කොරියාවෙන් ඉතාලියෙන් පැමිණි 250ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත! පිරිසක් A/C කාමර ඇතුළු සුපිරි පහසුකම් ඉල්ලා ගැටුමක!

March 11, 2020 at 7:33 am | by emanisa.lk

ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි විදේශිකයන් දෙදෙනකු හා ශ්‍රී ලාංකිකයන් දෙසිය පනස් දෙනෙකු මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඊ​යේ (10 ) රාත්‍රී වනවිට රැගෙන ගිය බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොරියාවේ සිට පැමිණි කේ.ඊ. 473 (KE 473) යානයෙන් පැමිණි කොරියානු ජාතිකයන් දෙදෙනකු ඇතුළු එකසිය හැටදෙනෙකුත් ඕමාන් සිට පැමිණි wi 381 දරන යානයේ සිටි ශ්‍රී ලාංකිකයන් දහතුන් දෙනෙකුත් දොහා සිට පැමිණි යූ.එල්. 218 යානයේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුත් මෙසේ නිරෝධායනයට යොමු කර ඇත.

පුනානි හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත මෙම පිරිස් යොමුකිරීමට බස් රථ හයක් යුද හමුදාවෙන් සූදානම් කර තිබිණි.

එම බස් රථ මදි වීම නිසා කොරියාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන් සෞඛ්‍ය බලධාරීන්ට බැණ වැදීමත් සමග ඊයේ උදෑසන එම ස්ථානයේ යම් නොසන්සුන්තාවයක්ද ඇති විය.

ආරක්ෂක අංශ හා වෛද්‍යවරුන් මැදිහත් වී කරුණු පහදා දී නොසන්සුන් ලෙස හැසිරුණු පිරිස් නිරෝධායනය සඳහා යොමු කෙරිණි.

මෙහිදී බස් රථ මදිවීම නිසා පුද්ගලික බස් රථ ගුවන් තොටුපොළට රැගෙන ආවද නිරෝධායනය සඳහා රැගෙන යන පිරිස් බස් රථවල නංවා ගෙන යාම ප්‍රතික්ෂේප කර එම බස් රථ නැවත හරවාගෙන ගොස් තිබිණි.

මේ හේතුවෙන් ගුවන් හමුදාව සතු එම්.අයි. 17 හෙලිකොප්ටරයකින් විසිහතර දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමටද සිදුවිය.

කොවිඩ් 19 වෛරසය පැතිරි ඇති රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයකින් නිරෝධායනට එන එක් අයෙකු සඳහා රුපියල් හත්දහස් පන්සිය බැගින් අයකරන බවට පළ වූ වාර්තා අසත්‍ය බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කටුනායක ගුවන් තොටුපොළේදී කලහකාරී ලෙස හැසිරුණු කොරියාවේ සිට පැමිණි තරුණයන් අත වූ පත්‍රිකාවක දින දාහතරක් නිරෝධායනය වීමේදී රුපියල් 7500ක් ආහාර සඳහා අයකරන බවට සඳහන් වීමත් සමග මෙම ප්‍රචාරය සිදුවිය.

ඊයේ (10 ) රාත්‍රී වන විට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පිරිමි 131ක් නිරෝධායනය සඳහා රැඳවූ අතර පුනානි පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කාන්තාවන් නවයක්, දරුවන් තිදෙනකු ඇතුළු 171ක් රැඳවූහ. පවුල් පිටින් සිටි පිරිස් පුනානිහි රැඳවූ අතර එහි කාමර දෙසියක් පමණ විය.

කන්දකාඩු වෙත රැගෙන ගිය ශ්‍රී ලාංකික තරුණයන් කිහිපදෙනෙකු තමන්ට හෝටල් කාමර, වායු සමීකරණය කරන ලද කාමර හෝ වෙන වෙනම සිටීමට කාමර අවශ්‍ය බවට කියමින් හැසිරීම නිසා යුද හමුදා නිලධාරීන් දැඩි අසීරුතාවකට පත් වූ බව එහි නිලධාරීහු පෙන්වා දුන්හ. කොරියාවේදී ඔවුන්ට තිබූ පහසුකම් ​මෙහිදීත් ඉල්ලා සිටියත් යුද හමුදාව ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තකා මෙම නිරෝධායන කටයුතු හැකි සියලු පහසුකම් සපයා දෙමින් කරගෙන යන බවත්, මෙය ජාතික කර්තව්‍යයක් සේ සලකා කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු සඳහන් කළේය.

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන සියලුම මගීන්ගේ ශරීර උෂ්ණත්වය නර්මල් ස්කෑන් යන්ත්‍ර මගින් පරීක්ෂාවකට ලක් කිරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පියවර ගෙන ඇත.

දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මෙම ස්කෑන් යන්ත්‍ර තුනක් සවිකර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගීන්ට දත්ත පත්‍රිකාවක් ලබාදී තොරතුරු ලබාගැනීමක්ද සිදුකෙරේ. එහිදී පසුගිය දින දාහතර තුළ මෙම මගීන් ගමන් ගත් රටවල් පිළිබඳ තොරතුරු සහ අදාළ මගියා පැමිණි රට පිළිබඳ තොරතුරු ලබාගැනීම​ට පියවර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස