ආණ්ඩුව ආයෙත් ගොඩින් නොව මඩින්ම එයි! කුප්‍රකට මඩ මීඩියා ඇමති අවලාද මෙහෙයුම අරඹයි!

October 15, 2019 at 2:33 pm | by emanisa.lk

වසර 5කට අධික කාලයක් රට පාලනය කළ ද ජනතාව හමුවට ගොස් තමන් රටේ දියුණුවට මෙය කළේ යැයි කීමට කිසිවක් නොමැති ආණ්ඩුව සුපුරුදු ගරිල්ලා මාර්කටි මඩ අවලාද ව්‍යාපරය ආරම්භ කර තිබේ. සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාර අරමුදල් රු. කෝටි ගණනක් දැනටමත් ඒ වෙනුවෙන් පොම්ප කර තිබේ.

මෙහි විශේෂත්වය 2015 වසරේ මහින්ද රාජපක්ෂ රජයට එල්ල කළ චෝදනා පත්‍රයම නැවත මඩේ දමමින් හෝදමින් හතර අතේ ගැසීමය. වසර පහක් තිස්සේ 2015 තමන් එල්ල කළ කිසිදු චෝදනාවක් සනාථ කර ගැනීමට ආණ්ඩුව අසමත් වූවා පමණක් නොව එම අසත්‍ය චෝදනා මත පදනම්ව ගොනු කළ බොහෝ නඩු අධිකරණය නිෂ්ප්‍රභ කළේය.

ආණ්ඩුව දේශපාලන පලිගැනීම් සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විරුද්ධ පක්ෂය ඉලක්ක කර මෙම නඩු දැමූ බව ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුව යටතේ සේවය කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, සුහද ගම්ලත් සහ ලැසිල් ද සිල්වා වැනි රාජ්‍ය නිලධාරීන්ය. මේ ආකාරයට අධිකරණයට ද බලපෑම් කරමින් දියත් කළ දේශපාලන දඩයම තුළ වුවද 2015 මැතිවරණ සමයේ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එල්ල කළ කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට ඔවුන්ට කිසිදු හැකියාවක් ලැබුණේ නැත.

එහෙත් සුදු වෑන්, පවුල් පාලනය, වංචා දූෂණ, ඒකාධිපති පාලනය, මාධ්‍ය දඩයම ආදී චෝදනා නැවතත් මුදල් වියදම් කරමින් පතුරුවති. ජනාධිපතිවරණය දක්වා දිනකට මඩ පෝස්ටර් 36ක් සමාජ මාධ්‍ය යොදාගෙන බෙදා හැරීමේ කටයුතු දැනටමත් කටයුතු ආරම්භ කර තිබේ. මේ පිටුපස සිටින්නේ රනිල්ට බෑ යැයි රටේ ජනමතයක් හැදූ මඩ අවලාද මාධ්‍ය මෙහෙයුම්වල ලාංකේය ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වෙන කුප්‍රකට ඇමතිවරයා සහ ඔහුගේ අන්තේවාසික ගජයෙකි. ඒ සඳහා ජනප්‍රිය ෆේස්බුක් පිටු මිලයට ගැනීමට සහ සමාජ මාධ්‍යවල ජනප්‍රිය මාධ්‍යවේදීන් මිලයට ගැනීමට එජාපය දැනටමත් අති විශාල ධනස්කන්ධයක් වැය කර තිබේ.

එහෙත් මෙවැනි මඩ මෙහෙයුම්වලට හසු වී 2015 ජනවාරියේ රෑ වැටුණු වළට, 2015 අගෝස්තුවේ මහ දවල් ඇද වැටුණු වළට නැවත පැනීමට මේ රටේ ජනතාව සූදානම් නැත. ඇල්පිටියේ ජනතාව එජාපයට ඇල්පිටියෙන් ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය ලබා දෙමින් කියා දුන්නේ ඒ පාඩමය. ආණ්ඩුව මුළු රටම සිමෙන්ති, බ්ලොක් ගල්, රැකියා, ඉඩම්, වන්දනා ගමන් බෙදන එකම දන්සැලක් කළ ද ජනතා තීන්දුව ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි බව තහවුරු වී අවසානය.

ජනතාවට මෙවැනි තීන්දුවක් ගැනීමට හේතු කිහිපයක් බලපෑ බව පෙනේ. 2015 එල්ල කළ චෝදනා කිසිවක් වසර පහක් බලයේ සිටිය ද ඔප්පු කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට ආණ්ඩුවට හැකි වූයේ නැත. එසේම මෙම චෝදනා සහ එම චෝදනා පදනම් කරගෙන පැවරූ නඩු ආණ්ඩුවේ දේශපාලන බලපෑම් මත දේශපාලන දඩයම සඳහා ම ගොනු කළ බව ඒ උදෙසා යොදාගත් දිල්රුක්ෂි ඩයස් වැනි අය විසින් රටට පාපෝච්චාරණය කර අවසානය. එම චෝදනා අසත්‍ය බව සක්සුදක් සේ පැහැදිලිව තිබිය දී නැවත තමන් ඇන්දීමට සූදානම් වීම ජනතා තවත් නම් ඉවසන්නේ නැත. ඒ සියල්ලටම වඩා බොරුවෙන් ආණ්ඩුව අරගෙන බොරුවෙන්ම රට පාලනය කළ වර්තමාන ආණ්ඩුව රට විශාලා මහනුවරක් බවට පත්කර ඇති බව ජනතාව අවබෝධ කරගෙන අවසානය.

එහෙයින් 2015 දී රටේ බලය අල්ලා ගැනීමට එල්ල කළ අභූත චෝදනාවලියම කිසිදු හිරිකිතයක් නැතිව නැවත විරුද්ධ පක්ෂය වෙත දමා ගැසීම ආණ්ඩුවට මැතිවරණයේ දී පරාවළල්ලක් වනු නියතය. දැන් ඇල්පිටියේ ජනතාව මෙන්ම රටේම ජනතාවම මග බලා සිටින්නේ වැඩබැරි ආණ්ඩුවේ මඩ අවලාද ව්‍යාපාරයට කදිම පාඩමක් උගන්වා රටට කොන්ද පණ ඇති නියම නායකයෙකු පත්කර ගැනීම සඳහා බව ජනාධිපතිවරණ ප්‍රතිඵල සමග වර්තමාන පාලකයන් අවබෝධ කරගනු ඇත. එහෙත් ඒ වන විට ඔවුන්ට ඉතිරිවනු ඇත්තේ හකුළා ගෙන ගෙරද යාම පමණි.

ඉඳුනිල් වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස