බටහිර වෛද්‍ය මහාචාර්යවරයෙක් හෙළි කරන කොරෝනා මඩින සම්බුදුමග!

March 29, 2020 at 1:26 pm | by emanisa.lk

මහාචාර්ය චන්න ජයසුමන සිය ෆේස්බුක් ගිණුමට එකතු කර ඇති සටහනක් පාඨක ජනතාවගේ හිතසුව පිණිස මෙසේ පළකරමු.

මම තෙවන වසර වෛද්‍ය ශිෂ්‍යයකුව සිටියදී (2003) විදුසර පුවත්පතට විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් සැපයීමි. සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධවලින් බැහැරව, ලොව අනාගතයේදී ඇතිවන ප්‍රශ්නවලට බෞද්ධ ප්‍රභවයකින් විසදුම් සොයා ගන්නා ආකාරය එහි ඉදිරිපත් විය (පසුව මෙම විද්‍යා ප්‍රබන්ධ මාලාව ගොඩගේ ප්‍රකාශකයන් “සිංහල බෞද්ධ විද්‍යා ප්‍රබන්ධ” නමින් පොතක් ලෙස පළ කළේය). “චීන-ඒඩ්ස්” නමින් එහි එක් කතාවක් විය. අද දක්නට ලැබෙන ඒඩ්ස් වෛරසය ජාන විකරණයක් මගින් ශ්වසන පද්ධතියට බලපාන වෛරසයක් බවට විකරණය වී චීන ජනතාවට වැළදෙන අයුරත්, එයට අවසානයේ බෞද්ධ පර්යේෂකයකු විසදුම් සොයා ගන්න ආකාරයත් එහි විස්තර විය.

අද දක්නට ලැබෙන “කොරෝනා” රෝගය ඊට සමාන නොවූවද බටහිර වෛද්‍ය විද්‍යාවට විසදුම් දිය නොහැකි වෛරස වසංගත නුදුරේම ලොව ඇතිවිය හැකි බවට යම් අදහසක් එම ප්‍රබන්ධය තුළ ගැබ් විය.

මෙම කොරෝනා වෛරසය මිනිසුන් අතරට පැමිණියේ කෙසේද යන්න ගැන අදහස් ගණනාවකි. විද්‍යාගාරයක් තුළ නිපදවූවක්, අභ්‍යවකාශයෙන් පැමිණි වෛරසයක් ආදී විවිධ අදහස් ඇත. කවරක් නමුත් කොරෝනා අද ලෝක වසංගතයක් බවට පත්ව ඇත. දැනටමත් 30,000 වඩා ඒ හේතුවෙන් මිය ගොස්ය. ඉතාලියට, ස්පාඤ්ඤයට, බ්‍රිතාන්‍යයට, ප්‍රංශයට, ඇමෙරිකාවට එහි බලපෑම වැඩි ඇයිදැයි තවමත් නිසි ලෙස පැහැදිලි කර ගත නොහැක. ශීත දේශගුණය, එම රටවල ප්‍රමුඛ පෙලේ වෛද්‍යවරුන්ගේ වැරදි උපදෙස් (ඉතාලියේ ප්‍රචලිත වූ අදහසනම් කොරෝනා නිසා මිය යන්නේ අවුරුදු 80 වැඩි දියවැඩියා, රුධිර පීඩන හෝ වෙනත් නිදන්ගත රෝගයක් පාලනය නොකළ අය බවයි) අසීමිත පුද්ගල නිදහස, ලිබරල් අදහස්, ක්ෂණික ප්‍රශ්නයකට මුහුණ දීමට ඇති නොහැකියාව ආදී විවිධ පැහැදිලි කිරීම් ඒ උදෙසා ඉදිරිපත්ව ඇත.

පවතින තත්වය ගැන අපටද යම් පැහැදිලි කිරීමක් කළ හැක. ඊට එකග නොවන පිරිස් සිටිය හැකි මුත් විසදුමක් ලබා ගැනීමට එම සංවාදය වැදගත්යැයි සිතමි. කලින් කල මෙවැනි වසංගත මනුෂ්‍යයාට වැළදීම ලෝක ධර්මතාවකි (උතු, බීජ, ධම්ම, චිත්ත, කම්ම යනුවෙන් නියාම 5 කි). මනුෂ්‍ය ලෝකයේ අකුසල් ශක්තිය වැඩි වූ විට අමනුෂ්‍ය කොටස් බලවත් වේ. එම අකුසල් ශක්තිය සමතුලිත වනතෙක් මහා පරිමාණයෙන් මනුෂ්‍ය ජීවිත අහිමි වේ. එසේ කියා මිනිසුන් මිය යනතෙක් බලා සිටීමේ සිරිතක් අපට නැත; වසංගතය වලක්වා ගැනීමට ගත හැකි සෑම උපක්‍රමයක්ම අනුගමනය කරයි. වසංගත රෝග “දෙයියන්ගේ රෝග”කරන්නේ නමින් හදුන්වා දෙවියන්ට භාර කරන්නේ අමනුෂ්‍ය ශක්තිය අවම කර එය දමනය කළ හැකි වෙනත් පිරිසකගේ උදව් උපකාර ලබා ගැනීමටයි; ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂ නොතිබූ කාලයේත් වසංගත පැතිරෙන්නේ ඇසට නොපෙනෙන යමක් නිසා බව දැන සිටීම හේතුවෙන් තහංචි කඩුලු, වහන්වීම්, තනිකිරීම් සිදු කළහ; සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට ඉඟුරු-කොත්තමල්ලි-වෙනිවැල්ගැට සහ තවත් ඖෂධ වට්ටෝරු යොදා ගත්හ. වසංගත රෝග මර්දනයට යොදාගත් එක් ප්‍රබල අවියක් වුයේ ත්‍රෛ-ලෝක පත්‍ර/ගංජා/ කැනබීස් පැළෑටියේ විවිධ කොටස් තම්බා පානය කිරීමයි. අද එම දැනුම මුළුමුනින්ම පාහේ වියැකී ගොස්ය. සතුන්ට බලපාන කොරෝනා වෛරස මර්දනයට ගංජා කැනබීස් ශාකයේ නිස්සාරණ සාර්ථක ලෙස යොදා ගත හැකි බව පර්යේෂකයෝ මෑතකදී පෙන්වා දුන්හ.

අමනුෂ්‍ය ශක්තිය ඉස්මතු වීම යනු අකුසල් ශක්තියේ වැඩි වීමකි. ඊට නිශ්චිත විසදුම කුසල් ශක්තිය වැඩි කිරීමයි. වසංගත තත්වයකදී ද්වේශය මුල් කරගත් අකුසලය කැපී පෙනෙන ලෙස ඉස්මතු වේ. රතන සුත්‍රය සඤ්ඤායනය මගින් සිදු වන්නේ බුද්ධ, ධම්ම, සංඝ තෙරුවනේ ගුණ පවසා, අමනුෂ්‍යයන්ට ඒ ගුණ අසන්නට සලස්වා, සෙත් පතා ද්වේශය සමනය කිරීමයි. අටවිසි පිරිත, දස දිසා පිරිත ආදී වූ තවත් පිරිත් දේශනා කිහිපයකින්ද සිදුවන්නේ මේ කටයුත්තම ය. ආචාර්ය නලින් ද සිල්වා මහතා මගින් හඳුනා ගත් සිරිපා අඩවියේ භාවනානුයෝගී ස්වාමීන්වහන්සේ නමක් පැවසුවේ ශබ්ධ විකාශන යන්ත්‍ර මගින් පිරිත් ඇසෙන්නට සැලැස්වීමෙන් ලබා ගත හැක්කේ අල්ප ප්‍රතිඵලයක් බවයි. සිල්වත් මහා සංඝයා පහදවාගත් සිතෙන් සුත්‍ර සඤ්ඤායනය මගින් උසස් ප්‍රතිඵල ලැබේ. තව ද පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම අමනුෂ්‍යයන්ගේ ද්වේශ ශක්තිය අඩු කිරීමට හේතු වේ. යක්ෂ, භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදී අමනුෂ්‍ය කොටස්වලට වෙන් වෙන් වශයෙන් මෛත්‍රී කිරීම සුදුසුය.

ධර්මය ගැන කතා කල ද එය අර්ථවත් ලෙස ප්‍රශ්න විසදා ගැනීමට යොදා ගැනීම් අද විරලය. ඊට මූලික හේතුවක්නම් ධර්මය විලාසිතාවක් ලෙස යොදා ගැනීමත්, වෙළද අරමුණු වෙනුවෙන් යොදා ගැනීමත් හැර එහි හැසිරෙන පිරිස අල්ප වීමයි. අප අඩුම තරමේ එළැඹෙන සති කිහිපයේ හැකි තාක් ධාර්මිකව ජීවත් වුවහොත්, මෛත්‍රීය වැඩුවහොත්, සුත්‍ර දේශනා නිවසේ සිටම සිත් පහදවා සඤ්ඤායනය කළහොත් ඒකාන්තයෙන්ම එහි ප්‍රතිඵල ලැබෙනු ඇත. කුමන නමකින් හැඳින්වුවද තහංචි කඩුළු යොදා නිවසට වී සිටීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් ඒ සිදු කරන්නේ කොරෝනා කෙරෙහි හෝ රජය කෙරෙහි හෝ, සෞඛ්‍ය සේවකයන් ගැන හෝ පොලිසිය ගැන හෝ වෛරයකින්, ද්වේශයකින් නම් එතැනින් සිදුවන්නේද ද්වේශ ශක්තිය වැඩි වීමකි; අමනුෂ්‍ය ශක්තිය වැඩි කිරීමට උල්පන්දම් දීමකි. මේ අවස්ථාවේ අප සිදු කල යුත්තේ ද්වේශ ශක්තිය සමනය වන කායික-මානසික ක්‍රියා තෝරා ගැනීමයි.

බටහිර චින්තනය අවසන් වසර 500 පමණ කාලයේ ඇති තරම් අකුසල් ශක්තිය වර්ධනය කර ඇත. ඔවුන්ට එහි බලපෑමෙන් මිදීමට පහසු නොවනු ඇත. ලෝක ධර්මතා ඉක්මවා යෑමට බටහිර විද්‍යාව, තාක්ෂණය හෝ වෙදකම අසමර්ථ බව අද අප දෑස් ඉදිරිපිටම සනාථ වෙමින් තිබේ. නුතනත්වය නමින් අකුසල් රැස් කිරීම ලොව පුරා ප්‍රචලිත කළ සහ ඒ වෙනුවෙන් නිර්මාණය කල නිව්යෝර්ක්, ලන්ඩන්, මැඩ්රිඩ්, මිලාන් නගර මේ ප්‍රශ්නයෙන් ගොඩ එනු ඇත්තේ මිලියන කිහිපයක මිනිසුන් ප්‍රමාණයක් මිය යෑමෙනි; දැනටමත් මිනිසුන් මැසි මදුරුවන් සේ මිය යෑම ඇරඹී ඇත; ඉදිරි සති කිහිපයේදී මළ මිනී ඉවත් කිරීමට පවා නිසි යාන්ත්‍රණයක් නැතිව මේ මහා නගර අර්බුදයට යනු ඇත; සෞඛ්‍ය සේවකයන් තත්වය දරා ගත නොහැකිව දැනටමත් සේවයෙන් ඉවත් වෙමින් ඇත.

තවත් මාස කිහිපයකින් එන්නතක් සොයා ගැනීම, දැනට වෙනත් රෝගයක් සඳහා ලබා දෙන ඖෂධයක් රෝගය පාලනයට යොදා ගැනීම හෝ ස්වභාවික ලෙස ප්‍රතිශක්තිය වර්ධනය වන තෙක් බලා සිටීම හැර නිශ්චිත විසදුමක් පේන තාක්මානයක නැත. අද බටහිර ලෝකය මේ මට්ටමින් හෝ කොරෝනාවට ඔරොත්තු දී ගෙන සිටින්නේ විදුලි බලයට සහ අන්තර්ජාලයට පින්සිදු වන්නටය. ඒ දෙක බිඳ වැටුනහොත් මේ වසංගතය හමුවේ නූතන ලෝකය කවර තත්වයකට ඇද වැටෙනු ඇතිද? අප වහ වහා සියවස් 25ක් රැකුණු, අප රැක දුන් සම්‍යක්දෘෂ්ටික මඟට පිවිසිය යුත්තෙමු.

– චන්න ජයසුමන FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස