“ආණ්ඩුවේ බහුතර මන්ත්‍රී පිරිසක් රනිල් වෙනුවට සජිත් අගමැති කරන්න කීවොත් ජනාධිපතිතුමාට තීන්දුවක් ගන්න වෙයි!” – එජාප ජනපති අපේක්ෂක බලු පොරයට ගල් ගසමින් ශ්‍රීලනිපය කියයි…

August 23, 2019 at 10:41 am | by emanisa.lk

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරින් ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයකු පත් කරන ලෙස එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ බහුතර මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහිදී ජනාධිපතිවරයා කවර තීරණයක් ගනු ඇත්දැයි තමන්ට කිව නොහැකි අතර එජාපෙ ඉල්ලීමක් මත අග්‍රාමාත්‍යවරයා මාරු කෙරෙන්නේ නම් එය ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින් එහි වගකීම ජනාධිපතිවරයාට හෝ ශ්‍රීලනිපයට පැවරීම අසාධාරණ බවත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අවධාරණය කරයි.

“එක්සත් ජාතික පක්ෂයේ දැන් ඔය අගමැති කෙනෙක් පත් කරන කතාවකුත් යනවනෙ ඒගොල්ලොන්ගෙ. ඒකනෙ එයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ. ඉතින් එජාපයේ බහුතරයක් මන්ත්‍රීවරු ඇවිත් ඉල්ලීමක් කරොත් දැන් අපිට මේ අගමැති එපා, වෙන අගමැති කෙනෙක් දෙන්න කියලා ඒකෙ අපට කරන්න දෙයක් නෑ ඒක එතුමාලාගෙ ආණ්ඩුවෙ ඉල්ලීමක්.

ආණ්ඩුවෙ ප්‍රශ්නයක්. අපි දන්නෙ නෑ ජනාධිපතිතුමා මොන තීරණයක් ගනීද කියලා. නමුත් ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නිසා ඒකේ චෝදනාව ජනාධිපතිවරයාට හෝ අපට එල්ල කිරීම සාධාරණ නෑ.”

වීරකුමාර දිසානායක මේ බව පැවසුවේ ඊයේ (22) පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස