කොරෝනා අස්සේ ඡන්ද ඕන නෑ! ඒ සල්ලිවලින් කොරෝනා මඩින්න! – කැෆේ

March 18, 2020 at 3:34 pm | by emanisa.lk

කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින වකවානුවක මහ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සුදුසු නොවන අතර මහ මැතිවරණය කල් තබන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් සඳහන් කළේ මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත මෙන්ම මැතිවරණ කොමිසම වෙත ද ලිපි යොමු කර ඇති බවය.

පවතින අවදානම්කාරී තත්ත්වය මත මැතිවරණ ව්‍යාපාර පැවැත් වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානයේ අදහසයි.

ජන්ද රැලි, ගෙන් ගෙට යාම, අත් පත‍්‍රිකා බෙඳීම් වැනි කටයුතු මඟින් කොරෝනා රෝගය පැතිර යාම තව දුරටත් වර්ධනය විය හැකි ය.එමෙන් ම මැතිවරණය පැවැත්වීමේ දී පවා දැඩි අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වන බව කැෆේ සංවිධානයේ අදහසයි.

නිසි ආකාරයේ නිරෝධායන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කොට මෙම වෛරසය පැතිර යාම සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු මැතිවරණය පැවැත්වීම නොකළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටියි.

මෙම වෛරසය හේතුවෙන් ලොව බොහෝ රටවල මැතිවරණ මේ වන විට අත්හිටුවා තිබේ. එලෙස මැතිවරණය අත්හිටුවා ඒ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සහ නිරෝධායන ක‍්‍රියාවලි සඳහා යොදාගත හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි.

මැතිවරණ පැවැත්වීමටත් ප්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමටත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටීම අත්‍යාවශ්‍ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගියදා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මෙසේ පැවසූ අතර කැෆේ සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් ද සජිත් ප්‍රේමදාසගේ කාර්යාලයේ දක්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස