වැට් බද්ද 8%ට අඩුකර දුරකතන බදු ඇතුළු බදු වර්ග ඉවත් කරනවා! දේශීය විද්වතුන් සමග එකතු වී රටට ඔබින බදු ප්‍රතිපත්තියක් හදනවා! – ගෝඨා

October 18, 2019 at 7:02 am | by emanisa.lk

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ ආර්ථිකය දියුණු කිරීමට පැහැදිලි සැලැස්මක් තමන් ඉදිරිපත් කර ඇතැයි ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ‘සාර්ථක දැක්මක් – වැඩ කරන රටක්’ තේමාව ඔස්සේ ඊයේ (17) පස්වරුවේ කුලියාපිටියේ සංවිධානය කර තිබූ ජනහමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

2005 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතා රට භාර ගත්තේ විශාල අභියෝග රැසක් මැදයි. ඒ අභියෝගවලට මුහුණ දෙන්නට හැකියාව ලැබුණා. අවුරුදු ගණනාවක් තිස්සේ ඇදීගිය ත‍්‍රස්තවාදය පරාජය කරලා රටට සාමය ගෙනාවා. ඉතිහාසයේ කිසි දිනෙක නොදැකපු යටිතල සංවර්ධනයක් රටේ ඇති කළා. ඒ වගේම දැනට ලැබී තිබෙන අභියෝග විසඳන ආකාරය පැහැදිලිව අප ඉදිරිපත් කරලා තිබෙනවා. අපි පොරොන්දු දෙන්නේ ක‍්‍රියාත්මක කරන්නයි.

මේ රටේ ආරක්‍ෂාව නැවත තහවුරු කරන්නට, ආර්ථික වශයෙන් රට සංවර්ධනය කරන්නට පැහැදිලි ආර්ථික සැලැස්මක් අප ඉදිරිපත් කර තිබෙනවා. මේ රජයට කිසිම ප‍්‍රතිපත්තියක් නැහැ. ගොවි ජනතාව වත්මන් ආණ්ඩුවෙන් අපහසුතාවකට පත්වෙලා. අප ඉදිරියේදී ගොවීන් වෙනුවෙන් සහන රැසක් ලබා දෙනවා.

මේ ලබාදෙන සහන නිසි ප‍්‍රතිඵල ලබා ගැනීමෙන් දෙන පොරොන්දු පමණයි. ඡන්ද ලබා ගැනීමේ අරමුණින් අපි පොරොන්දු ලබා දෙන්නේ නැහැ. සහන මිලට පොහොර දුන්නා. ඉදිරියේදී අපි පොහොර නොමිලේ ලබා දෙනවා. ගොවීන්ගේ ණය කපා හරිනවා. ගොවි ජනතාව වෙනුවෙන් දිරිමත් කිරීමට රක්‍ෂණ, ණය ක‍්‍රම ඇති කරනවා. නවීන තාක්‍ෂණය ගොවීන්ට හඳුන්වා දෙනවා.

අපේ රට ආහාරවලින් ස්වංයපෝෂිත කළ යුතුයි. ආහාර සුරක්‍ෂිතතාව ලෝකයට වගේම අපේ රටටත් වැදගත්. ගොවීන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමටයි මේ සහන අපි ලබා දෙන්නේ. මේ රජයේ බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් අසරණ වෙලා. ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසාකයන්ට ආයෝජන අවස්ථා ලබාදෙමින් බදු ප‍්‍රතිපත්තිය සරල කරනවා.

විවිධ බදු වර්ග, දුරකථන ඇතුළු බදු ඉවත් කරලා බදු ක‍්‍රමය සරල කරනවා. විදේශීය විශේෂඥයන් විසින් සකස් කළ බදු ප‍්‍රතිපත්ති මේ රටට ගෙනැත් ජනතාව අසරණ කර තිබෙනවා. අපි දේශීය විද්වතුන් සමඟ සාකච්ඡා කරලා සකස් කළ වෙනස් නොවන බදු ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා.

වැට් බද්ද සියයට 20 සිට සියයට 11 දක්වා අඩු කළා. යළිත් මේ රජය වැට් බද්ද සියයට 15 ක් දක්වා වැඩි කළා. අපේ රජයක් යටතේ වැට් බදු සියයට 8 ක් දක්වා අඩු කරනවා. කෘෂිකර්මාන්තය අදාළ සියලුම බදු ඉවත් කරනවා. රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමට නව ව්‍යාපාර ඇති කිරීමට බදු සහන ලබා දෙනවා. රටේ ආර්ථිකය දියුණු කිරීමට නම් රටක ස්ථාවරත්වයක් ඇති විය යුතුයි.

එහෙම නොවුණොත් ආයෝජකයන් අපේ රටේ ආයෝජනය කරන්නේ නැහැ. දේශීය කර්මාන්තකරුවා ආරක්‍ෂා කරන ප‍්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. විදේශීය කර්මාන්තකරුවන්ට අවස්ථාව ලබා දෙන්නේ දේශීය කර්මාන්තකරුවාගේ ආරක්‍ෂාව සැලකිල්ලට ගෙන ගෙනයි. ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත්වන විට අවස්ථා රැසක් අපට ලබාගන්න පුළුවන්. එහිදී මිනිස් සම්පත කෙරෙහි අප අවධානය යොමු කරනවා.

අද තරුණ තරුණියන් විශාල පිරිසක් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු අතරමං වෙනවා. අපි තරුණ තරුණියන්ගේ නිපුණත්වය වැඩි කිරීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙන බවට පොරොන්දු වෙනවා. සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ සමත්ව සිටින සිසු සිසුවියන්ට නිපුණත්වයක් ලබාදී රැකියා අවස්ථා ලබා දෙනවා.

ඔවුන්ට හොඳ වේතනයක් ලැබෙන පරිදි රැකියා අවස්ථා බිහි කරනවා. සමාජයේ අතරමංව සිටින තරුණ තරුණියන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් අප ක‍්‍රියාත්මක කරනවා. රටේ ආරක්‍ෂාව ඇතුළු සංවර්ධන ක‍්‍රියාවලිය වෙනුවෙන් සැලසුම් සකස් කර අවසන්. අපට හොඳ නායකත්වයක් තිබෙනවා. නිවැරදි තීන්දු තීරණ ක‍්‍රියාත්මක කළ හැකි හොඳ කණ්ඩායමක් අප සතුව සිටිනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස