අකාර්යක්ෂම පාලනය නිසා තේ කර්මාන්තය දැවැන්ත අර්බුදයක! කම්හල් හිමියෝ විසඳුම් ඉල්ලා විපක්ෂ නායක හමුවෙති!

May 30, 2019 at 8:28 am | by admin

දකුණු පළාත් තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (28) දින පස්වරුවේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී සිදු විය.

තේ කර්මාන්තශාලා හිමියන් මේ වනවිට මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

මේ වනවිට තේ කම්හල්වල නිෂ්පාදන ධාරීතාව සහ නැවත වගා කිරිම අතර තිබු සමතුලිතතාව බිඳ වැටීම හේතුවෙන් තේ කර්මාන්තශාලා ආශ්‍රීතව දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, නව තේ කම්හල් බිහිවීම හා පවතින තේ කම්හල්වල ධාරිතාව වැඩි කිරීම විධිමත් අයුරින් සිදු නොවීම මෙයට හේතු වී ඇති බවත් ඔවුහු මෙහිදී පෙන්වා දෙන ලදී.

එසේම මේ හේතුවෙන් තේ කර්මාන්තයෙහි ගුණාත්මක තත්ත්වය බිඳ වැටී ඇති බවද ඔවුන් පෙන්වා දෙන ලදී.

තවද, තේ සංවර්ධන අරමුදලේ සිදුවන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳවත්, විෂය අවබෝධය සහිත ඇමතිවරයකු නොමැති වීම හේතුවෙන් ඇති වී ඇති ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ජාවට ලක් විය.

2005 – 2015 කාල සීමාව තුළදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දුන් සහන ඔවුන්ගේ ව්‍යාපාර සඳහා විශාල රුකුලක් වු බව ප්‍රකාශ කළ දකුණු පළාත් තේ කර්මාන්තශාලා හිමියන් 2018 වසර අගභාගයේදී කෙටි කාලයක් තුළ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා දුන් පොහොර සහනාධාරයද මෙහිදී ඇගයිමට ලක් විය.

තම කාල සීමාව තුල ව්‍යාපාරික ප්‍රජාව වෙත සලසා දුන් බදු සහන බොහොමයක් මෙම රජය මගින් අහෝසි කර ඇති බවත්, ඉදිරියේදී පත්වන ආණ්ඩුවකින් බදු අය කිරීම විධිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් විපක්ෂනායකවරයා මෙහිදි ප්‍රකාශ කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස