ආණ්ඩුවේ සහන මල්ල තවත් බරවෙයි! සැමන් රු.80ට! පරිප්පු රු.40ට! අර්තාපල් ළුනු මිලත් පහළ දමන සූදානමක්!

March 21, 2020 at 10:23 am | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාව මුහුණ පා ඇති දුෂ්කරතා අවම කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හඳුන්වා දුන් ආර්ථික සහන තවත් ඉහළ නැංවීමට ආණ්ඩුව සූදානම් වන බව ඉහළ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගියදා ජනාධිපතිවරයා නියෝග කළේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යාමේ වාසිය සියලු දෙනාට ලබා දීම සඳහා පරිප්පු කිලෝවක මිල රු. 65 දක්වා ද සැමන් ටින් එකක මිල රු. 100 දක්වා ද අඩු කර අලෙවි කරන ලෙසය.

මෙම මිල අඩු කිරීම නිසා සැමන් සහ පරිප්පු ආනයනකරුවන්ට සිදුවූ පාඩුව ආණ්ඩුව පියවූ අතර රට පුරා සියලු වෙළෙඳසැල්හි අඩු මිලට සැමන් සහ පරිප්පු අලෙවි කිරීමට අවස්ථාව ලබා දී තිබිණි.

මේ නිසා තෙල් මිල පහළ යාම නිසා වාහන හිමියන් ඇතුළු සීමිත පිරිසකට හිමි වීමට නියමිතව තිබූ ආර්ථික වාසිය සියලු දෙනාට ලැබුණු අතර ජනතාවට එය මහත් සහනයක් විය.

මේ අතර ආණ්ඩුව සැමන් ටින් එක රු. 80කට සහ පරිප්පු කිලෝව රු. 40කට අලෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් ඇතැයි වාර්තා වෙයි. එම ආර්ථික සහනය කොරෝනා වසංගත තත්ත්වය පාලනය වන තුරු පවත්වා ගෙන යාමට ද රජය තීන්දු කර තිබේ.

එහෙයිනන් කිසිදු සිල්ලර හෝ තොග වෙළෙන්දෙකුට සැමන් සහ පරිප්පු තොග සඟවා ගෙන සිටීමේ කිසිදු වාසියක් අත් නොවන අතර එසේ සඟවාගෙන සිටියහොත් ඉදිරියේ දී එම භාණ්ඩ නව මිල ගණන් යටතේ පාඩු පිට අලෙවි කිරීමට සිදුවනු ඇත.

මේ වන විට මාස 3කට ප්‍රමාණවක් සැමන් තොග ද මාස 4කට ප්‍රමාණවත් පරිප්පු තොග ද රටට ලැබී ඇති නිසා එම භාණ්ඩ කිසිදු හිඟයක් ඇති වන්නේ ද නැත.

මේ අතර ආණ්ඩුව ලොකු ලූනු සහ අර්තාපල් මිල ද මේ ආකාරයටම පහත දැමීම සඳහා කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින බොහෝ දෙනාට මෙම සහන විශාල අස්වැසිල්ලක් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස