කාතිවරයා කැමති නම් අද උපන් බිළිඳියක වුවත් විවාහ කරදෙන්න පුළුවන්! තාත්තාට තව කසාදයක් කරගන්න හිතුණොත් මහල්ලෙකුට දුව බන්දලා දෙනවා! – ගම්මන්පිලගෙන් ඇඟලොමු දැහැගැන්වෙන හෙළිදරව්වක්….

July 31, 2019 at 8:05 am | by emanisa.lk

මුස්ලිම් විවාහ නීතිය අනුව විවාහ නීතියේ පරිපාලකයා වන කාතිවරයාගේ කැමැත්ත මත අද උපන් සිඟිති බිළිඳියක් වුවත් විවාහ කරදිය හැකි වන පරිදි නීති සකසා ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දැමීම වෙනුවෙන් බිහි කළ වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය 28 වන දා කුරුණෑගල නගර ශාලාවේ දී පැවැත්වූ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

රිෂාඩ්ලා, සාලිලා,හිස්බුල්ලලා, සාෆිලා ගැන අපි නිතරම අහනවා. ඒ නිසා මම හිතුවා අද අපි කතා කරන්න අවශ්‍යයි මේ අපේ රටේ, මහත් ආඩම්බරයෙන් ශිෂ්ටාචාරය ගැන කතා කරන රටේ, තියෙන අශිෂ්ඨ නීතියක් පිළිබඳව. අපි මෙහෙම නීතියක් එක්ක ජීවත් වෙනවා කියන කාරණය පිළිබඳ තමුන්නාන්සේලා දැනුවත් කරන්න අවශ්‍යයි. ඒ තමයි මේ රටේ 1951 සිට ක්‍රියාත්මක වන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත. මේ පනත වෙනස් කරන්න ඕනෑ කියන හඬ පාස්කු ‌බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මුලින්ම රටට කිව්වේ විමල් වීරවංශ මන්ත්‍රිතුමාත් මමත් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් තියලා. අද අපි නගපු ඒ පුංචි ගිනිදැල්ල මහා ගිනි ජාලාවක් බවට පත්වෙලා අන්තවාදීන්ගේ හිස් මොළ රත්කරන තත්වෙට පත්වෙලා. අටලුගම මුස්ලිම් කාන්තාවන්ගේ අඳෝනාව ආවේ, බදුල්ලෙන් මුස්ලිම් කාන්තාවන් එලියට ඇවිල්ල මාධ්‍යයට දුක කියන්න එඩිය ආවේ ෆේරියල් අශ්රොෆ් මැතිනිය වැනි අයට තවදුරටත් බලා සිට නොහැකිව මුස්ලිම් කාන්තාවන්ගේ නායකත්වය දෙන්න අධිෂ්ඨානය ආවේ අපි මේ වහාබ් අන්තවාදයට එරෙහිව මේ පොළොවේ බීජයක් පැල කරපු නිසයි.

විවාහය ද? පාසල ද?

මොකක්ද මේ පනත. බොහෝ දෙනෙක් නම් දන්නෙ අපිට එකයි ඒගොල්ලන්ට හතරයි කියලා. කසාද බඳින විට අපිට එක බිරිදක් වුණාට මුස්ලිම් අයට හතරදෙනෙක් බඳින්න පුළුවන් කියලා තමයි මුස්ලිම් විවාහ නීතිය ගැන බොහෝ දෙනා දන්නේ. ඒකත් ඇත්ත තමයි. ඉන්න බිරිඳගෙන් අහන්නෙවත් නැතිව, ඉන්න බිරිඳට දැනුම් දෙන්නෙත් නැතුව, තවත් බිරින්දෑවරු තුනක් දක්වා ගේන්න මුස්ලිම් අයට නීතියෙන් ඉඩක් දීලා තියනවා.

තමුන්නාන්සේලාට මතක ඇති මැයි මාසයේ මුල් සතියේ විශේෂ කාර්ය බලකාය ගිහිල්ලා මීගමුවේ පොරුතොට සැකකටයුතු නිවසක් වට කළා ජනතාව දුන් ඔත්තුවක් මත. දැවැන්ත ගොඩනැගිල්ලක්. ගෙදර ගෘහමූලිකයා ආවාම ඔහුගෙන් මුලින්ම අහනවා මේ මොකක්ද? මේ මගේ ගෙදර කියලා ඔහු පිළිතුරු දෙනවා. හමුදාවත් පුදුම වෙලා අහනවා කවුද මේ ගෙදර ඉන්නේ කියලා. මගේ පවුලේ අය විතරයි. පවුලෙ කීයක් ඉන්නවද? නෝනලා 4යි ළමයි 28යි. රස්සාව? රස්සාවක් කරන්න බැනේ දෙයි හමුදුරුවනේ ළමයි 28යි නෝනලා 4යි බලාගන්න කොට. රස්සාවක් කරන්නේ නෑ පල්ලියෙන් ගෙදර වියදමට සල්ලි දෙනවා. ඒ බිරින්දෑවරු හතර දෙනෙක් ලබාගැනීමේ ආනිසංස. ඒක අපි හැමෝම දන්නවා.

හොඳයි ඔබ දන්නවද ලංකාවේ ඕනෑම විවාහයකදී, ඔබත් මමත් විවාහ වෙද්දි, අපි කියනවා අහවල් තැනැත්තිය මගේ බිරිද ලෙස භාරගන්නට මම කැමැතියි කියලා. එවිට බිරිඳ කිව්වා උදය ගම්මන්පිලව මගේ සැමියා විදිහට භාර ගන්න කැමතියි කියලා. නමුත් අහිංසක මුස්ලිම් කාන්තාවන්ගේ ඒ අයිතිය නෑ. මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ පොතේ මනමාලිට අස්සන් කරන්න තැනක් නැහැ. ඒ අයිතිය තියෙන්නේ තාත්තට හෝ පිරිමි භාරකරුවට. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ මිත්‍රවරුනේ. අපේ විවාහ නීතිය හැටියට නම් විවාහ වෙන්නට අවුරුදු 18 සම්පූර්ණ කළ යුතුය. නමුත් මුස්ලිම් විවාහ නීතියේ වසර දොළහකට වැඩි ඕනෑම දියණියක් කසාද බන්දන්න තාත්තට අයිතිය තියෙනවා.

මට මීට සති තුනකට කලින් මැදපෙරදිග ඉඳන් කාන්තාවක් එවුවා පණිවිඩයක්. ඇය කියනවා මම කන්තලේ වනේසා කියන මුස්ලිම් ගමේ. මගේ පුතාගේ පන්තියෙ ඉන්න අවුරුදු 12ක දියණියක් තාත්තා දුවගේ කැමැත්තකින් තොරව අවුරුදු හතලිස් ගානක වැඩිහිටි මුස්ලිම් මනුෂ්‍යයෙකුට බන්දන්න යනවා. ඒ දුව අඬ අඬා, පන්තියේ කියනවා, අනේ මට කසාද බඳින්න බෑ. මට මේව තේරෙන්නෙ නෑ. මට ඉස්කෝලෙ එන්ට ඕනෑ, මට විභාග වලට ලියන්ඩ ඕනෑ, මට ඕගොල්ලො එක්ක සෙල්ලම් කරන්න ඕනෑ, අනේ මාව බන්දලා දෙන එක නතර කරන්න කියලා. මේ පුතා අඬ අඬා පිටරට ඉන්න අම්මත් එක්ක තමන්ගේ යෙහෙළියගේ ඉරණම ගැන කියනවා. අම්මා මට මොනව හරි කරන්න පුළුවන් වෙයි කියලා හිතලා මට මේ පණිවිඩය එවනවා. මේ ආදරණීය අම්මාට මං පිළිතුරක් යැව්වා අනේ අම්මේ මමත් අසරණයි, මේ තාත්තා කැමති නම් දුව කෙතරම් පුංචි වුණත් දුව කෙතරම් අකමැති වුණත් දුවට සෙල්ලම් කරන්න පාසල් යන්න ඕන වුණත්. කසාද බන්දල දීම අපේ රටේ හැටියට නීත්‍යනුකූලයි. කරන්න දෙයක් නෑ. අම්මේ අපි මේ නීතිය වෙනස් කරගන්න සටන් කරනවා. ඔබ දන්න හිතමිතුරන්ට මේ නීතිය වෙනස් කරන සටනට සහයෝගය දෙන්න කියන්න.

කාතිවරයා කැමති නම් අද උපන් සිගිති බිළිඳියටත් විවාහයක් ?

ඒ විතරක් නෙවෙයි මුස්ලිම් විවාහ නීතිය අනුව කාතිවරයා කියලා කෙනෙක් ඉන්නවා. ප්‍රදේශයේම මුස්ලිම් පිරිමි කෙනෙක් පත් කරනවා විවාහ නීතියේ පරිපාලකයා විදිහට. මේ කාතිවරයා කැමති නම් අද උපන් සිඟිති බිළිඳියක් වුවත් කසාද බැන්දා දිය හැකියි. ආරාබියේ නෙවෙයි මිත්‍රවරුනේ සකල සිරින් පිරි ලංකාවේ. අද උපන් දියණියක් කසාද බන්දන්න පුළුවන් තාත්තා කැමති නම්. අද නැගෙනහිර පළාතේ ග්‍රාමිය ප්‍රදේශවල තාත්තා ලස්සන ගැහැණු ළමයෙක් දැක්කම තාත්තට දෙවැනි විවාහය කරගන්න ඕන උනාම තාත්තා මොකද කරන්නේ. අපේ වගේ නෙවෙයි මුස්ලිම් විවාහ නීතියේ දෑවැද්ද දෙන්නේ මනමාලයා විසින් මනමාලිගේ පැත්තට. අත්සන ගහන තාත්තට. තාත්තට දෙවෙනි විවාහයක් කරගන්න දැන් සල්ලි ඕන. මොකද කරන්නේ. පාසල් යන දියණිය කනෙන් ඇදන් ඇවිල්ලා කාට හරි වැඩිහිටි මනුස්සයෙක්ට බන්දලා දීලා මහර් කියන දැවැද්ද අරගෙන ඒ දෑවැද්ද තමන්ගේ හිත ගිය දියණියගේ තාත්තට දීලා ඒ ගෙදර ඉන්න පුංචි කෙල්ල ගෙදරට අරන් එනවා. නීත්‍යනුකූලයි. අද උපන් දියණියක් බන්දන්න පුළුවන් තරම් අශීලාචාර නීතියක් තියෙන රටක අපි ඉන්නෙ. ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවයි කියලා අපි ආඩම්බරයෙන් කියනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ ගිහින් කියනවා අපේ රටේ සාක්ෂරතාව ඉතා ඉහළයි අවුරුදු දහතුනක් අනිවාර්ය පාසල් අධ්‍යාපනය දෙනවා කියලා. පාසල් නොගිය සිඟිති දියණියක් කසාද බන්දන්න නීතියෙන් අවසර දෙනවා නම් කෝ මෙතන වසර 13නේ අනිවාර්ය පාසල් අධ්‍යාපනය.

ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනේ දික්කසාදයේදී සැමියා බිරිඳට තුන් වතාවක් තලාක් තලාක් තලාක් කියලා කිව්වොත් කසදය ඉවරයි. කිසිම හේතුවක් දක්වන්න අවශ්‍ය නැහැ. උදේ පාන්දර හිනාවුණේ නෑ කියලා හිතුණොත් ඒ හොඳටෝම ඇති. දැන් පොඩ්ඩක් නීතිය වෙනස් කරල තියෙනවා. සැමියට දික්කසාද වෙන්න ඕනේ නම් කතිවරයාට දැනුම් දෙන්න ඕන. එයා පළමු දින 30 තුළ මේ දෙන්නව සමගි කරන්න බලන්න ඕන. සමගි කරන්න බැරි නම් කතිවරයා ඉදිරියේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඉදිරියේ බිරිඳ හිටියත් නැතත් තලාක් තලාක් තලාක් කියලා කව්වම කසදේ හමාරයි. හැබැයි බිරිඳට එහෙම දික්කසාද වෙන්න බෑ. බිරිඳ කාතිවරයා ඉදිරියේ සැමියා තමන්ට කෘර ලෙස සලකනවා කියල ඔප්පු කරල පෙන්නන්න අවශ්‍යයි. කාතිවරයා කියන්නේ කවුද? ප්‍රදේශයේ ඉන්න තම සැමියගේ යාළුවෙක්. ඒ කාතිවරයා තවත් පිරිමි මුස්ලිම්වරු තිදෙනෙක් තෝරා ගන්නනවා. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. මේ අය ඉදිරියේ තමන්ගෙ නඩුව කියන්න ඕන. හැබැයි නීතීඥවරු ගෙනියන්න බෑ. කාතිවරයෙක් විදිහට කාන්තාවකට පත්වෙන් බෑ. අර තුන්දෙනාටත් කාන්තාවකට පත්වෙන්න බෑ. මේ කාන්තාවන් උසුලු විසුලුවලට ලක්වෙලා තමන්ගේ දික්කසාද වුවමනාව අකුල ගන්න සිදුවෙනවා.

සාලිට පිළිතුරක්

ඒ නිසා අද එය මේ විවාහ නීතිය වෙනස් විය යුතුයි කියලා අපි කිව්වාම අසාද් සාලි මහත්මයා අපිට කියනවා උඹලගේ වැඩක් උඹලා බලාගනිල්ලා අපේ නීතියේ අපි බලා ගන්නම් කියලා. අපි සාලි මහත්මයාට මතක් කරනවා මුස්ලිම්වරු ලංකාවට ආවේ බිරින්දෑවරු අරගෙන නෙවෙයි. ඔය බැන්දේ සිංහල අපේ අය. ඔය අපේ නැන්දලා, ඔය අපේ අක්කලා, ඔය අපේ නංගිලා ඒ අයට අමානුෂිකව සලකනවා නම් අපේ පපුව කකියනවා. අපේ නැන්දලා අක්කලා නංගිලා ගැන අපිට කැක්කුමක් නැත්නම් කාටද කැක්කුමක් තියෙන්නේ කියලා අපි සාලි මහත්තයාගෙන් අහන්න කැමතියි. ඒ නිසා අපේ සහෝදරියන්ට තවදුරටත් අමානුෂිකව සලකන්න මේ පිංබිමේ ඉඩදෙන්නේ නෑ කියලා අපි අසාත් සාලිට ප්‍රකාශ කරනවා මිත්‍රවරුනි.

මුස්ලිම් සමාජය සහ මේ ආණ්ඩුව වහාබ් අන්තවාදීන්ගේ ග්‍රහණයට

ඒ නිසා අපි කියනවා එක පිරිමියාට එක බිරිඳයි. කසාද වයස අවුරුදු 18යි. මනමාලිගෙ කැමැත්ත විවාහයට අනිවාර්යයි. සාධාරණ හේතුවක් නැතිව දික්කසාද කරන්න කාටවත් බෑ. කාතිවරුන් විදිහට කාන්තාවන්ට වැඩ කරන්න අයිතිය තිබිය යුතුයි. කාති උසාවියේ නීතිඥයන් හරහා කරුණු දැක්වීමේ අයිතිය තිබිය යුතුයි. 2009 අපේ ආණ්ඩුවෙන් මේ අශීලාචාර නීතිය වෙනස් කරන්න කමිටුවක් පත් කළා. මුස්ලිම් ලෝකයේ ඉන්න ඉහලම විද්වතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුෆ් ඒකට පත් කළා. කමිටුව රැස් වුණාම මේකට විද්වතුන් ඔක්කෝම ඒකගයි. රවුෆ් හකීම් මුස්ලිම් ක්‍රොම්රසයේ නායකයත් එකගයි. නමුත් උලමාවරුන් විරුද්ධ වෙච්ච නිසා මේ වැඩේ කරන්න බැරි වුණා. 2017 කමිටුව කියනවා අපි පක්ෂයි බහුතරය විරුද්ධයි වැඩේ කරන්න බෑ කියලා. අද ඒ නිසා මෙය නීතිය ක්‍රියාත්මක කරගන්න බැරුව හිර වෙලා තියෙනවා. මේකෙන් පේන්නේ මොකක්ද අද සලීම් මර්ෂුෆ් වැනි විද්දවතුන්ට රවුෆ් හකීම් වැනි දේශපාලන නායකයින්ට මුස්ලිම් සමාජයට බලපෑමක් කරන්න බෑ. මුස්ලිම් සමාජය වහාබ් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවෙලා ඉවරයි. අද ඔවුන් බේරාගැනීමේ සටනයි අපි මේ පටන් අරන් තියෙන්නේ. මුස්ලිම් සමාජය විතරක් නෙවෙයි අපේ හාමුදුරුවරු ද මේ ආණ්ඩුව වහාබ් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වෙලා ඉවරයි.

සහරාන් පරලෝකයේ ඉදන් හිතන හැටි

රිෂාඩ් බදුර්ඩින්ට නිශ්චිත චෝදනා 10ක් එක්ක අපි විශ්වාසබංග යෝජනවක් භාර දුන්නා. මොකද වුණේ කුණු ලොන්ඩරියක් දැම්මා තේරීම්කාරක සභාව කියලා. අපිට කිව්වා පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්න කියලා. අපි විශාල ෆයිල් දෙකක් අරන් ගිහිල්ලා බාරදුන්නා. පොලීසිය රිෂාඩ් බදුර්ඩින්ගෙන් ඒක ප්‍රකශයක් ගන්නේ නෑ. කිසිම විමර්ශනයක් කරන්නේ නැහැ. පොලිසිය තේරීම් කාරක සභාවට දැනුම් දෙනවා ඔහු වරදක් කළ බවට අපිට සාක්ෂි ලැබී නැත. ඔහු නිදහස්. මෙහෙයුම ගිහිල්ලා සහරාන් පරලෝකයේ ඉඳන් මෙහෙම හිතනවා ඇති, අපරාදේ මම මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත්තේ, ‌බෝම්බය සෙට් කරලා රිමෝට් කොන්ට්‍රෙල් එකකින් ඕක පුපුරවා හැරියා නම් මටත් මේ වගේ නිදහස් වෙලා ශෝක් ඒකකට ගෙදරට වෙලා ඉන්න තිබුණා කියලා.

මේ යන යැවිල්ලේ හැටියට අපේ හාමුදුරුවනේ කාදිනල්තුමායි සහ පල්ලිගිය අයයි වැරදිකරුවන් වෙලා මේ සියල්ලන් නිදහස් වෙනවා සිකුරුයි. ඒ නිසා නුදුරු මාස හතර ඇතුලත පත්වෙන අපේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ ජනාධිපති කොමිසමක් පත් කරනවා, අපක්ෂපාතීව විමර්ශනය කරලා, වැරදි කල සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් කරනවා. තුවාල වූ සෑම සිතක්ම සුවපත් කරනවා. ඒ ප්‍රතිඥාව අපි ලබාදෙන මේ අවස්ථාවේදී.

අපි මේ සටන නවත්වන්නේ නැහැ

අපි මුස්ලිම් සමාජයට කියන්නේ මුස්ලිම් සමාජය අද උණු ජල හැලියක තැම්බි තැම්බි පිච්චි පිච්චි ඉන්නේ. ඒ ලෝදිය හැලියෙන් වතුර බින්දු කිහිපයක් අපේ ඇඟට විසික් වීමක් විතරයි අප්‍රේල් මාසේ විසි එක් වෙනිදා උනේ. ඔබයි පිඩාවට පත්වෙලා ඉන්නේ. ඔබට අවශ්‍ය ආත්ම ශක්තිය ලබා දෙන්න අපි ලෑස්තියි. මේ වහාබ් අන්තවාදය කෙතරම් මඩ ගැහුවත් කෙතරම් තර්ජන ගර්ජන කරත් එය පරාජය කර අවසන් වන තුරු අපි මේ සටන නවත්වන්නේ නැහැ.

– අරවින්ද අතුකෝරල

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස