තරු හොටෙල්වල නිරෝධායනය වන වියතුන්ගෙන් සෞඛ්‍ය අංශවලට බාධා! පණ බේරගන්න ලංකාවට ඇවිත් වෛද්‍යවරුන්ට උගන්නන්න හදලා!

May 25, 2020 at 7:49 am | by emanisa.lk

කලුතර දිස්ත්‍රික්කයේ මේ වන විට තරු පන්තියේ හෝටල් තුළ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී  සිට නිරෝධායනය වන පිරිසගෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ජෛවපටල සාම්පල් ලබා ගැනීමේදී සහ නිරෝධායනයේදි ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බවත් ඉදිරියට විදේශ රටවලින් පැමිණෙන පිරිස්  කොවිඩ් 19 වසංගතය දුරු කිරිමට  සහයෝගය නොලැබුණහොත් ඒ කටයුතුවලින් තම කාර්යය මණ්ඩලවලට ඉවත්වීමට සිදුවන බවත් කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ පවසයි.

ඊයේ (24) මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මෙසේද පැවසීය.

පසුගිය සති දෙක තුළ කළුතර කොවිඩ් 19 ඒකකයේ මෙහෙයවීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 4ක නිරෝධායනය වන පිරිස අතරින් ජෛව පටල සාම්පල් 258 ක් ලබාගත් අතර එයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව ප්‍රදේශයේ තරු පන්තියේ සංචාරක හෝටල් 03 ක විදේශවලින් පැමිණි පිරිස් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර බේරුවල ප්‍රදේශයේ එක් නිරෝධායන මධ්‍යස්ථානයක් බේරුවල ප්‍රදේශයේ කොවිඩ් 19 පාලනයට ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරියට සහභාගී වූ යුද  හමුදා සාමාජිකයන් 152 ක් වෙනුවෙන් පවත්වාගෙන ගිය අතර එම පිරිසෙන් අහඹු ලෙස තෝරාගත් 57 දෙනෙකුගේ  ජෛවපටල සාම්පල් ලබාගෙන පරීක්ෂා කිරීමේදී එම සියලු දෙනා කොරෝනා ආසාදිතයන් නොවන බවට හෙළිවීම නිසා එම පිරිස ඉදිරි කටයුතු සඳහා නිදහස් කර ඇත.

වාද්දුව ප්‍රදේශයේ හෝටල්වල රටවල් 07කින් ශ්‍රී ලංකාවට පැමිණි පිරිස් නිරෝධායනය වන බවත් එම කාලය තුල එම පිරිසේ ජෛවපටල සාම්පල් ලබා ගෙන පරීක්ෂා කල බවත් එම කටයුතු සඳහා ඉමහත් කැපවීමකින් වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවත්, එසේ ශ්‍රී ලංකාවට පැමිණි සමහර පිරිස් කොවිඩ් 19 පාලනයට ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කටයුතුවලට සහයෝගය නොදැක්වීම සිදුවන බවද, එම නිසා සෞඛ්‍ය ආරක්ෂාව පතා මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් කොවිඩ් 19 වසංඝතය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයෝගය අවශ්‍ය බවත්, ඉදිරියටත් විදේශ වලින් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන  ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගෙන් සහයෝගය බලාපොරොත්තු වන බවත් එසේ සහයෝගය නොදීම තුළින් තම වෛද්‍ය කාර්ය මණ්ඩල අවධානමට පත්වන බවත් එසේ සහයෝගය නොලැබෙන්නේ නම් කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ කටයුතුවල තවදුරටත් නිරත වන්නේ දැයි තීරණය කිරීමට සිදුවන බවත් කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ හෙතෙම පැවසීය.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සහ නිලධාරීන් ජෛවපටල සාම්පල් ලබා ගෙන පරීක්ෂා කිරීමේදී සහ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට තම කණ්ඩායම්වලට ඉතා ඉහළ සහයෝගයක්  ලබා දුන් බවද එම නිසා දින 28 ක කාලයක් තුළ කළුතර දිස්ත්‍රිකයේ කිසිම කොවිඩ් 19 ආසදිතයෙකු හමු නොවූ බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස