ඇමති මංගල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා මහා ටෙන්ඩර් මගඩියක! රජයේ සැලසිනේ අඩු ලංසුවට ටෙන්ඩරය නොදෙයි! ලක්ෂ 255ක වැඩි ලංසුකරුට කූට ලෙස ටෙන්ඩරය දෙයි!

September 2, 2019 at 3:30 pm | by emanisa.lk

මුදල් අමාත්‍යංශය මගින් සංවිධානය කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට අදාළ යාපනේ ව්‍යාපෘතිය සඳහා කුඩාරම් වෙදිකා විදුලි ආලෝකකරණ පද්ධතිය කුළියට ලබා ගැනීමේ දී රුපියල් ලක්ෂ 255ක පමණ වංචාවක් සිදුව ඇතැයි අනාවරණය වෙයි.

මේ සඳහා මුදල් අමාත්‍යංශය පුවත්පත් දැන්වීම් පළකර ටෙන්ඩර් කැඳවා තිබූ අතර ඒ සඳහා අවම ලන්සුව ඉදිරිපත් කර තිබුණේ රජයට අනුබද්ධිත සැලසිනෙ ආයතනයයි. ඒ රු. 83 451 011.51කි. එහෙත් මෙම ටෙන්ඩරය ලබා දී ඇත්තේ ඊට වඩා ලක්ෂ 255ක් පමණ වැඩි ලන්සුවක් ඉදිරිපත් කළ srimal advertisng pvt Ltd නම් පෞද්ගලික ආයතනයකට වීම පුදුමසහගතය. ඔවුන් මේ සඳහා ඉදිරිපත් කර ඇති ලන්සුව රු. 108 952 322.50කි. රජයට අනුබද්ධිත සැලසිනෙ ලංසුව හරවත් නිරවද්‍ය ලංසුව නොවන බව එම ටෙන්ඩර් ඇගයුම් කමිටුවේ තීන්දුව වී තිබේ.

එසේම මෙම ටෙන්ඩරය මගින් දක්වා ඇති වේදිකාවේ සහ රූපවාහිනී තිරවල ප්‍රමාණය මෙම ටෙන්ඩරය ලබා දුන් srimal advertisng ආයතනය සතු උපාංගවල විශාලත්වයට හරියටම සමාන වීම ද විශේෂත්වයකි. සාමාන්‍යයෙන් වේදිකා සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී වේදිකාවල විශාලත්වය ඉල්ලා සිටින්නේ අඩි 60×40, 50-60×80 වුවද මෙම ටෙන්ඩරයේ වේදිකාව අඩි අඩි 64×56 ලෙස ඉල්ලා ඇති අතර එය srimal advertisng ආයතනයේ වේදිකාවට හරියට සමානය. එසේම වේදිකාවේ රූපවාහිනි තිරය සහ කාප්ප සහිත වහලේ ප්‍රමාණය ද මේ ආකාරයටම ටෙන්ඩරයේ ඉල්ලා සිටින විශාලත්වය අදාළ සැපයුම්කරුගේ සැපයුමට හරියටම සමාන වීම විස්මජනකය.

රජයේ සැලසිනෙ ආයතනයට මෙවැනි උත්සව අවස්ථා සඳහා අදාළ සේවා සපයා කිසිදු පළපුරුද්දක් නොමැති බවට ඇමති මංගල සමරවීරගේ අනුදැනුම මත පවත්වා ගෙන යන theleader.lk අඩවිය මගින් කරන චෝදනා කර තිබිණි.

කෙසේ වුවද 2013 චෝගම් සමුළුව, රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය විවෘත කිරීමේ උ‍ළෙල, ජාතික ක්‍රීඩා සැණකෙළිය (2015/2017), දියවන්නාවේ දින දස දහසක්, නව සමෘද්ධිලාභීන්ට හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උළෙල ආදී උත්සව අවස්ථා සඳහා සැලසිනෙ ආයතනයයි. චෝගම් වැනි ජාත්‍යන්තර සමුළුවක් සඳහා පහසුකම් සැපයූ සැලසිනෙ ආයතනයට යාපනේ පැවැත්වෙන මෙවැනි උත්සව අවස්ථාවක් සඳහා එම කටයුතු කළ නොහැකි බව තීරණය කළේ කෙසේ ද යන්න ගැටලුසහගතය.

මේ අනුව මෙම ටෙන්ඩරය සැලසිනේ ආයතනයට නොදී අදාළ පෞද්ගලික ආයතනයට ලබා දීමට මුල සිටම මුදල් අමාත්‍යංශය ඉතාම සැලසුම්සහගත ලෙස කටයුතු කර ඇති බව තහවුරු වෙයි. එමගින් රජයට රු. ලක්ෂ 255ක පමණ වැඩිපුර මුදලක් මෙම කටයුත්ත සඳහා යෙදවීමට සිදුව ඇති අතර රජයේ ආයතනයකට ලැබිය යුතු අවස්ථාවක් අහිමි වී තිබේ. සැලසිනෙ ආයතනයට අදාළ ටෙන්ඩරය ලබා දුන්නේ නම් ලක්ෂ 830ක පමණ එම මුදල නැවත වරක් රාජ්‍ය ආයතනයක් වෙතම ලැබීම ද සිදුවෙයි.

මෙම ටෙන්ඩර් කැඳවීමේ දී සැලසිනේ ආයතනයට සිදුව ඇති අසාධාරණය පිළිබඳ ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණ ද රු. ලක්ෂ 255ක මහජන මුදල් කොල්ලකෑමට සිය ගජ මිතුරන්ට අවස්ථාව ලබා දී එමගින් මිලියන ගණන් ගසා කෑමේ සැලැස්ම ආපසු හැරවීමට මුදල් ඇමතිවරයා කටයුතු කර නොතිබුණු අතර srimal advertisng ආයතනය යාපනේ දොරේඅප්පා ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබිණි.

රාජ්‍ය ටෙන්ඩර් කැඳවීමේ දී රාජ්‍ය ආයතනවලට ප්‍රමුඛතාව ලබා දෙන බව ප්‍රකාශ කළ ද මුදල් ඇමතිවරයාගේ මිතුරන් පවත්වාගෙන යන පෙර සඳහන් කළ වෙබ් අඩවි ඔස්සේ සිදුකරන්නේ මෙම වංචාව සාධාරණීකරණය සඳහා සැලසිනෙ රාජ්‍ය ආයතනයක් නොවන බවත් එහි ප්‍රධානීන් දූෂිතයන් බවත් පවසමින් තමන්ට සුපුරුදු මඩ අවලාද ව්‍යාපාරයෙහි නිරත වීමය. බැඳුම්කර වංචාවේ මහ මොළකරු වෙනුවට සජිත් ප්‍රේමදාස ඉදිරියට ගෙන ඒම පිටුපස සිටින්නේ මෙවැනි දූෂිතයන් නම් එය කැහි ගෑනි වෙනුවට නිව්මෝනියා ගෑනි ගැනීමට නොදෙවෙනි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉඳුනිල් වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස