සයින්දමරුදු නගර සභාවක් කිරීම සාධාරණද?

February 16, 2020 at 9:03 am | by emanisa.lk

කල්මුනේ නගර සභාව බිහි වෙනවා 1987දි.. ඒ වෙනකොට සයින්දමරුදු තිබුනෙ වෙනම ගම් සභාවක් විදිහට.. කල්මුනේ නගර සභාව බිහි කරන කොට සයින්දමරුදු නගරයත් එයටම එකතු කරනවා.. පසුව 1999දි මේ කල්මුණේ නගර සභාව මහ නගර සභාවක් බවට පත් වෙනවා..

මේ කල්මුණේ මහ නගර සභාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 3කින් සමන්විත උනා.. ඒවා නම් කල්මුණේ (මුස්ලිම් ජන අනුපාතය 99%), කල්මුණේ උතුර (දෙමළ ජන අනුපාතය 99%), සයින්දමරුදු (මුස්ලිම් ජන අනුපාතය 100%)

නමුත් කල්මුණේ මහ නගර සභාව ක්‍රියාත්මක වන විට වැඩි බලය හිමි වූ කල්මුණේ කොට්ඨාශය බල කේන්ද්‍රය වන විට සයින්දමරුදුවට ලැබුනේ කුඩම්මාගේ සැලකිලි තමයි.. ප්‍රධාන තනතුරු හැම විටම ගියේ කල්මුණේට.. ඒ නිසාම එදිනෙදා නගර සභා කටයුතු වලදී තමන්ට අඩු සැලකිලි ලැබෙන බව සයින්දමරුදු වැසියන්ට තව තවත් දැනෙන්න ගත්තා.. එහි අනිවාර්ය ප්‍රතිපලය උනේ කල්මුණේ මුස්ලිම් කොංග්‍රස් බල අධිකාරියට එරෙහිව සයින්දමරුදු මුස්ලිම් ජනතාව වෙනත් මුස්ලිම් නායකයන් වටා කේන්ද්‍රගත වීම සහ සයින්දමරුදුවට තනි පලාත් පාලන ඒකකයක් ඉල්ලා සිටින තැනට එම ජනතාව තල්ලු වීම..

2015 ජනාධිපතිවරණයේදී එම ඉල්ලීම සයින්දමරුදුවේ ප්‍රධාන සටන් පාඨය වූ අතර එම ඉල්ලීම ඉටු කරන බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ පොරොන්දු උනා.. නමුත් එම ආණ්ඩුව තුල නැගෙනහිර මුස්ලිම් බලයේ ආධිපත්‍යය හිමි කර ගෙන සිටි මුස්ලිම් කොංග්‍රසය සයින්දමරුදු ජනයාගේ ඉල්ලීම ඉටු කරන්න එම ආණ්ඩුවට ඉඩ තැබුවේ නැහැ..

කල්මුණේ මේ බල අරගලයේ නියම ස්වරූපය එලියට එන්නේ 2018 පලාත් පාලන මැතිවරණයේදි.. මුස්ලිම් කොංග්‍රසය සටනට එන්නෙ අලියා ළකුණෙන්.. සයින්දමරුදු ප්‍රදේශයේ පිරිස සටනට එනවා දොඩම් ගෙඩිය ළකුණ යටතේ ස්වාධීන කණ්ඩායම අංක 4 න්..

අවසාන ප්‍රතිපලයෙදි කල්මුණේ මුස්ලිම් කොට්ඨාශ සියල්ල ජය ගන්න අලියාගෙන් ආ මුස්ලිම් කොංග්‍රසය නගර සභාවේ ආසන 12ක් හිමි කර ගන්නවා.. නමුත් සයින්දමරුදුවේදී ඔවුන් අන්ත පරාජයක් ලබනවා.. දොඩම් ගෙඩියෙන් ආ ස්වාධීන කණ්ඩායම අංක 4 සයින්දමරුදුවේ සියළු කොට්ඨාශ 90%ක සාමාන්‍යයක් තියා ගෙන දිනන්නෙ සමහර කොට්ඨාශ වලදි 95% කටත් වඩා ලබාගෙන.. ඔවුන් නගර සභාවෙ ආසන 9ක හිමිකාරයො වෙනවා.. එතනදිත් සයින්දමරුදු මුස්ලිම් නියෝජනය හලලා දාන මුස්ලිම් කොංග්‍රසය දෙමළ සන්ධානය එක්ක සෙට් වෙලා තනතුරු බෙදා ගෙන නගර සභාවෙ බලය පිහිටවනවා..

ඊළඟට එනවා 2019 ජනාධිපතිවරණය.. එහිදී සයින්දමරුදු ජනතාවට කථා කරපු එවකට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ තම අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති උනොත් නියත වශයෙන්ම සයින්දමරුදුවේ ජනතාවගේ ඉල්ලීම ඉශ්ඨ කරන බවට පොරොන්දු වෙනවා.. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වෙනමම රැස්වීමක් සයින්දමරුදුවේ තියලා එකඟතා ලියවිල්ලකටත් එහිදී අත්සන් තබනවා..

දැන් සමහරු අහනවා නේ සයින්දමරුදුවේ මුස්ලිම් මිනිස්සු ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දුන්නද කියලා..

ඔව්.. දුන්නා විතරක් නෙවි සයින්දමරුදුව සමස්ථයක් ලෙස ජය ගන්නෙත් ගෝඨාභය රාජපක්ෂ..

කොහොමද එහෙම කියන්නෙ.. ඒ කියන්නෙ මෙහෙම.. 2018 දි සයින්දමරුදුව 90% කින් ජයගන්න ස්වාධීන කණ්ඩායම අංක 4 ගන්නෙ ඡන්ද 13,239යි.. ජනාධිපතිවරණයේදි ඒකෙන් ඡන්ද 7286ක් ගෝඨාභය රාජපක්ෂ ගන්නවා.. ඒ කියන්නෙ සයිදමරුදුවේ ඡන්ද වලින් 50% ක් විතර.. එහෙම වෙන්නෙ සජිත් ප්‍රේමදාසත් ඇවිත් ඒ පොරොන්දුවම දීලා තිබුන තත්වයක..

දැන් සමහරු අහන්න පුළුවන් ඊට කලින් පොදුජන පෙරමුණට කල්මුණේ ඡන්ද තිබුනෙම නැද්ද කියලා.. තිබුනා.. 2018 දි කල්මුණේ සම්පූරණ නගර සභාවටම තිබුනා ඡන්ද 96ක්.. සයින්දමරුදුවේ තිබුනා ඡන්ද 3ක්..

ගෝඨාභයට ඒ මිනිස්සු ඡන්දෙ දීපු නිසාම නෙවි සයින්දමරුදුවට වෙනම නගර සභාවක් දෙන්න ඕනැ.. නගර සභාවක් ලබා ගන්න ඕනැ මූලික සුදුසුකම් ඔවුන් සපුරගෙන තිබුනා.. රජය පිළිගත් නිර්නායක අනුව ඕනැ කරන 25000+ ජනගහනය, 2000+ ජන ඝණත්වය, 6000+ නිවාස ගණන වගේ සියළු අවශ්‍යතා සයින්දමරුදුවට තියෙනවා.. ඔවුන්ට නොතිබුන එකම දේ හකීම්ලගෙ දේශපාලන බල පරාක්‍රමය අභිබවා යෑමට තරම් ශක්තියක්..

තමන්ගේ ඉල්ලීම ලැබුනටත් වඩා සයින්දමරුදු ජනතාවට පාරට බැහැලා රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කන්න ඕනැ උනේ තමන්ව යට කරන් හිටපු හකීම්ලාගේ බල පරාක්‍රමයේ බිඳ වැටීම සමරන්න.. ඇයි මුංට මෙච්චර සතුටක් කියලා මෙහේ ඈයොන්ට හිතා ගන්නත් බැරි මේ නියම කථාව නොදන්න නිසයි.. ඔව් ඇත්තටම සෙලිබ්‍රේට් කරන්න ඕනැ හිතුවෙවත් නැති වැඩක් තමයි උනේ..

(මේ රූපෙ තියෙන්නෙ ජනාධිපතිවරණෙ ගෝඨාභයගෙ 2019 ඔක්තෝම්බර් 25 සයින්දමරුදු මහා ජනරැළියට ආ එහි ජනතාව..)

චින්තන විශ්වනාත්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස