කොරෝනා හැදුණත් කමක් නෑ, මානව හිමිකම් රකින්න! – මානව හිමිකම් සංවිධානයක් චීනයට කියයි…

February 1, 2020 at 6:42 pm | by emanisa.lk

නව කොරෝනා වෛරසය පදනම් කර ගනිමින් වුහාන් නගර වැසියන්ට සිදුකරන වෙනස් කොට සැලකීම් සහ සීමා පැනවීම් ලිහිල් කරන්නැයි අමෙරිකාව පදනම් කර ගත් චීන මානව හිමිකම් සංවිධානයක් චීන රජයෙන් ඉල්ලීමක් කරයි.

වෛරසයක් පැතිරීම පාලනය කිරීම සඳහා රජයක් මගින් ගෙන යන වැඩපිළිවෙළක් හරහා සිවිල් වැසියන්ගේ මානව හිමිකම්වලට බලපෑමක් එල්ල නොවිය යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.

කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග එම වෛසරය ආරම්භ වූ වුහාන් නගරය බලධාරීන් විසින් වසා දැමුවේ පුද්ගලයින් මිලියන 11 ක් පමණ ඒ තුළ සිරවී සිටියි. විදෙස් රටවල් රැසක් වුහාන් නගරය තුළ සිරවී සිටින සිය රට වැසියන් මුදා ගැනීමට කටයුතු කළද, චීන වැසියන් මිලියන ගණනක් තවදුරටත් නගරය තුළම සිරවී සිටියි.

මේ අතර කොරෝනා වෛසරය හේතුවෙන් සිය නිවෙස් තුළ සිරවී සිටින වුහාන්, හුබේ සහ තවත් නගර කිහිපයක වැසියන්ට අවශ්‍ය ආහාර පාන හා අනෙකුක් සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මේ අතර ඊයේ දිනයේ පමණක් චීනයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 2, 102 කින් ඉහළ ගිය බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම තහවුරු කරයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජය කරුණු වසන් කරන බවට වාර්තා පළවීමත් සමගයි එම කොමිසම මෙම කරුණු හෙළිදරව් කළේය.

රෝගීන් ඉදිරිපත් වීම ප්‍රමාද වීම හා ඉදිරිපත් වන රෝගීන්ගේ හඳුනාගැනීම් කටයුතු ප්‍රමාදවීම ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් ඇතැම් කරුණු අනාවරණය වීම ප්‍රමාද වන බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ අතර යුරෝපය තුළ නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම තවදුරටත් පුළුල් කරමින් ස්පාඤ්ඤය ද අද එරට පළමු කොරෝනා ආසාධිතයා හමුවූ බව තහවුරු කරයි.

නව කොරෝනා වෛරස් ආසාධිතයින් දෙදෙනෙකු රට තුළ සිටියදී හඳුනාගත් බව ඊයේ ප්‍රකාශ කිරීම හමුවේ බ්‍රිතාන්‍ය තුල සනීපාරක්ෂක ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම ද ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ බි්‍රතාන්‍ය තුළ මුඛ ආවරණ අලෙවිය ඊයේ (31) දිනයේදී පමණක් 846%න් ඉහළ ගොස් ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස