ආණ්ඩු පෙරළන සැලසුමක් නිසා රනිල් පාර්ශවය කැළඹෙයි! අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් තබා ජනපතිට සජිත්ට අනතුරු අඟවයි!

August 21, 2019 at 11:57 pm | by emanisa.lk

ජනාධිපතිවරයා නැවතත් කුමන්ත්‍රණකාරී ලෙස ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහයක නිරත වන බව දැනගන්නට ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.

දින 52 ආණ්ඩුව සමයේ මෙන්ම ව්‍යවස්ථා විරෝධී වැඩ නැවතත් සිදුකරන්නට නොයන ලෙස ජනාධිපතිවරයාටද අනතුරු අඟවන බව ද ඔහු අවධාරණය කරයි.

එවන් ආණ්ඩු සෑදීමේ සාකච්ඡා රෑට රෑට සිදුවන බවට ආරංචි ලැබී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම එය තහවුරු කළ බවත් ඔහු සඳහන් කළේය.

ඕනෑම පුද්ගලයෙකු කුමන්ත්‍රණයකින් බලයට ඒමට හෝ ඔහුගේ ජනප්‍රියත්වය වැඩි කිරීමට උත්සාහ ගන්නේ නම් එය ඔහුගේ අවසානය බව දැන ගත යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති කළ ජනාධිපතිවරයා ඕනෑම වේලාවක නැවතත් එවැනි ක්‍රියාවක් සිදුකළ හැකි යැයි හෙතෙම පැවසුවේය.

අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සජිත් ප්‍රේමදාස අගමැති ධුරයට පත්කර නව ආණ්ඩුවක් පිහිටු වීමේ සැලසුමක් පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් පවතින පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස