඒවාට පක්ෂ යාන්ත්‍රණය වශයෙන් වහා විසඳුම් යොදන්නේ නම් තවත් දින 35ක කාලයක් එජාපයට ඉතිරි වී තිබේ.

තමන්ගේම වාගාඩම්බරවලට තමන්ම වශී නොවී යථාර්ථය වටහා ගන්නේ නම් තවමත් පමා නැත.

LNW

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස