සජිත් අගමැති කර මෛත්‍රී ජනාධිපතිවරණයට යන්න සූදානම්!

April 15, 2019 at 10:47 am | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අගමැති තනතුරට පත්කර ජනාධිපතිවරණයට යාමේ සූදානමක් පිළිබඳ පුවතක් නිසා අරලියගහ මන්දිරය උණුසුම් වී ඇති බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

මේ අවස්ථාවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළහොත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනිවාර්යෙන් අපේක්ෂකයකු වන අතර තවමත් ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව විසඳා නොගත් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම ගැටලුවක් වනු ඇත. මේ සැලසුම සඳහා එක්සත් ජාතික ප්‍රබලයන් සහ පසුපෙළ මන්ත්‍රී පිරිසකගේ ද සහාය හිමිව ඇති බව වාර්තා වෙයි.

පසුගිය කාලය පුරා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමති සජිත් ප්‍රේමදාස සමග ඉතාම සමීපව කටයුතු කරනු දැකගත හැකි වූ අතර මහින්ද රාජපක්ෂට අගමැති ධුරය ලබා දීමට පෙර කිහිප වතාවක් අගමැති ධුරය භාර ගන්නා ලෙස සජිත්ට ඇරයුම් කර තිබිණි.

ඇමැති සජිත් ප්‍රේමදාසට පසුගියදා මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මාහිමියන් විසින් “සාසන දීප අභිමානි ශ්‍රී ලංකා ජනරංජන ගෞරව සම්මානය ප්‍රදානය කළ අවස්ථාවට ජනාධිපතිවරයා ද සහභාගී වූ අතර එය සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කරන ලෙස ද ජනාධිපතිවරයා නියෝග කර තිබිණි. ඊට සතියකට පමණ පෙර කතානායක කරූ ජයසූරියට ද එවැනි ගෞරව නාමයක් ලබා දුන්න ද ඒ සඳහා එවැනි ප්‍රමුඛතාවක් ලැබුණේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස