“අපේ එකෙක් මොන අපරාධය කළත් දඬුවම් කරන්න බෑ! අපි ඊට විරුද්ධව නැඟී සිටිනවා!” කියන පණිවුඩය ඇමති රිෂාඩ් නිසා ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ලබා දුන්නා…

June 9, 2019 at 10:57 am | by emanisa.lk

මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වී මුස්ලිම් ජනතාව සහ ත්‍රස්තවාදීන් අතර සීමාව මකා දැමූ බවත් ඒ පිටුපස මුස්ලිම් ඇමතිවරුන් අල්ලේ නටවන විදේශීය බලවේගයක් ඇති බවත් නීතිඥ උදය ගම්මන්පිල (07) දින පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

“විදේශීය බලපෑම් පිළිබඳ කතා කිරීමට හොඳම ආරම්භයක් ලෙස මා කල්පනා කරන්නේ පසුගිය සඳුදා ආණ්ඩුවේ සිටි සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉවත් වීමේ සිද්ධියයි. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව මෙරට කිසිවෙක් මුස්ලිම් ජනතාව වෙත ඇඟිල්ල දිගු කළේ නැහැ. මුස්ලිම් ජනතාව දෙස වෛරයෙන් බැලුවද නැහැ. ත්‍රස්තවාදීන්ටද නීතිය ක්‍රියාත්මක කරන්න. ජාති ආගම් භේදයකින් තොරව සමස්ත ජාතියේම ඉල්ලීම වූයේ එයයි.”

“නමුත් අපි දැක්කා විමර්ශනවලට බලපෑම් එල්ල වන බවට මාධ්‍යවලින් තොරතුරු හෙළි වෙනවා. දේශපාලකයන් ත්‍රස්තවාදීන් රකිනවා පෝෂණය කරනවා යැයි චෝදනා එල්ල වුණා. සිංහල සමාජය දෙමළ සමාජය තුළ වෛරයක් ඇති වෙන්න ගත්තා. සාමාන්‍ය මුස්ලිම් ජනතාව දෙසත් සැකයෙන් බලන්නට ගත්තා. මුස්ලිම් කඩ වර්ජනය කළ යුතු යැයි මත ඇති වුණා. අපිට එදා අවශ්‍ය වුණේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව වෙත එල්ල වන මේ සැකය හා වෛරය අන්තවාදීන් වෙත යොමු කරලා සාමාන්‍ය මුස්ලිම් ජනතාව සහ අන්තවාදීන් රේඛාවකින් වෙන්කරන්නට.”

“මේ පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරු විසි එක් දෙනෙක් සිටියා. අමාත්‍යවරුන් නව දෙනෙක් සිටියා. නමුත් අපි ඉලක්ක කළේ එකම එක අමාත්‍යවරයෙක් විතරයි. ඔහුටත් අපි හැඟීම්බර චෝදනාවලින් දමල ගැහුවෙ නැහැ. දින වකවානු නම් ගම් සහිත නිශ්චිත චෝදනා තමයි ඔහුටත් ඉදිරිපත් කළේ. එම චෝදනා ඉදිරිපත් කරලා අප විශ්වාසභංගයේ අවසානයට කියන්නේ රිශාඩ් බදුර්දීන් අමාත්‍යවරයා ඇමතිධූරය දැරීම ත්‍රස්ත විමර්ශන කටයුතුවලට බාධාවක් ලෙස පෙනී යන බැවින් එම විමර්ශනවලට බාධාවක් නොවීමට අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවයි. ඔහු ඇමතිධුරයෙන් ඉවත් වූවා නම් හොඳයි. ඉවත් නොවුණු නිසා ඉවත් කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කළා. මැයි 16 අප ඉදිරිපත් කළ එම විශ්වාස භංග යෝජනාවට අපට දින ලබා දුන්නේ ජුනි මාසයේ 18 සහ 19 යන දිනවල විවාද කිරීමටයි.”

“ඒ අතර තේරීම් කාරක සභාවක් පත් කරලා රිෂාඩ් බදුර්දීන් අමාත්‍යතුමා සුද්ද කිරීමේ කාර්යයකට ආණ්ඩුව පෙළඹුණා. මේ ගරු පාර්ලිමේන්තු ඉතිහාසය පුරා විශ්වාසභංග විසිපහක් විවාදයට අරගෙන තියෙනවා. ඒ කිසිවක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යොමු කර නැහැ. යම් මන්ත්‍රිවරයෙක් වැරදිකරුද නිවැරදිකරුද යැයි තීරණය කිරීමට තේරීම් කාරක සභාවට බැහැ. මැති ඇමතිවරුන්ට එරෙහිව චෝදනා නැගෙනවා නම් ඒවා විමර්ශනය කළ යුත්තේ පොලිසිය මිස තේරීම් කාරක සභා නොවෙයි. අමාත්‍යවරයෙකුට එරෙහිව චෝදනා අභිචෝදනා ගොනු කළ යුත්තේ නීතිපතිවරයා මිස තේරීම් කාරක සභාවක් නොවේ. ඒ අමාත්‍යවරයා වැරදිකරුද නිවැරදිකරුද යන අවසන් නිගමනය ලබාදිය යුත්තේ ගරු අධිකරණය මිස තේරීම් කාරක සභාව නොවේ.”

“ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව මාසයක් පැත්තට තල්ලු කර දමලා තේරීම් කාරක සභාව කුණු හෝදන ලොන්ඩරියක් කරලා රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා ශුද්ධ පවිත්‍ර කිරීමේ වගකීම බාර ගැනීමෙන් සමාජය තුළ විශාල කෝපයක් ඇති වුණා. සමාජය පුරාම විරෝධතා මතු වුණා. එහි උච්චස්ථානය තමයි අතුරලියේ රතන හාමුදුරුවෝ මාරාන්තික උපවාසයකට එළඹීම. එම උපවාසය ඇරඹුණාට පස්සේ සහෝදර මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් ලැබිය යුතු උපදෙස වී තිබුණේ “ඔබ අමාත්‍යධූරයෙන් ඉවත්වෙන්න. මෙවැනි අවස්ථාවල අනෙකුත් අමාත්‍යවරුන් කළා මෙන් අමාත්‍ය ධුරයෙන් ඉවත්වී චෝදනාවලට මුහුණ දීලා නම පිරිසුදු කරගෙන ඇවිත් අමාත්‍ය ධූරය බාරගන්න.” එහෙම උපදෙසක් දෙනවා වෙනුවට අනෙක් අමාත්‍යවරුන් කළේ සියලු දෙනාම එකට එකතු වී ඉල්ලා අස්වීමයි. එම ඉල්ලා අස්වීම හරහා මේ රටට ලෝකයට ඔවුන් ලබාදුන් පණිවුඩය තමයි මොන තරම් වරදක් කර තිබුණත් අපේ එකෙකුට ඇඟිල්ලක් දිගු කිරීම තහනම්. අපේ එකෙකුට චෝදනා එල්ල කළහොත් ඔහු කෙතරම් ලොකු වරදක් කර තිබුණත් කොන්දේසි විරහිතව අප ඔහුව රැක ගන්නවා කියන පණිවිඩයයි මුස්ලිම් අමාත්‍යවරුන් ලබාදුන්නේ. මෙම ක්‍රියාවෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව හා අන්තවාදීන් වෙන් කරමින් අප විසින් ඇඳි බෙදුම් රේඛාව ඔවුන් විසින් මකා දමා තිබෙනවා. අපි ඔක්කොම එකයි කියන පණිවිඩය සමාජයට ලබා දෙමින් තියෙනවා.”

“මේ අමාත්‍යවරුන් සියලු දෙනා එකට ඉල්ලා අස්වීමෙන් මුස්ලිම් කඩ වර්ජනය නතර වේවි ද නැත්නම් ඉහළ යාවිද. මුස්ලිම් සමාජය දෙස සැකයෙන් වෛරයෙන් බලන ආකල්ප නතර වේවිද එහෙම නැත්නම් වැඩි වේවිද. මේ ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් මෙම ප්‍රශ්න පිළිබඳ තමන්ගේ අවධානය නැවත වතාවක් යොමු කිරීම වැදගත් කියලා අප හිතනවා.”

“විශේෂයෙන්ම කබීර් හෂීම් අමාත්‍යවරයා වගේ සිංහල දෙමළ ඡන්දවලින් පත්වෙච්ච අමාත්‍යවරයෙක් සිංහල දෙමළ ජනතාව විශාල වශයෙන් මිය ගිය පාස්කු ප්‍රහාරය පිළිබඳ චෝදනා එල්ල වූ අමාත්‍යවරයෙක් රැකීමට ඉදිරිපත් වෙලා. මේක එතුමන්ලා ගත්ත තීරණයක් නොවෙයි. මෙය යම් විදේශීය බලපෑමකින් ගත්ත තීන්දුවක් කියන සාධාරණ සැකය අපට තියෙනවා. අපේ මුස්ලිම් අමාත්‍යවරුන් අල්ලේ නටවන විදේශීය බලවේග කුමක්දැයි කියන ප්‍රශ්නයට තොරතුරු සොයාගැනීම අපේ බුද්ධි අංශවලට බාර වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස