බුදුන් පිරිනිවන් ගියේ සිවුරු ඇඳගත් අයට බෞද්ධ දර්ශනය ගණිකා වෘත්තියේ යොදවන්න භාරදීලා නෙමෙයි! මට විරුද්ධව වස් කවි කී කෙනෙක් සතියෙන් මළා! – මංගල සමරවීර

June 30, 2019 at 10:48 am | by emanisa.lk

ජනමාධ්‍ය අමාත්‍ය ධුරයද දරා ඇති මංගල සමරවීර, නිරන්තරයෙන්ම ප්‍රවෘත්ති මවන චරිතයකි. මේ දිනවල ඔහු ප්‍රවෘත්තිවලට විෂයය වී ඇත්තේ ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවන බවට කළ ප්‍රකාශයක් හේතුවෙනි. අපි ඒ ගැනත්, කාලීන දේශපාලනය ගැනත් ඔහු සමග කතා කළෙමු.

90 දශකය මැදදි සිංහල කොමිෂන් එකේ වාර්තාව ‘ඉතිහාසයේ කුණු බක්කියට වැටේවි’ කියලා ඔබ දැඩි ප්‍රහාරයකට ලක්වුණා. ඒත් ඔබ තවම ‘කට’ හදාගෙන නැත්තෙ ඇයි?

මගේ කටට හොඳට ‘බ්‍රේක්’ තියෙනවා. ඒත් මම කතා කරන්නෙ මේ රටේ සංස්කෘතිය, සමාජය හා ජන ජීවිතය ගැන යථාර්ථවාදී පළල් දැක්මකිනුයි. ඒත් සමහර සිවුරුධාරීන්ට හා පටු දේශපාලකයන්ට ඒව තේරෙන්නෙ නෑ. අනික ඔවුන් මේ රටේ යථාර්ථය පටු ලෙස පහත් දේශපාලනයට යොදා ගන්නවා. මම වගේම මේ ගැන තේරුමක් ඇති අය ඒ පහත් වැඩේටත් විරුද්ධයි.

සිංහල කොමිසම ගැන එදා මම කියපු දේට කොළඹදී මහා සංඝ විරෝධතා ඇවිත් මට සංඝ ආඥා පනවන්න හැදුවා. බුදුන් පිරිනිවන් යනකොට එක එක පක්ෂවලට කඩේ යන සිවුරු ඇඳගත්ත අයට ඕන ඕන විදිහට බුදු දහම හා දර්ශනය ගණිකා වෘත්තියේ යොදවන්න භාරදීල ගියේ නෑ. මාතරදි එදා මට විරුද්ධව වස් කවි කිව්වා. එයා සතියක් ඇතුළත නැති වුණා.

‘මේ රට බෞද්ධ නොවන’ බවට ඔබ කළ ප්‍රකාශය තවමත් වලංගුද?

ඔව්, ලංකාව ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. සිංහල බෞද්ධ බහුතරයක් මේකෙ ජීවත් වෙනවා. අපේ සංස්කෘතිය ඉතිහාසය, සංගීතය, කලාව, වාරිමාර්ග, විවිධ වෘත්තීන් ආදී සියල්ල පෝෂණය වුණේ ඉන්දියාවෙන් ලැබුණු බුදු දහම, සිංහල වගේම හින්දු හා ඉස්ලාම් අංගත් ඇතුළත්වයි. ඇත්ත එයයි. ඒත් අපි බහුතරය සිංහල වුණ පලියට මේක සිංහල බෞද්ධ රටක් කියල අනිත් අයගෙ බොටු මිරිකන්න ගියොත් ඒ අය දෙවැනි පුරවැසියන්ය කියන වැරදි හැඟීම එනවා. ඒක වැරදියි. සියලු ජාති, ආගම්වල අය ලාංකිකයන් ලෙස හිතන්න පුරුදු වෙනතාක් මේ රට මන්දගාමීවයි ඉදිරියට යන්න වෙන්නේ.

ඒත් බුදු දහම හා ස්වාමීන් වහන්සේලා සමග ගැටෙන එක දේශපාලකයෙක් ලෙස ඔබට ඉතා අවාසි බව හිතෙන්නෙ නැද්ද?

මම බෞද්ධ දර්ශනය හා ගෞරවනීය සැබෑ ස්වාමීන් වහන්සේලා එක්ක ගැටෙන්නෙ නෑ. බෞද්ධ දර්ශනය හරියට නොදන්න, එක එක දේශපාලන ඇම්බැට්ටයන්ට කඩේ ගිහින් වාහන 7-8 ගත්ත, රට සවාරි ගිය, ලොකු බිස්නස්වලින් කෝටි ගණන් හම්බ කරපු ‘සිවුරු අඳින දේශපාලන හා ආර්ථික බිස්නස්කාරයො’ ටිකක් මාත් එක්ක ගැටෙන එකයි මෙතැනදි සිදුවෙන්නෙ.

2015 දී ජනතාව පන්නපු හොර දේශපාලකයො ටික තමන්ගෙ ආරක්ෂාවට පන්සල්වලට රිංගලා හාමුදුරුවරුයි, ජනතාවයි අද ගොනාට අන්දනවා. ඒ සඳහා ඒ කාලෙ ගරා ගනිපු ජනතා මුදල් හා කළු සල්ලි කෝටි ගණන් පොම්ප කරනවා. එතැනදි ආණ්ඩු බලය ඒ අයට තිබුණු එදා කාලෙ වගේම කළු සල්ලිවලින් අදටත් ප්‍රතිලාභ ලබන ආත්මාර්ථකාමී, නූගත්, කුහක, දේශපාලන අතකොළු වූ, දූෂිත, සුළුතර සිවුරුධාරීන් තමයි මට චෝදනා කරන්නෙ. ඔය සමහරුන්ට පන්සිල් පද පහ හරියට පේළියට කියාගන්න බැහැ. මොකද පන්සලේ නෙවෙයි පැය 24ම ටීවී මයික් ඉස්සරහයි මෙයාල වැඩ ඉන්නෙ. මේ සිවුරුධාරීන් කරන විනාශය වළකන්න ඒ ඒ පන්සල්වල දායක දායිකාවොත් මැදිහත් වෙන්න ඕනෑ.

බුදු දහමේ දියුණුවට ඔබ තරම් වැඩ කරපු කෙනෙක් නැති බවට කළ ප්‍රකාශය සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්ද?

මේ රටේ හිටපු කිසිම මුදල් ඇමැති කෙනෙක් මම තරම් ගමේ දියුණුවට මුදල් වෙන් කරලත් නෑ, මම තරම් වැඩ කරලත් නෑ. ගමේ පාසල, ඉස්පිරිතාලෙ, මාතෘ නිවාසෙ, වැඩිහිටි නිවාසෙ, ප්‍රජා ශාලාව, ක්‍රීඩා පිටිය, ළමා උද්‍යානෙ විතරක් නෙවෙයි, ගමේ පන්සල, පල්ලිය, කෝවිලත් මම දියුණු කළා. පන්සල්වලට රුපියල් දස ලක්ෂ 2094ක්, හින්දු කෝවිල්වලට දස ලක්ෂ 1071ක්, මුස්ලිම් පල්ලිවලට දස ලක්ෂ 679ක් හා කතෝලික පල්ලිවලට රුපියල් දස ලක්ෂ 393ක් මුදල් ඇමැති ලෙස මම මේ වසරට වෙන් කළා.

ඔබට අනුව සියලු ජාතීන්, ආගම් එක සමාන නම් ඔබ ඉහත මුදල් වෙන් කිරීමේදී පන්සල්වලට වැඩිම මුදලකුත්, සෙසු ආගමික ස්ථානවලට ඊට වඩා අඩු මුදලකුත් වෙන් කළේ ඇයි?

ඉතා වැදගත් ප්‍රශ්නයක් ඔබ මතු කළේ. මේ රටේ ජාතීන්ට හා ආගම්වලට අයත් වත්මන් ප්‍රතිශත අනුවයි ඒ මුදල් වෙන් කළේ. මම කාටවත් ඇඟිල්ල දිගු කරන්න තියල වැඩ කරන කෙනෙක් නෙවෙයි.

ඔබෙන් ජනමාධ්‍ය විෂය ඉවත් කර තිබුණත් ඔබ ජනමාධ්‍යවලින්ම දිගටම ‘ගේම’ ඉල්ලන්නෙ ඇයි?

මේ රටේ ජනතාවට හා ජනමාධ්‍යවලට අපි තමයි නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ. ඒක සියලු දෙනාට අවිවාදයෙන් පිළිගන්න වෙනවා. අපි දීපු ඒ නිදහස අවභාවිත කරමින් මා කරන සේවයත්, ආණ්ඩුව කරන දේවල් ගැනත් ධනාත්මක පුවත් මෙයාල නින්දිත විදිහට හංගනවා. රාත්‍රී ප්‍රවෘත්ති බැලුවාම හිතෙන්නෙ හෙට එළිවෙනකොට ආණ්ඩුව වැටේවි කියල බව හුඟ දෙනෙක් මට කියල තියෙනවා.

මේ කළු මාධ්‍ය මට දැන් වෙනදටත් වඩා ආදරෙයි. ලොකු ප්‍රචාරයක් දෙනවා. මගේ මාර යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එයාලට ටීවී නාළිකා 02ක් තියෙන නිසා මේ උදව් මට කරනවා. මාව දඬු කඳේ නෙවෙයි, හම ගැහුවත් කමක් නෑ. ඒත් පාස්කු පහත් හා තුච්ඡ ප්‍රහාරය දඩමීමා කරගෙන ලැජ්ජා නැති විදියට පටු ජාතිවාදය හා ආගම් වාදය අවුළුවල රට ගිනි තියල හොරුන්ට දේශපාලන වාසි ලබාදෙන්න දැඟලීමයි විශාලම ගැටලුව වෙන්නෙ.

තොරතුරු ලැබී තිබියදීත් ජනපති හා ආණ්ඩුවට ත්‍රස්ත ප්‍රහාරය වළකා ගැනීමට නොහැකි වූ බව තේරීම් කාරක සභාවේදීත් එළිවේගෙන යන පසුබිමක ඒ තත්ත්වය වාර්තා කිරීම ජනමාධ්‍ය වගකීම නේද?

සත්‍යයට වඩා දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව ජනමාධ්‍ය හැසිරෙනවා. කොල්ලුපිටියේ කොහෙද තැනක තිබිලා ආමි එකේ ඇඳුම් එක්ක කට්ටියක් ඇල්ලුවා. ඒක ලොකුවට ප්‍රචාරය කරපු එක හරි. ඒත් ඒ අය ආමි එකට ඇඳුම් ලබාදෙන පිරිසක් බව ඔප්පුවෙලා ඒ අය නිදහස් වුණා. ඒ ප්‍රවෘත්තිය දැම්මේ මොන ජනමාධ්‍ය නාළිකාවෙද? ඒ වගේ උදාහරණ ඕන තරම් තියෙනවා. දරුවො පාසල් යෑම අධෛර්ය කරල බය කරන්න ඔය ජනමාධ්‍ය තිරිසන් උත්සාහයක් කළා. අද රෝයල් එකට, මහින්දෙට, ධර්මරාජෙට, විශාඛා එකට ආවෙ ළමයි මෙච්චරයි කිය කියා ඡන්ද ප්‍රතිඵල පෙන්නනවා වගේ දරුවො හා දෙමව්පියන් බය කළා.

සිවුරුධාරීන් හා හොර නඩයේ අයගේ තුප්පහි ප්‍රකාශ දාල මොන විනාශයක්ද කළේ කියල හිතල බලන්න කියල ඔය ජනමාධ්‍යවල අයට මම කියනවා. ඒ කිසිම දෙයක් හරි ගියේ නැති තැන පාසල් ළඟ ‘බෝම්බ මලු’ තියල රටම බය කරල මේ රටේ කරපු පාහරම වැඩෙත් කළා. ඒක කරපු මිනිහා හා ඒ කොන්ත්‍රාත් එක දීපු මිනිස්සු මේ මහ පොළොවේ තවත් සිටිය යුතු නැති මහ පොළොවටත් බරක් වෙන තිරිසන්නුයි. ඒ ප්‍රවෘත්තිය ඔය ජනමාධ්‍යවල ලිස්සලයි ප්‍රචාරය කළේ. මම ඉතාමත් කනගාටුවෙන් මේවා කතා කරන්නෙ.

රාජපක්ෂ යුගයේ ගිනි තියලා, උස්සලා, මරලා ජනමාධ්‍ය මර්දනය කළ බවට චෝදනා කළත් මේ රජය යටතේ ඔබ රජයේ දැන්වීම් ලබා නොදීම ජනමාධ්‍ය නිදහස අහුරා දැඩි මර්දනයක් දියත් කිරීමක් නොවේද?

මර්දනය කියන්නෙ ජනමාධ්‍ය ගිනි තැබීම, මැරීම, උස්සන එකටයි. ඒ කාලෙ අධි ආරක්ෂක කලාපවල පවා ඒ වගේ පුදුම දේවල් වුණේ. ඒත් අපි එවැනි තුප්පහි වැඩ කරන්නෙ නෑ. ජාතිවාදය, ආගම්වාදය ඇති කරලා සියලු මුස්ලිම්වරු ත්‍රස්තයන් කරන්න මේ කළු මාධ්‍ය දැඟලුවා. රට වැනසූ 83 දෙමළ කළු ජූලියට නොදෙවැනි ‘2019 මුස්ලිම් කළු අප්‍රේල්’ එකක් කරල නොනිමි යුද්ධයක් ගෙනැත් එදා යුද්දෙන් පවා ගසා කාපු හොරු යළි බලයට ගේන්න මේ ජනමාධ්‍ය ක්‍රියා කළා. ඒ දවල් හීන වළකමින් ඉතා ඉවසිල්ලෙන් අපි මේ ජනමාධ්‍ය නාඩගම බලන් හිටියා. බැරිම තැනයි මගේ අමාත්‍යාංශ ආයතනවලින් දෙන දැන්වීම් නැවැත්තුවේ. ඒක මර්දනයක් නෙවෙයි, අපි දීපු පණිවිඩයක්. ඒක රටේ සාමය වෙනුවෙන් කළේ.

ඔය සමහර නාළිකාවල ප්‍රවෘත්ති විතරක් නෙවෙයි සංගීත, විහිළු ආදී සියලු වැඩසටහන්වලදි ආණ්ඩුවට පහර දෙන බව අපි නිරීක්ෂණය කරල තියෙනවා. මේ ආයතන කළු සල්ලි සුදු කරනවා. රට ගිනි තැබීම නොව, ජාතීන් අතර සමගිය තැනීම ජනමාධ්‍ය වගකීමයි. පරණ හොරුන්ට රට පාවල දීලා ජනතාව යළිත් හිරකරුවන් හෝ වහල්ලු කිරීම ජනමාධ්‍යවල වගකීම නෙවෙයි.

චෝදනා එල්ල වූ රිෂාඩ් වෙනුවෙන් සියලු මුස්ලිම් මැති ඇමැතිවරු ධුරවලින් ඉවත්වීම හා එජාප සභාපති කබීර් පක්ෂයට හෝ නොදන්වා හලීම් සමග යළිත් ඇමැතිකම් භාර ගැනීම එජාප විනයට එකඟද?

රිෂාඩ්ට චෝදනා කරන අය එහෙම කරන්නෙ ඔහු වරදක් කළ බවට ඔප්පු කරල නෙවෙයි. ඔහු හරහා මුස්ලිම් විරෝධී රැල්ලක් තැනීම අවස්ථාවාදීන්ගේ අරමුණයි. දින 54 හොර ආණ්ඩුවට රිෂාඩ් නොයාම අනිත් හේතුවයි.

කබීර් හා හලීම් දිවුරුම් දීපු විදියෙ යම් අවුලක් තියෙනවා. ඔක්කොම එකට ගියා නම් ඔක්කොම එකටයි එන්න ඕනෑ. ව්‍යවස්ථාව අනුව නම් අගමැතිතුමා ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළොත් විතරයි ඇමැති කෙනෙකුට දිවුරුම් දෙන්න පුළුවන්. මෙතැනදි එහෙම වුණේ නෑ.

එජාප ඊළඟ ජනපති අපේක්ෂකයාත් ‘ඉම්පෝටඩ්‘ කෙනෙක්ද? රනිල්, සජිත්, කරු ඇතුළු අපේක්ෂක ගොඩට ධම්මික පෙරේරාත් ඉන්නවා නේද?

ධම්මික පෙරේරාගේ කතාව ආවාම ඒක විහිළුවක් බවයි මම හිතුවෙ. එයාම ඒ ප්‍රවෘත්තිය ප්‍රචාරය කළා වෙන්න පුළුවන්. එජාපය මින්පසු රෑ වැටුණු වළේ දවල් වැටෙන්නෙ නෑ. රට ඉල්ලන්නෙ එජාප අපේක්ෂකයෙක් හා එජාප ජනපති කෙනෙක්. දිනන අපේක්ෂකයා අපි දානවා. පෞද්ගලිකව චරිත ගැන හිතනවට වඩා එජාපය හා රට ගොඩදාන්න පුළුවන් හැකියාවක් හා දැක්මක්, වැඩපිළිවෙළක් ඇති අනිවාර්යයෙන් දිනන ජොකියා අපි ඉදිරිපත් කරනවා. පොහොට්ටුව දැන් කැඳ හැළියක්.

මුදල් ඇමැති මංගල සමරවීර

මේ කළු මාධ්‍ය මට දැන් වෙනදටත් වඩා ආදරෙයි. ලොකු ප්‍රචාරයක් දෙනවා. මගේ මාර යාළුවෝ දෙන්නෙක් ඉන්නවා.

කිසිම මුදල් ඇමැති කෙනෙක් මං තරම්

ගමේ දියුණුවට මුදල් වෙන් කරල නෑ

රෑ ප්‍රවෘත්ති බලනකොට හිතෙන්නේ

ආණ්ඩුව හෙට වැටෙයි කියලා

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස