ජනාධිපතිවරණ අපේක්ෂකයෝ කවුරුවත් මා හමුවන්න එන්න එපා! මම දේශපාලන අතකොළුවක් කරගන්න කිසිවකුට බෑ! – කාදිනල්තුමා

July 31, 2019 at 4:10 pm | by emanisa.lk

පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අද (31) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කර සිටියේය.

“මුළු රටම කම්පනයට පත් කරමින් සිදුවු පාස්කු ඉරිදා ප්‍රහාරයට අද වන විට මාස 3ක කාලයක් ඉක්මවලා ගිහිල්ලා. ඒ නිසා ආර්ථිකය පවා කඩා වැටුණා. පළමුව කරන්න ඕනේ දේ කරලා ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. අද වන විට මේ ප්‍රහාරයේ බලපෑම සියලු දෙනාට අමතක වෙලා ගිහින්”

“ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්, පවුල්වල සාමාජිකයින් අහිමිවුවන් ළඟට ගොස් මම හැකි අයුරුන් ඔවුන්ව සනසාලන්නට කටයුතු කළා. ප්‍රහාරයේ වින්දිතයින්ට අවශ්‍ය වන්දි නෙමෙයි යුක්තියයි. මේ කුරීරු ත්‍රස්තවාදී ප්‍රහාරය සංවිධානය කළ, එයට අනුග්‍රහය දැක්වු හෝ බුද්ධි තොරතුරු හිතා මතා නොසලකා හරිමින් සිටි හෝ කුමන හෝ ආකාරයකින් මෙයට සම්බන්ධ වුවන්ට අද වන තෙක් කිසිදු දඬුවමක් ලැබීලා නැහැ. ඔවුන් නිදැල්ලේ සිටිනවා. ආණ්ඩු පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂය හා සෙසු සියලු පක්ෂ ප්‍රහාරය ගැන සම්පූර්ණයෙන් වගකිව යුතුයි”

“මේ වගේ අවස්ථාවක බලාපොරොත්තු වන්නේ එකි නෙකා ලකුණු දා ගැනීම නොවෙයි, සියලු දෙනා සහෝදරයන් වගේ එක්ව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමයි. එහෙත් ශක්තිමත් බලපෑමක් විරුද්ධ පක්ෂයෙන් ලැබුනේ නැහැ. මේ වන තෙක් ප්‍රහාරයන් ගැන කිසිදු වාර්තාවක් ජනතාව අතට ගොස් නැහැ. අපරාධකරුවන්ට අපක්ෂපාතී පුද්ගලයින්ගෙන් සමන්විත කොමිෂන් සභාවක් මඟින් දඬුවම් කරලා නැහැ. පවතින කොමිෂන් සභාවේ අපක්ෂපාතී බවක් හෝ විනිවිඳභාවයක් දක්නට ලැබෙන්නේ නැහැ. එවැනි පසුබිමක් තුළ ස්වාධීන කොමිෂන් සභාවක් ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට අත්‍යාවශ්‍යයි.”

“අපිට ඕනේ මැතිවරණ නෙමෙයි, අපිට ඕනේ සත්‍යය. ආණ්ඩු පක්ෂය හා සියලු දෙනා මෙම සිදුවීමත් රතු පලස මත සඟවා දැමීමට කටයුතු නොකර සියලු දෙනාට යුක්තිය ඉටු කළ යුතු වෙනවා. රතුපස්වල සිදුවීම් වාර්තා පවා ජනතාව අතට පත්වෙලා නැහැ. එනිසා එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධූර අපේක්ෂකයෙක් සියලු දෙනාට තමා ළඟට ඒමට අවශ්‍ය නැහැ. ජනතාවට මුදල් ලබා දී ඇඟ බේරා ගැනීමට නොහැකි, ජනතාවගේ හා රටේ උන්නතිය වෙනුවෙන් තාවකාලික ප්‍රයෝජන ගැන නොසිතා ජනතාව අනාගතයේ තීරණ ගනු ඇතැයි අපේක්ෂා කරනවා”

“කිසිදු දේශපාලන පක්ෂයකට මම අයිති නැහැ. ඇතැම් මාධ්‍ය හරහා මාව දේශපාල අතකොළුවක් බවට පත් කරන්න උත්සහ කරනවා. නමුත් මම ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් සැමදා කැප වෙනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස