ලංකාවේ වෙසෙන චීන ජාතිකයන්ට කරුණාවෙන් සලකන්න! දුෂ්කර අවස්ථාවේ ඔවුන්ට සහයෝගය දෙන්න! බුදුදහම අපට ඒ පාඩම උගන්වනවා! – අස්ගිරි මහා සංඝ සභාව

February 5, 2020 at 8:55 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ජිවත් වන සියලුම චීන ජාතිකයින්ට කරුණාවෙන් සැලකිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමි පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ චීන ජාතිකයින්ට අවශ්‍ය උපකාර ඇත්නම් එය ඉටුකරදීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ වගකීම බවයි.

චීනය තුළ පැතිර යන කොරෝනා වෛරස් රෝගී තත්ත්වය පැතීරිම වැළැක්විම සඳහා සහ වැළදුණු රෝගීන් සුවපත් කිරිම සඳහා චීන රජය ඉතා සුළු කාලයක් තුළ ක්‍රියාත්මක වී ඇති බව අස්ගිරි නා හිමි පවසයි.

ශ්‍රී ලංකාවේ රජය ද රෝග ආශ්‍රිත ප්‍රදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනිම ප්‍රශංසනීය බවත් රජය රෝගී තත්ත්වය පැතීරිම වැළැක්වීම සඳහා ද අගනා සේවයක් ඉටු කරමින් සිටින බවත් උන්වහන්සේ පෙන්වා දෙයි.

චීනයත් ශ්‍රී ලංකාවත් අතර දිගුකාලීන සබඳතාවක් ඈත අතීතයේ සිට පවතින බැවින් මෙම බැරැරුම් අවස්ථාවේදී රෝගය පාලනය කිරිම සඳහා චීන ජාතිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරිම අප කාගේත් යුතුකම බවයි පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි පෙන්වා දෙයි.

බෞද්ධ නායකයින් වශයෙන් ආගමික වතාවත්වලින් මෙම රෝග බිය නැතිකරලීමට සෑම උත්සහයක්ම දරන බව පෙන්වා දෙන උන්වහන්සේ පවසන්නේ විශාලා මහනුවරට මාරාන්තික රෝග බියක් ඇති වු අවස්ථාවේ දී ලොව්තුරා සම්බුදු රජාණන් වහන්සේ දේශනාකොට වදාළ රතන සූත්‍රය මේ අවස්ථාවේ දී දේශනා කරන බවය.

අද(05) රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිදුකොට බියෙන් පසුවන ජනතාවට සෙත් පැතීම සඳහා කටයුතු කරන බව ද පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස