කොරෝනා සැකයට බියෙන් IDH සුළු සේවකයෝ ලෙඩ නිවාඩු දමති! වෛද්‍යවරුන්ටත් ප්‍රතිකාර කරන්න අවධානමක් ගන්න වෙලා!

January 30, 2020 at 10:08 am | by emanisa.lk

කොරෝනා ආසාධිත රෝගීන් බවට සැකකරන රෝගීන් අයි.ඩී.එච් රෝහලට ඇතුළත් වීම නිසා එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සුළු සේවකයන් ඊයේ (29) අසනීප නිවාඩු වාර්තා කර රෝහලට නොපැමිණීමෙන් ප‍්‍රතිකාර කටයුතුවලට බාධා එල්ලවී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රෝහලේ වෛද්‍යවරුන් 15 දෙනකු ඊයේ ප‍්‍රතිකාර ලබා දීම සඳහා පැමිණ ඇතත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක් අයෙකු හැරෙන්නට අනිත් පිරිස අසනීප නිවාඩු වාර්තා කිරීම නිසා රෝහල තුළ රෝගීන් රැගෙන යෑමේ ගැටලු මතු වී තිබූ බවත් එම සංගමය පෙන්වා දෙයි.

රෝහල තුළ ප‍්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් 15 දෙනකු සිටියත් කොරෝනා වෛරසයට ප‍්‍රතිකාර කිරීමට හැකි උපාංග සපයා ඇත්තේ එක් වෛද්‍යවරයකුට බවත්, අනිත් වෛද්‍යවරුන්ට අවදානමක් ගෙන රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට සිදුවීම ගැටලූවක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අත්‍යවශ්‍ය ආරක්‍ෂිත උපාංග කඩිනමින් සැපයීමට ගැටලු මතුවුවහොත් රෝහලේ පරිපාලනය කඩාවැටීමට ඉඩ ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ දැනුම්වත් කිරීමට කටයුතු කළ බවත් එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස